(හර්ෂණ තුෂාර සිල්වා)
දේශීයත්වය අගය කරමින් ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාකියන්ට විශාල සේවයක් කළ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් බොහෝ දෙනකුට අමතකව ගොස් ඇතැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අධ්‍යාපනවේදී නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ අද (8) කීහ.
දිවංගත අග්‍රාමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 120 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයට එක්වෙමින් නැදගමුවේ විජය මෛත්‍රී හිමියෝ ඒ බව සඳහන් කළහ.
කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අභියසදී දී මෙම උත්සවය පැවැත්විණි.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ නැදගමුවේ විජය මෛත්‍රී හිමියෝ මෙසේ ද කීහ.
“සමහර අයට, ඇතැම් තලතුනා අයට හා තරුණ පිරිස්වලට බණ්ඩාරනායක මහතාගේ නම අමතක වී ගොස් තිබෙන බව මම සිහිපත් කරන්නේ බොහෝම සංවේගයෙන්. බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලාංකික ජනතාවට කර තිබෙන සේවය කවදාවත් අමතක කරන්න බැහැ.
විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 80 දශකයේ මුල භාගයේදී කරන ලද ප්‍රකාශයක් සිහිපත් කරන්න කැමැතියි. මම මීට පෙරත් සඳහන් කර තිබෙනවා. “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනයක ප්‍රතිපත්ති නැහැ. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ අපි” යැයි ජයවර්ධන ජනාධිපතිවරයා කියා සිටියා. විරුද්ධවාදීන් පවා බණ්ඩාරනායක ප්‍රතිපත්ති අගය කළා. ඒ පිළිබඳව විශ්වාසය තැබුවා. එහෙම තිබියදී අපේ අයට බණ්ඩාරනායක ශ්‍රීමතාණන් අමතක වී ඇති බව මම නැවත නැවතත් සඳහන් කරන්නේ කනගාටුවෙන්. අප අයට ඒ ගැන හැඟීමක් නැහැ.
අද රටේ ඉහළ තනතුරු දරන අය සහ ඔවුන් ඉහළ තනතුරුවල වැජඹෙන්නේ බණ්ඩාරනායක මහතා නිසා බව අමතක නොකළ යුතුයි. බණ්ඩාරනායක ශ්‍රීමාතණන්ගේ ක්‍රියා කලාපය නිසා අදටත් බොහෝ අය ඉහළ තනතුරුවල වැජඹෙනවා. වසර 1948 නිදහස ලැබුණත් අපි එංගලන්තයට බැඳිලා හිටියේ. විදේශ කඳවුරු ලංකාවේ තිබුණා. යුද කඳවුරු ඉවත් කරලා, ඇතැම් ව්‍යාපාර ජනතාව සතු කරන්න බණ්ඩාරනායක මහතා ක්‍රියා කරපු හැටි අමතක නොකළ යුතුයි.
බණ්ඩාරනායක මහතා නිසා අපට ලැබුණු තවත් දායාදයක් ලෙස සිරිමාවෝ මැතිනිය පෙන්වා දෙන්න පුළුවන්. සිරිමාවෝ මැතිනියගේ සමයේදී 1960 දී සාමාන්‍ය ජනතාව වෙනුවෙන් මහජන බැංකුව විවෘත කළා. ව්‍යාපාර ජනසතු කරමින් ජනතාවට අවස්ථාව ලබා දුන්නා. ඇය දේශීයත්වය හොඳට අගය කළා. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා ඇය බොහෝ දේ කළා. විජාතික සහ මහ ඉහළ අයට පමණක් සීමා වූ ලංකා බැංකුව 1964 දී සාමාන්‍ය ජනතාවට විවෘත කළා.
ජනතාවගේ අයිතීන් ආරක්ෂා කළා. සේවක අර්ථසාධක අරමුදල ඇතිකළා. බණ්ඩාරනායක මහතා මෙන්ම එම මැතිනිය රටට ජනතාවට බොහෝ දේ කළා. ඉතා ඉහළ සේවාවක් කළා. අපි නැවත නැවතත් ඔවුන් සිහිපත් කරන්න ඕනේ.
අද අපි වුණත් උපාධිධර වගකීම් සහිත භික්ෂූන් වහන්සේලා බවට පත්ව සිටින්නේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් නිසයි. අපට පේරාදේණිය විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මුල් තැන තිබුණේ ඉංග්‍රීසි අධ්‍යාපනයටයි. අපිට අවස්ථාව හිමි වුණේ බණ්ඩාරනායක මහත්මයා නිසයි. වසර 1956 න් පස්සේ තමයි ලංකාවේ සංස්කෘතික අමාත්‍යාංශයක් ඇති කළේ. සංස්කෘතිය රජ කරන පරිසරයක් ලංකාවේ රජ කරන්න අවස්ථාව උදා කළේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් බව අමතක නොකළ යුතුයි. මා සඳහන් කළේ ඔහු කළා සේවාවලින් කිහිපයක් පමණයි”.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා උත්සවයේ පිළිගැනීමේ කතාව කරමින් මෙසේ සඳහන් කළේය.
“බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ගෙනගිය ක්‍රියාදාමය, එහි අක්මුල් සොයා යෑමට කාලය එළැඹ තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන නැවත වරක් බණ්ඩාරනායක මහතා ගිය ගමන් මගේ යෑමට කාලය ඇවිල්ලා. අපි ඒ අඩිපාරේ යමින් පක්ෂය ශක්තිමත් කළ යුතුයි”.
COMMENTS
ඔය කතාව සහතික ඇත්ත... දැන් අත ලකුණ පාවිච්චි කරන්නේ බලය අල්ලාගෙන ධනය එකතුකරන්න විතරයිනේ...
බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් රටට සිදුවූ යහපතක් නැත. සිදුවූ එකම දේ එජාපයට සැබෑ විකල්පය වූ වම දිය වී යාම පමණයි. පැරණි වමේ නායකයින්ගේ කල්ලිවාදී ක්‍රියාවන් නිසා අපේක්ෂා භංගත්වයට පත්වූ වාමාංශික ජනතාවගේ ඡන්දය කොල්ලකෑම සඳහා ඊනියා වාමාංශික මුහුණුවරක් ගත් නමුත් සැබවින්ම බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් රටට සිදුවුනු සෙතක් නැත...
ප්‍රශ්නය මෙතැනයි !.. බණ්ඩාරනායකලව මෑත යුගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යුගයේ දේශපාලන යුගයෙන් අතු ගා දමන්න හිටපු ලෝක හොර දේශපාලකයින් ඇතුළු අයගේ පවුල් ඇතුළු, රටේ සිටින විකට නායකයින් ඇතුළුව ඇත. එය අති මෝඩ මානසිකත්වයෙන් කරන රට විනාශ කිරීමක් බව පොදු ජනතා හැඟීමයි. එක්සත් පක්ෂය, පැත්තකට දාලා රට ගැන සිතීමයි මෙවෙලේ සිදුවිය යුත්තේ... නමුත් මොහු මොකක්ද මේ කරන්නේ ...? රටම මංකොල්ල කාපු හොරෙක් සහ ඒ පවුලත් එක්ක නැවත රට විකුණන එකයි...
බණ්ඩාරනායක මහත්තයා අමතක නොවී තියේවිද? අර රට පුරා මිනිස්සු අවුරුසු තිහක් බෝම්බ වලට මැරෙද්දි, ලංකාවේ යුද්දෙ නවත්වන්න ආධාර දෙන්න එපෝ එපෝ කියකිය ගිය කෙනත් අමතක කරපු අපේ මිනිස්සුන්ට...?
බුදුදහමේ ප්‍රධාන පාඨය අනිත්‍ය ස්වභාවය බුද්ධ පුත්‍රයෙකුට නොවැටහීම අරුමයක්...
බණ්ඩාරනායක අමතක වුනේ බොහෝ දෙනෙකුට නොව බණ්ඩාරනායකගේම දෝනියන්දට.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනයක ප්‍රතිපත්ති නැහැ. බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ අපි” යැයි ජයවර්ධන ජනාධිපතිවරයා කියා සිටියා" . ඇත්තනේ හාමුදුරුවනේ... එ්ක හින්දනේ බණ්ඩාරනායක මහත්තයගේ පුතා යූ.එන්.පී. ඇමති කෙනෙක් වුනේ. දුව යූ.එන්.පී. එකට කත් අදින්නේ... එහෙම කරන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආරක්ෂා කරගන්න වෙන්න ඕන නේද? නැද්ද මං කියන්නේ...
නිදහස ලැබුණාට පස්සේ ඔක්කොම එකට ඉඳලා රට හදන්නේ නැතිව කඩාගෙන අලුත් පක්ෂයක් හදලා ඒ අය තමයි ඔක්කොම අවුල් කරලා රටේ විනාශය පටන් ගත්තේ. අද පාන් රාත්තලට, සිල් රෙද්දට, බත් පැකට් එකට වහල් වුණු මිනිසුන්, නූගතුන් පාර්ලිමේන්තුවට එවලා මුළු රටම කාලම දමලා...