රසාංජලී වාසල

ජාතික ළමා රක්ෂණ අධිකාරියට නිලධාරීන් බඳවා ගැනීමේ කටයුතු 2021-2025 කාලයේ දී ප්‍රමාද වීම හේතුවෙන් සියයට පනහක පමණ නිලධාරී හිඟයක් සහිතව රාජකාරී කටයුතු කරගෙන යෑමට සිදුව ඇතැයි එම අධිකාරියේ නීති බලාත්මක කිරීම් සම්බන්ධ අධ්‍යක්ෂිකා නීතිඥ සංජීවනී අබේකෝන් මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරීන්ගේ හිඟය තවදුරටත් පවතින බවත් අධිකාරියට නව නිලධාරීන් 109 දෙනකු බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බවත් ඇය සදහන් කළාය.

ළමා අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අවසන් වශයෙන් සමාලෝචනය කිරීමට සහ දත්ත පද්ධතියට යොමු කිරීම ප්‍රමාදවීමට ප්‍රධානතම හේතුව මෙම ව්‍යුහාත්මක නිලධාරීන්ගේ හිඟය බව ද ඇය පෙන්වා දුන්නාය.

නිලධාරී හිගය මධ්‍යයේ වුව ද පැමිණිලිවලට අවශ්‍ය මැදිහත්වීම් කරමින්, අධිකාරියේ දත්ත පද්ධතිය කාර්තුවෙන් කාර්තුව යාවත් කාලීන කළ බව ද අබේකෝන් මහත්මිය සදහන් කළාය.

ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සමග එක්ව මධ්‍යගත දත්ත පද්ධතියක් සැකසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.

ළමා අපයෝජන සම්බන්ධයෙන් මෙම වසරේ ජනවාරි මාසයේ පැමිණිලි 653 ක්, පෙබරවාරි 612 ක්, මාර්තු 740 ක්, අප්‍රේල් 694 ක්, මැයි 884 ක්, ජූනි 1022 ක් සහ ජූලි මාසයේදී 1102 ක් ලැබී ඇති බව අධ්‍යක්ෂිකාව සඳහන් කළාය.