සඳලි සත්සරණි

බැටරිවල ගබඩා කෙරෙන සූර්ය බලශක්තිය තවත් සති දෙකකින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලි ඉල්ලුම පවතින රාත්‍රී කාලයේ දී අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් එම තත්වය අවම කරගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව අමාත්‍යාංශය සඳහන් කළේය.

දිවා කාලයේ දී සූර්ය බලශක්ති පද්ධති මගින් නිපදවෙන අතිරේක විදුලිය, උප පොළවල් මගින් බැටරි පද්ධතිවල ගබඩා කර රාත්‍රි 6.30 සිට 10.30 දක්වා වැඩි විදුලි ඉල්ලුමක් පවතින කාලයේ දී එම විදුලිය නැවත උපපොළ මගින් ජාතික පද්ධතියට මුදාහැරීමට කටයුතු කෙරෙන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.

රට පුරා විදුලිබල සම්ප්‍රේෂණ උපපොළවල් 16 කට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල ඉදිකිරීම් අවසන් අදියරේ පවතින බවත් ගාල්ල බටදූවේ ගැලලිබේස් සමාගම ගාල්ල උපපොළ සමීපයේ ඉදිකරන ව්‍යාපෘතියේ කටයුතු ද අවසන් අදියරට පැමිණ ඇති බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතියේ යටතේ මෙගාවොට් 160 ක ධාරිතාවකින් යුත් බැටරි ගබඩා පද්ධතියක් ක්‍රියාත්මක වන අතර, ඉදිරියේ දී තවත් මෙගාවොට් 1040 ක අතිරේක ධාරිතාවක් ද පද්ධතියට එක් කිරීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේ, රාත්‍රි කාලයේ දී විදුලිය උත්පාදනයට දැරීමට සිදුවන අධික පිරිවැය, රාත්‍රී 12 න් පසු සහ දිවා කාලයේ දී ගබඩා කරගන්නා බලශක්තිය භාවිත කිරීමෙන් පිරිවැය පහත හෙළිය හැකි බවයි.

එමගින් සමස්ත පිරිවැය අඩු කර ගනිමින්, එහි වාසිය ඉදිරියේ දී ජනතාවට සහනයක් ලෙස ලබා දීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යාංශය විශ්වාස කරයි.

ඉදිරියේ දී මෙම ව්‍යාපෘතිය තවදුරටත් ව්‍යාප්ත කරමින් මෙගාවොට් 250 ක සහ මෙගාවොට් 150 ක අතිරේක බැටරි ගබඩා පද්ධති එකතු කිරීමටත් ඊට අදාළ ටෙන්ඩර් කැඳවීමේ කටයුතු ද සිදුවෙමින් පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවැසීය.