IMG-LOGO

කෝප් කමිටුව චිත්‍රපට සංස්ථාවේ මගඩි අවුස්සයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට නිෂ්පාදනය සඳහා ලබාදී ලබා දී ඇති රුපියල් දාහතර කෝටි දොළොස් ලක්ෂයකට වැඩි මුදලක් අයකර ගෙන නැතැයි  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු හෙළිවී ඇත.

මේ අතර චිත්‍රපටි සංස්ථාව සඳහා 2019වර්ෂයේදී බඳවා ගනු ලැබූ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ස්ථිර නොවූ නිලධාරීන් තිදෙනෙකුගේ  වැටුප් හා දීමනා ලෙස එම  සංස්ථාව රුපියල් ලක්ෂ තිහකට වැඩි මුදලක් ගෙවා ඇතැයිද හෙළි වූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

ජාතික චිත්‍රපටි සංස්ථාව 2017 මාර්තු 31 දින පැවැත්වූ ජනාධිපති සිනමා සම්මාන උළෙල සඳහා රුපියල් හාර හාර කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කර තිබූ නමුත් ඊට අදාළව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව  චිත්‍රපට සංස්ථා ප්‍රධානීන්ගෙන් එහිදී  ප්‍රශ්න කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පෙරේදා(20)රැස්විය.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ 2016 සහ 2017 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව  පරීක්ෂා කිරීම සඳහා  මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබිණ.

සිනමාහල් ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙල ප්‍රමිතියෙන් තොරවීම නිසා   ගැටලු රැසක් නිර්මාණයවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව ) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී පැවැසීය .

එබැවින් සිනමාහල් ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පාර්ශ්වයෙන් නව කියවීමක් අවශ්‍ය බවද  හෙතෙම පෙන්වා දුන්නේය.

මේ අතර ජාතික චිත්‍රපට සංස්ථාව හා එහි අරමුදල චිත්‍රපටි නිෂ්පාදන සඳහා ලබා දී තිබූ එම ණය මුදල 2020දෙසැම්බර් 31වැනි දිනට මෙසේ අය කරගෙන නොතිබූ බවද  කෝප් කමිටුව පවසයි.

සිනමා ශාලා නවීකරණය කිරීම පිළිබඳ වැඩපිළිවෙලක් සැකසීමට හා ප්‍රගතිය වාර්තා කිරීමට  ඉදිරිපත් කර තිබූ නිර්දේශ  මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන්ද  කාරක සභාව ජාතික චිත්‍රපට සංස්ථාවෙන් මෙහිදී කරුණු විමසීය.


සංස්ථාව 2019වසර වනවිට   ජංගම බැංකු ගිණුම් 09 ක් පවත්වා ගෙන ගොස් ඇති  බවත් එහි සාමාන්‍ය මාසික ශේෂය රුපියල් මිලියන 29.2 ක් බවත්  කාරක සභාවේදී හෙළිවිය .

මෙම ආයතනයේ  නිවැරදි මුදල් කළමණාකරණයක් නොමැති වීම ප්‍රබල ගැටලුවක් බවද කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සිනමා ඉසිවර ආචාර්ය  ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි දහයක පමණ ඇස්තමේන්තුවක් මත 2019 අප්‍රේල් මස 05 වැනි දින සිට එහි  වැඩ ආරම්භ කර තිබුණද, නියමිත කාලයේදී  වැඩ අවසන් නොකිරීම  සම්බන්ධයෙන්ද   කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

එම ඉදිකිරීම් සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබා ගෙන නොතිබූ බවද  එහිදී හෙළිවිය . මෙම ව්‍යාපෘතිය නිසි ක්‍රමවේදය අනුගමනය කරමින්  අවසන් කරන ලෙස කාරක සභාව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාට උපදෙස් ලබා දුන්නේය.

සිනමා පාසලක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන ලෙසටද කාරක සභාව  ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාට මෙහිදී දැනුම් දුන්නේය.


මරදාන සිනේසිටි සිනමා ශාලාවෙන් 2003 වසරේ සිට 2016 මැයි 31 දින දක්වා අයවිය යුතු චිත්‍රපට කුලිය රුපියල් එක්කෝටි විසි තුන් ලක්ෂයකට වැඩි මුදලක් අයකරගෙන නොතිබූ අතර  2021 මාර්තු මාසය වන විටද එම මුදල් අය කර නොගෙනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ  අවධානය යොමු විය.

කැලණියේ පිහිටි සරසවි චිත්‍රාගාරයේ නිශ්පාදන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් දෙකෝටි පනස්   ලක්ෂයක මුදලක්ද චිත්‍රපට සං‍රක්ෂණාගාරය පිහිටුවීම සහ චිත්‍රපට ප්‍රතිෂ්ඨාපනය සඳහා රුපියල් කෝටි 5ක මුදලක් වෙන්කර තිබුණද සමාලෝචිත වර්ෂය තුළ එම මුදල උපයෝජනය කර නොතිබූ බවද  කෝප්  කමිටුවේදී  හෙළිවී ඇත.

ජාතික පුහුණු පාසලක් පිහිටුවීම සඳහා වෙන්කර තිබූ රුපියල් කෝටි පහක මුදලින් රුපියල් පන් ලක්ෂයක් පමණක්  වැය කර තිබීම සමබන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

සැලසිනේ ආයතනයට  ගෙවා තිබූ මේ මුදල සම්බන්ධයෙන්  සොයාබලා වාර්තාවක් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට දැනුම් දුන්නේය.

පසුගිය 2020 වසර සඳහා ක්‍රියාකාරි සැලැස්මක් සකස් කර නොතිබීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

එසේම ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්තා 2015 වසරේ සිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්ද  මෙහිදී සාකච්ජා විය.

මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළේය.
ජාතික චිත්‍රපට සංස්ථාවේ  පුරප්පාඩු  57 ක් පවතින බවත් බඳවා ගැනීමේ පටිපාටියට අදාළ සංශෝධන කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මඟින් අනුමත කර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වූ බවත් කාරක සභාව පවසයි.

සංස්ථාවේ ඉහළ නිලධාරින් කිහිප දෙනෙකු වැඩ තහනමට ලක්ව ඇති හෙයින් ඔවුන් සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසද කාරක සභාව අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

ඇතැම් විනය පරීක්ෂණ වසර එකහමාරක් පමණ ප්‍රමාදවීම ගැටලුවක් බවද කාරක සභාවේ සාමාජිකයෝ පැවසූහ.චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික අංශයෙන් සිදුවන හෙයින්, එම කටයුතු  රජයට පවරා ගැනීම සඳහා ඉදිරියේදී ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සූදානම් වන බව මහාචාර්‍ය කපිල ගුණවර්ධන මහතා මෙම කාරක සභා රැස්වීමේදී පැවසීය.


සිනමාහල් වලින් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන ටිකට් පත් ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ලබා දීමේ අවශ්‍යතාව අමාත්‍ය සරත් වීරසේකර මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,  රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත් සහ  ඉන්දික අනුරුද්ධ යන මහත්වරුද,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, ආචාර්ය  හර්ෂ ද සිල්වා, අනුර දිසානායක, ජගත් පුෂ්පකුමාර, ජයන්ත සමරවීර, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්,උද්දික ප්‍රේමරත්න යන මහත්වරුද සභභාගී වූහ. 

 



අදහස් (0)

කෝප් කමිටුව චිත්‍රපට සංස්ථාවේ මගඩි අවුස්සයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 376 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 938 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1321 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site