(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් සොරා ගැනීමේ ජාවාරමක නිරත වූ බව කියන එම රෝහලේ හෘද රෝග අංශයේ,දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්යය සහායකයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි.

වාට්ටු අංක 43 ගබඩා කර තිබූ ඔක්සිජන් සිලින්ඩර් දෙකක් සොරාගෙන ගොස් ඇති බවට එම වාට්ටුවේ සේවය කරනු ලබන සෞඛ්‍ය කාර්ය සහායකයකු කරන ලද පැමිණිල්ලක් අනුව ක්ෂණිකව සිදුකළ විමර්ශනයේදී එම සිලින්ඩර් දෙක සමඟ සැකකරු රෝහල් පරිශ්‍රයේදී ම අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි

සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව එම සොරකමට සම්බන්ධ වූ තවත් සෞඛ්‍ය කාර්යය සහායකයකු ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.

හදිසි බාහිර රෝගී අංශයේ හෙද නිලධාරිනියක් ද පැමිණිල්ලක් කරමින් එම අංශයේ තිබූ ඔක්සිජන් සිලින්ඩරයක් ද සොරකම් කර ඇති බවට තවත් පැමිණිල්ලක්ද කර ඇතැයි පොලිස් නිලධාරියා පැවැසීය