නොවැම්බරයේ පිලිපීනයේ මැනිලා නගරයේ පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජින තරගය සඳහා ස්පාඤ්ඤය නියෝජනය කරනු ලබන්නේ, මේ වසරේ ස්පාඤ්ඤ රූ රැජින ලෙස කිරුළ පලන් ආන්ජෙලා පොන්ෂේ ය. දැනට වයස අවුරුදු විසිහයක් වන ඇය මීටර් එකයි සෙ.මී. හැත්තෑහතක් උස ය. බර කිලෝග්‍රෑම් පනස් අටකි. ඇය සැබෑ රූමතියකි. එහෙත් ඇය උපත ලබා ඇත්තේ කාන්තාවක ලෙස නොවේ. පිරිමි දරුවකු ලෙස ය.
ළමා වියේ සිට ම මෙම පිරිමි දරුවාගේ එකම ප්‍රාර්ථනය වී ඇත්තේ ගැහැණු දරුවකු වීමට ය. තමන් පිරිමි දරුවකු ලෙස සලකනු ලබන්නන්ට ඔහු දැඩි විරෝධයක් පෑවේය. ඒ නිසාම දෙමාපිය වැඩිහිටියන්ගේ ද අවසරය ඇතිව, වයස අවුරුදු එකොළහේ පටන් ම කාන්තාවක වීම සඳහා හෝමෝන ප්‍රතිකාර සඳහා යොමුවිය. වයස අවුරුදු විසිඑකේ දී ලිංගික ශෛල්‍යකර්මයක් මගින් පූර්ණ කාන්තාභාවය ලබා ඇත. එතැන් පටන් ඇය ආන්ජෙලා පොන්ෂේ ලෙස පෙනි සිටී.
ස්පාඤ්ඤ රූ රැජින ලෙස තේරීපත්වීමට පෙර සිට ම ආන්ජෙලා පොන්ෂේ මධ්‍යස්ථ ලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරි පෙළේ සටන්කාරියක ලෙස ද දායකත්වය ලබාදෙයි. විශ්ව රූ රැජින තරගයට ඉදිරිපත්වීමෙන් ඇය ජයග්‍රහණය පමණක් නොව, ගෝලීය අවධානය තමන් කෙරෙහි මෙන්ම මධ්‍යස්ථ ලිංගිකයන්ගේ කාලීන ප්‍රශ්න වෙත ද යොමුකර ගැනීමට බලාපොරොත්තු වේ.
විශ්ව රූ රැජින තරගයට ඉදිරිපත් වීමේ දී ඇයට ගැටලු කීපයකට මුහුණ දීමට සිදුවනු ඇත. 2012 වසරේ පැවති විශ්ව රූ රැජින තරගයට කැනඩාව නියෝජනය කළ ජෙන්නා තලක්කෝවා නම් රූමතිය පිරිමියකුව උපත ලබා තිබීම හේතුවෙන්, විශ්ව රූ රැජින තරග සංවිධාන කමිටුවේ ප්‍රධානියා ඇය තරගය සඳහා නොසුදුස්සියක කළේය. එදා විශ්ව රූ රැජින තරග කමිටුවේ ප්‍රධානියාව සිටියේ අන් කිසිවකු නොව, අද ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව කැනඩානු රූමතිය නීති මගට පිවිසියාය.
ආන්ජෙලා පොන්ෂේ පවසන්නේ මධ්‍යස්ථ ලිංගිකයන් සමාජයෙන් කොන්කර ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ය. සමාජය තම අනන්‍යතාවය පිළිගන්නා ආකාරය පිළිබඳව මධ්‍යස්ථ ලිංගිකයෝ සෑහීමකට පත්ව නැත. මින් ඔබ්බට ගොස් මෙම වාතාවරණය නිර්වචන කරන්නේ නම්, ඔවුන් සිටින්නේ දැඩි කළකිරීමෙන් ය. 2017 වසරේ මධ්‍යස්ථ ලිංගිකයන් 885 දෙනෙකු සහභාගි කරගනිමින් කරන ලද ජාත්‍යන්තර පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ, ඔවුන්ගෙන් සියයට හැත්තෑපහක ප්‍රතිශතයක් ජීවිතයේ එක්වරක් හෝ සියදිවි නසාගැනීමට සිතා ඇති බව ය. මොවුන්ගෙන් සියයට විසිපහක ප්‍රතිශතයක් වරක් හෝ සියදිවි නසාගැනීමට උත්සහ කර ඇත. මෙයට හේතුවී ඇත්තේ සමාජය විසින් ඔවුන් කොන්කර තැබීම බව හෙළිවී ඇත.


ගැස්කොන් ලාසරස්.
රෝමය,
ඉතාලිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd