(ක.ග.කරුණාරත්න) 

මෙවර මාස් කන්නයේ වී වගාව සඳහා පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ  දියවර නිකුත් කිරීම මහා සංඝ රත්නයේ ආශිර්වාදය, සෙත් පිරිත් සඡ්ඣායනා  මධ්‍යයේ  අද (05) පෙරවරුවේ ආරම්භ කෙරිණි.
 
ජලාශයේ ප‍්‍රධාන සොරොව්ව අසල පැවැති මේ උත්සව අවස්ථාවට පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන, අතිරේක දිස්ත‍්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම, පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය  නිලධාරීහු රැසක්ද පරාක‍්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ ගොවි නායකයින් ඇතුළු ගොවි ජනතාව විශාල පිරිසක්ද  සහභාගී වූහ.
 
මාස් කන්නයේ පරාක‍්‍රම සමුද්‍රය යටතේ වගා කෙරෙන කුඹුරු බිම් ප‍්‍රමාණය අක්කර 30,000ක් පමණය.
 
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු මහ වැව් අතුරින් මාස් කන්නයේ වී වගාවට ජලය නිකුත් කිරීම පළමුව සිදුකරනු ලබන්නේ පරාක‍්‍රම සමුද්‍රයේ බව වාරි නිලධාරීහු සඳහන් කළහ.