(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම සෙල් ලිපි දෙක ලෙස සැලකෙන ආණමඩුව සහ තෝනිගල සෙල්ලිපි පුරාවිද්‍යා නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රමවේදයක් හේතුවෙන් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.
ක්‍රිස්තු පුර්ව පළමු වන සියවසට අයත් මෙම සෙල් ලිපි දෙක එම සමයට අයත් මෙතෙක් හමුවූ වැදගත්ම ගිරි ලිපි දෙකකි.
ලක්දිව රජකළ ගාමිණි අභය රජ සමයේ දැවැන්ත තොනිගල පර්වතය මත පුර්ව බ්‍රාහ්මි අක්ෂර වලින් මෙම දැවැන්ත සෙල් ලිපි දෙක සකසා ඇති අතර එක් සෙල් ලිපියක අක්ෂර 137 කින්ද අනෙක අක්ෂර 117 ක් සැකසා ඇත.
සියවස් ගණනක් කිසිඳු උපද්‍රවයකින් තොරව ආරක්ෂා වූ මෙම දැවැත්ත සෙල් ලිපි දෙක ආරක්ෂාවට යැයි පවසමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සෙල් ලිපි දෙක වටා යකඩින් සැකසු වැටක් ඉදිකර ඇති බව ප්‍රදේශවාසීහු කියති.
නමුත් මෙහි ගැටළුව වී ඇත්තේ සෙල් ලිපි වල ආරක්ෂාවට යෙදු යකඩ වැට පාෂාණ සමඟ සවීමත් වීම සඳහා යොදන ලද සිමේන්ති අස්තරයක් සෙල් ලිපියේ පැරණි අලංකාරත්වයට හා වටිනාකමට හානි වී ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කළහ.
යකඩ වැට සවිමත් වීමට යෙදූ සිමේන්ති මිශ්‍රණය පාෂාණ සමඟ එක්වීමේදී ඇති වූ ප්‍රතික්ක්‍රියාවක ප්‍රථිපලයක් හේතුවෙන් මේ වන විට සෙල් ලිපියටද හානි වී ඇති බව ඔවුහු කියති.
මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු විදුහල්පතිවරයකු හා පුරාවිද්‍යා ගවේෂකයකු වන ඇලඩින් හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසීය.
“මෙම සෙල්ලිපි දෙක ක්‍රිස්තු පුර්ව වලට අදාලව හමුවූ සෙල්ලිපි දෙකක්.එසේම වසර දෙදහසකට වැඩි කාලයක් අව්වට වැස්සට කිසිදු පාරිසරික උපද්‍රවයකට හානි නොවී තිබූ මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂාවට කියලා දාපු යකඩ වැටේ සවීමත් වීම සඳහා යෙදූ සිමේන්ති බදාමය සෙල් ලිපියේ අලංකාරත්වය විනාශ කරලා තියෙනවා.
පුරාවිද්‍යා නිලධාරීන් මෙම පාෂණයට සිමේන්ති මිශ්‍ර කිරීමට කලින් කිසිම අධ්‍යනයක් කර නොතිබීම බරපතල වරදක්.
මේ පාෂණය තෝනිගලට සුවිශේෂ පාෂාණයක් එය හෝම්ලන්ඩ් ග්‍රනයිඩ් කියලා හඳුන්වනවා .මෙතන තිබේන මේ පාෂණය ගැන පුරා විද්‍යඥයින් හඳුන්වා දී තිබියදි තමයි සොයා බැලිමකින් තොරව මේ කටයුත්ත කරලා තියෙන්නේ. වැදගත්ම සෙල් ලිපි දෙකක් විනාශ වෙලා තිබෙන්නේ.යැයි ඒ මහතා පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ පාලියාගම පදිංචි චිත්‍රසිරි නවරත්න මහතා මෙසේ කීය.
“මේ ගිරි ලිපි දෙක ගැන අතීතයේ අපිට තිබුණ අභිමානය පුරාවිද්‍යා නිලධාරීන් නැති කරලා .මේ ගිරි ලිපි මුල් වතාවට දකින අයකුට එහි දැන් පවතින තත්ත්වය දැක්කාම ඒ පිළිබඳව මැවෙන් චිත්‍රය හරිම වෙනස්.
සුදු කඹර ශරීරය පුරා දාලා වාගේ අවලස්සනක් සේම පාෂාණය පතුරු වීමයි දැක ගත හැකි වන්නේ.මේ නිසා පුරාවිද්‍යා නිලධාරීන් මේ ගිරි ලිපියට කර ඇත්තේ බරපතල අපරාධයක් යැයි ඔහු පැවසීය.
මේ පිළිබඳව සිදු කළ විමසීමේදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා මෙසේ පැවසීය.
“මේ පිළිබදව මම දැනුවත් නැහැ .ඇත්තටම ස්තුතියි දැනුවත් කළාට. මේ ගැන සොයා බලන්න මම පුරාවිද්‍යා කණ්ඩායමක් අදාල ප්‍රදේශයට යැවීමට කටයුතු කරනවා.‘‘ යැයි ඔහු පැවසීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට පුරාවිද්‍යා ස්මාරක වැඩි වෙලා. ඒකයි මේ. තිබුණ විදියට තිබ්බා නම් තවත් සෑහෙන කාලයක් තියේවි. මේවා සවි කරලා ගියාට පස්සේ පැත්ත පළාතේ එන්නේ නෑ වගේ. මීට කලින් මේ සිමෙන්ති අත්හදා බලලා නැද්ද.
පළමුවෙන්ම කණගාටුවෙන් කියන්නේ ප්‍රරාවිද්‍යා අධ්‍යක්ෂ වරයා බොහෝවිට කියන දෙයක්තමා මම දැනුවත්වුනේ නැහැ කියනඑක.. ඒවැනි ප්‍රකාශ මෙවැනි ප්‍රකාශ හේතුවෙනවා. අනෙක මේවා ඉදිකරන්නේ විද්‍යා නිළධාරීන් නොව. කාර්මික නිළධාරීන්ගේ නිර්දේශ මත කොන්ත්‍රාත් කරුවන්. මෙහි පෙනීමට වඩා අනාගතයේ අකුණු අණතුරු වලින්ද විනාශය සිදුවිය හැකිය. එළිමහනක පර්වතයක යකඩවලට අකුණු ඇදී ඒම ස්වාභාවිකයි.
ලංකාවේ බොහෝ වෙලාවට ඔය වගේ කටයුත්තක් බාර දෙන්නේ කොහේ හරි ඉන්න මක බාස් කෙනෙක්ට විශේෂඥයෙකුට නෙවෙයි.
මේ විදුහල්පති තුමා හොඳ පුරාවිද්‍යා ගවේෂකයකු බව පේනවා. එතුමා පෙන්වාදෙන දෙයෙහි කිසියම් සත්‍යයක් තිබෙන බව පේනවා... ගල විද දැමූ කොන්ක්‍රීට් මිශ්‍රණයේ ඇති කුමන හෝ රසායන ද්‍රව්‍යයක් නිසා ගල්පොත්තට හානියක් සිදුවෙන බව පැහැදිලිව පෙනෙනවා. ඇත්තටම ඉහත ගවේෂක තුමා මේ ගැන පෙන්වා දෙනතුරු පුරාවිද්‍යා අංශ මේ ගැන නොදැන සිටීම විශ්මය දනවන්නක් ... !!! එමෙන්ම කනගාටුවට කරුණක් ... මේ ගැන හෙළිකළ ලංකාදීපය ටත්, ස්තූතියි.
මොනවද ඉතින්... යකඩ වැටට මුවා වෙලා කුට්ටියකුත් කඩා ගන්නත් ඇති...
ආසියාවේ දිගම පාෂණ සෙල්ලිපිය! අපූරුයි පරිස්සම් කරලා තියෙන විදිහ. ලංකාවේ පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන බොහොමයක් අපිට නැති කලේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව. ආරක්ෂා කරනවා වෙනුවට කලේ විනාශ කිරීම. නාකොටික් වනජීවී පුරාවිද්‍යා මේ ඔක්කොම මහබඹා කොටලා තියෙන්නේ ළඟ ළඟ අච්චු වල බව ඔවුන්ගේ ක්‍රියාකලාපවලින් හොඳටම පැහැදිලියි.
තෝනිගල හෝ ලතෝනිගල කියන නම ගැනත් යමක් කියන්න ඕනේ. මෙතනට විජයගේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ ගලේ මුල්ම නම තෝණ්ගල. ඒ කියන්නේ සීමාව හෝ මායිම ලකුණු කෙරුණු ගල කියන එක. පහු කාලෙක ව්‍යවහාරයේ පහසුවට තෝනිගල වෙලා. අනිත් එක තෝනිගල කියලා පර්වත තියෙන්නේ ආණමඩුවේ විතරක් නෙමෙයි. වවුනියා කැලේත් තියෙනවා තෝනිගල කියලා නම් කරපු මේ වගේම සෙල් ලිපියක් තියෙන තැනක්.... තවත් තැනක තියෙනවා. මට දැන් මතක නැහැ. මේ තෝනිගලෙන් කුවේණි ලතෝනි දීගෙන පැන්නා නම් හෝ විජය සීමාවක් ඇන්දාම ලතෝනි දුන්නා නම්, අනිත් පළාත්වල තෝනිගල් වලිනුත් ලතෝනි දීගෙන පැනලා තියෙන්න එපෑයැ. මෙතන සහ වෙනත් තැන්වල තෝණ්ගලෙන් නිරූපණය වෙන්නේ අපේ රජවරු සලකුණු කරපු මායිම හෝ සීමාව කියලා තිබ්බ කතාවට තමයි පස්සේ විජය හොරාව ඇඳගෙන තියෙන්නේ. විජය ආණමඩුවේ හිටියා කියන්න කිසිම සාධකයක් නැහැ.
නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කරනවා.. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බලන් ඉන්නවා. අනෙක් පැතිවල පුරාවිද්‍යා ස්ථාන පුරාවිද්‍යා දෙපාර්මේන්තුව විනාශ කරනවා. අපි බලන් ඉන්නවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළොත් කරන්නේ ආරක්ෂාව වෙනුවට විනාශම වෙලා යන ඔය විදියේ ගොන් වැඩක් තමයි. බලන්න ඒ වැටේ හැටි. හොයලා බැලුවොත් මිලියන 20ක් වත් වියදම් කරලා ඇති. හැමතැනම දූෂිත නිලධාරින්...
ලොක්කාට කිව්වා නම් රට ආයෙත් උගස් තියලා, රන් වැටකුත් දාලා ඔය සෙල්ලිපියට වඩා දිග සෙල්ලිපියකුත් ලියලා වටකරලා යයි.
සුද්දාගේ කාලේ බෙල් පාටිය නමින් හැඳින්වූ H.C.P බෙල් සහ ඔහුගේ සගයින් විසින් ලංකාව පුරා නිධන් හෑරීම සඳහා පිහිටුවා ගත් කල්ලිය තමයි ලංකාවේ පුරාවිද්‍යාවේ තිඹිරිගෙය.. සුද්දා ලංකාවෙන් ගියත් ඔහු විසින් ඇතිකළ බෙල් පාටිය හෙවත් පුරාවිද්‍යාව තවමත් සුද්දාගේ වුවමනාව ඉටුකරන හැටි බලන්න. මේවා ඉතිහාසය දන්නෝ දනිති.