(නිමල් ජයරත්න)

අම්පාර මහඔය ප්‍රදේශයේදී රියදුරුට පහරදී අත් පා ගැට ගසා  වෑන් රථයක් පැහැර ගෙන පැමිණෙමින් සිටි දෙදෙනකු පොළොන්නරුව බකමූණ පොලිසිය විසින් හදිසි මාර්ග බාධක යොදා සිදුකළ මෙහෙයුමකදී එම වෑන් රථය මහමග දමා පලාගිය සැකකරු දෙදෙනාගෙන් එක් අයකු සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි.

සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අයකු බවට පාපොච්චාරණය කර ඇති බව බකමුණ පොලිසිය පවසයි,

තුවාල ලැබූ රියදුරු පොළොන්නරුව ඇතුමල්පිටිය පදිංචි පනස් පස් වියැති විශ්‍රාමික සෙබළෙකු බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බකමූණ පොලිසිය සඳහන් කරයි.

මංකොල්ලකරුවන් සමග පොරබැදීමෙන් අනතුරුව ඔහු තුවාල ලබා මේ වන විට අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය පවසයි.

මංකොල්ලකරුවන් දෙදෙනා ජේ,සී,බී යන්ත්‍රයකට උපකරණ ලබා ගැනීම සඳහා අම්පාර ප්‍රදේශයට යා යුතු බවට පවසා 13 වෙනිදා සවස මෙම වෑන් රථය සහ රියැදුරු රැගෙන ගොස් ඇත.

අම්පාර ප්‍රදේශයේ හයර් එකක් යෑමට බව පවසා රැගෙන ගොස් ඇති අතර අම්පාර මහඔය ප්‍රදේශයේදී රියදුරුගේ ගෙලට පිහියක් තබා තුවාල සිදුකිරීමෙන් අනතුරුව වෑන් රථය පැහැරගෙන, බකමූණ ගිරිතලේ මාර්ගයේ පැමිණෙමින් සිටියදී, පොලිසියට ලද තොරතුරක් අනුව කොට්ඨාශය යතුරුපැදි ඒකකයේ පොලිස් සැරයන් 51509 වික්‍රමාරච්චි සහ පොලිස් කොස්තාපල් 90192 යටිගම්මන පොලිස් නිලධාරින් ඇතුළු බකමූණ පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකළහ.