
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කප්පල් අඩිය ධීවර ගම්මානයේ ඕඩය නැමැති අභ්‍යන්තර ජලාශයේ සහ ඊට යාබද ඕඩ රක්ෂිතයේ කඩොලාන ශාක කපාදමා කඩොලාන සංහාරයක් සිදු කොට ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා නගති.
මෙම කඩොලාන විනාශය දැක බලා කරුණු වාර්තා කිරීමට එහි ළඟාවන විටත්,කම්කරුවෝ දෙදෙනෙක් ලහි ලහියේ කටු කම්බි වැටක් ඉදි කරමින් සිටිය හ.එම කම්කරුවන් පැවසුවේ,කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සේවා නිලධාරියෙකුගේ අණ පරිදි,දෛනික වැටුපට තමන් මෙම කම්බි ගැසීමේ නිරතව පසුවන බව ය.
මෙම සිදුවීම පිළිබදව අදහස් දැක් වූ කප්පල් අඩිය ධීවර තරුණයෙකු පැවසුවේ,උක්ත ග්‍රාම නිලධාරිවරයාගේ අධීක්ෂණයෙන් පසු ගිය දා බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් මෙම කඩොලාන ශාක බිඳ හෙලූ බව ය.
"ධීවරයෝ කවුරුත් කඩොලාන ගස්වලට ආදරෙයි.මොකද වාරකන් කාලයට මේ ඕඩයෙන් අපි ඉස්සෝ අල්ලනවා.තව මාලුත් අල්ලනවා.ඉස්සෝ බිත්තර දාන්නේ කඩොලාන මුල් අතර.ඉස්සන් පැටවුන් ලොකුවෙලා වතුරට යන කම් ආරක්ෂිතව ඉන්නේ මේ මුල් අතර."
"අපි දැක්කා මීට සති දෙකකට විතර උඩදී ඔතැන පොලිස් ජීප් එක නතර කරලා එක ලොකු මහතයෙක් ග්‍රාම නිලධාරී මහත්තයා එක්ක ලොකු කථාවක හිටියා. ධීවර තොටුපළට රස්සාවට යන ගමන් අපි ඒ දිහා විපරමින් බැලුවා.එතකොට ඒ පොලිස් මහත්තයා අපිව බැනලා එලවා ගත්තා."
බොහෝ ගම්වාසීහූ මෙම කඩොලාන කැපීමට විරුද්ධ වුව ද එම විරෝධතාවය එළිපිට ප්‍රකාශ කිරීමට බිය බැව්, පැවසුවෝ ය.
අප මේ පිළිබදව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ආර්.එම්.මව්ශාන් මහතාගෙන් විමසුවෙමු.මේ පිළිබදව කිසිත් නොදන්නා බවත් කරුණු සොයා බලා යමක් ප්‍රකාශ කළ හැකි බවත් ඒ මහතා පැවසුවේ ය.
පසුව ඒ මහතා පැවසුවේ,එම ඉඩම ග්‍රාම නිලධාරීවරයාට අයත් සින්නක්කර ඉඩමක් බවත්,එම ප්‍රදේශය භාර ග්‍රාම නිළධාරීවරයා සහ කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් එම ගස් කපා සංවර්ධනය කිරීමට අවසර ලබා දී ඇති බවත් ය.
කල්පිටිය වැඩ බලන ප්‍රාදේශීය ලේකම් දිල් රුක්ෂී ප්‍රනාන්දු මහත්මියගෙන් මේ පිළිබදව විමසීමට උත්සහ ගත්ත ද ඇය දුරකතනයට පිළිතුරු නොදුන්නා ය.පසුව පුත්තලම දිසා ලේකම් චන්ද්‍ර සිරි බණ්ඩාර මහතා පැවසුවේ ඉඩමේ තත්ත්ව සොයා නොබලා කිසිවක් කිව නොහැකි බව ය.එහෙත් සින්නක්කර ඉඩමක වුව ද කඩොලාන කපා දැමිය නොහැකි බව ඒ මහතා ප්‍රකාශ කළේ ය.ය.වණ ජීවී දෙපාර්තුමේන්තු නිලධාරී මේ පිළිබදව දැනුවත් කොට,එම ස්ථානයට ගොස් සොයා බැලීමට කටයුතු සලස්සන බැව්,ඒ මහතා පැවසුවේ ය.





COMMENTS
දැන් ගම්වල ඉන්න ග්‍රාමසේවක ඇතුලු නිලධාරින් සහ ජාවාරම් කරුවන් දන්නවා ඉඩම් ටික.., බලෙන් අල්ලා ගත්තොත් නන්දසේන ජනාධිපති අත්සන් කරලා, ඔප්පු දෙන බව. දැන් ඉතිං පරිසරයට අබ සරණයි.
ඔක්සිජන් ඕනේ නැති අය ඉන්න පළාත නේද?
‘‘වැටත් නියරත්... ‘‘ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..
එක විලක හිටියා ගෙම්බො රංචුවක්. දවසක් ඒ අය යෝජනා කළා අපිත් රජ කෙනෙක් පත් කර ගමු කියලා. විලේ තිබුණු පාවෙන ලී කොටයක් නායකයා කර ගත්තා. ටික කලකින් නායක ලී කොටය එපා උණා. සැර මදි කියලා. නායකයා සැර වෙන්න ඕන කියලා ඉවුරෙ හිටිය නයෙක් නායකයා කර ගත්තා. කතාවේ ඉතිරි ටික හිතා ගන්න පුලුවන් නේද...?