IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සවුදි කාන්තාවන්ට රියැදුරු බලපත් වරම ලැබීමෙන් ආසියාතික රියදුරන් ලක්ෂ අටක රැකියා අවදානමක්

 

සවුදි කාන්තාවන්ට රිය පැදවීමේ තහනම ඉවත් කරන නියෝගයක් එරට රජතුමාවන සල්මාන් බින් අබ්ද් අසීස් විසින් නිකුත් කර ඇති බව රියාද් හි ‘‘අල් අරාබියා’’ රූපවාහිනිය වාර්තා කරයි. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ජගත් සංවිධාන මේ පිළිබඳව තම අර්ධ සතුට පළකර ඇත. එයට හේතුවී ඇත්තේ සවුදි අමාත්‍ය මණ්ඩල කොමිසමක් විසින් මෙම නියෝගය අනුමත කිරීමට තව දින තිහක කාලයක් මිඩංගු කිරීමත්, සවුදි කාන්තාවට රියැදුරු බලපත ලබාගැනීම සඳහා ගෘහමූලික පිරිමියාගේ අවසරය අනිවාර්යය වීමත් ය.   


අන්ත ස්ලාමීය විනය මාලාවක් යටතේ පාලනය වෙන සවුදි කාන්තාව, තම අයිතිවාසිකම් මාවතේ පසුපසින්ම සිටින්නිය ලෙස හැඳින්විය හැකිය. සවුදි කාන්තාවට තහනම් දේ ලයිස්තුගත කරනවාට වඩා අවසර ඇති දේ පේලි දෙක තුනකින් ලිවීම වඩාත් පහසුය. ප‍්‍රදේශීය ඡන්දයකදී ඡන්ද පාවිච්චි කිරීමේ බලය, ප‍්‍රාදේශීය විධායක උපදේශක මණ්ඩලයට තේරීපත්වීමේ අයිතිවාසිකම, අධ්‍යාපන නිදහස හා ක‍්‍රීඩා පුහුණුව ලැබීම ද, සුදුසුකම් ලැබූවන්ට ඉහළම ජාත්‍යන්තර ක‍්‍රීඩා තරගය වන ඔලිම්පික් ක‍්‍රීඩා තරගය දක්වා (අනුමත ඇඳුමින් සැරසී) තරගයන්ට සහභාගීවීමේ අයිතිය ද පමණක් සවුදි කාන්තාවට හිමිය. (සවුදියේ උපාධිධාරිනියන්ගේ සංඛ්‍යාව, එරට උපාධිධාරීන්ගේ සංඛ්‍යාව අභිබවා ගොස් ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි)   


තම පවුලේ අනෙකුත් සාමාජිකයන්ට බාහිර වූ විරුද්ධ ලිංගිකයන් හා සමීප ඇසුර, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවුලේ භාරකාර පිරිමියාගේ අවසරයකින් තොරව පුද්ගල අනන්‍යතා සහතිකය (ජාතික පුද්ගල හැඳුනුම්පත) හෝ ජාත්‍යන්තර ගමන් බලපත හෝ ලබාගැනීම, පවුලේ සාමාජිකයන්ගෙන් තොරව බොජුන් හලක ආහාරපාන අනුභවය ද, සවුදි කාන්තාවට තහනම් දේ අතර අංශු මාත‍්‍රයකි.   


උක්ත වාතාවරණය මැද ජීවත්වෙන සවුදි කාන්තාවට රිය පැදවීම සඳහා අවසරය ලැබීම සවුදි කාන්තා නිදහසේ පළමු පියවර ලෙස ජාත්‍යන්තර කාන්තා අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන නිර්වචන කරයි. එහෙත් රියැදුරු බලපත සඳහා ද පවුලේ ගෘහ මූලික පිරිමියාගේ අවසරය අනිවාර්යය වීම පිළිබඳව නම් මෙම ආයතන වැඩි ප‍්‍රසාදයක් දක්වන්නේ නැත.   


සවුදි කාන්තාවට රියපැදවීම තහනම හේතුවෙන් ළමුන් පාසල් ගෙනයාම, කාන්තාවන්ගේ ගමන් බිමන් යාම වැනි සේවාවන් සඳහා වැටුප් ගෙවා පෞද්ගලික රියැදුරන්ගේ සේවය ලබාගැනීමට සිදුවී තිබීම, සීමාසහිත ආදායම් ලබන සවුදි මධ්‍යම පාන්තිකයන්ට අසීරු කරුණක්වී ඇත. මෙම සේවාවන් සඳහා ශ්‍රී ලාංකික ඉන්දියානු බංගලාදේශ හා පකිස්ථානු වැනි ආසියාතික රියැදුරන් ලක්ෂ අටක පමණ සංඛ්‍යාවක් යොදවා ගනිතැයි සවුදි කම්කරු අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි. සවුදි කාන්තාවට රියැදුරු බලපත ලබාගැනීමට ඇති තහනම ඉවත් වුවහොත්, මෙම ආසියාතික රියදුරන්ට තම රැකියා අහිමිවීමට ඉඩ ඇත.   


සවුදි කාන්තාවන්ට රියැදුරු පුහුණුව ලබාදීම පිළිබඳව ද ගැටලු ඇත. රියැදුරු පුහුණුව සඳහා පිරිමි උපදේශකවරුන් නොව, කාන්තා උපදේශකවරියන් පමණක් යොදවා ගැනීමට සිදුවනු ඇත. මේ අනුව විදේශික රියැදුරු පුහුණු උපදේශිකාවන්ට සවුදියේ නව රැකියා විශාල ප‍්‍රමාණයක් නිර්මාණය වෙනු ඇත. රියැදුරු බලපත ලබාගැනීමේ අවසරය සවුදි කාන්තාවට හිමිවුවහොත් සවුදි ආර්ථිකයේ ද කිසියම් වෙනසක් සිදුවන බව, කලාපීය ආර්ථික විෂ්ලේෂකයෝ සහතික කරති.   


කපිල ගමගේ   
රියාද්, සෞදි අරාබිය



අදහස් (0)

සවුදි කාන්තාවන්ට රියැදුරු බලපත් වරම ලැබීමෙන් ආසියාතික රියදුරන් ලක්ෂ අටක රැකියා අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site