අභිමානවත් සංස්කෘතියකින් පෝෂිත ‘ශ්‍රී ලංකාව’ නම් වූ අපගේ ආදරණීය මාතෘ භූමිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි. මහ පොළව සශ්‍රීක ය. සොබාදහම සුන්දර ය. කාලගුණික හා දේශගුණික වශයෙන් පීඩා නොකරයි. 


එබැවින් ම ඉතිහාසයේ අදිරාජ්‍යවාදී ආක්‍රමණිකයන් වරින් වර මේ දේශය යටත්කර ගන්නටත් ලක් මෑණියන්ගේ ජීවය මිරිකා ගන්නටත් විවිධ උපක්‍රම කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස සියවස් 5ක පමණ කාලයක් අර්ධ වශයෙන් හා පූර්ණ වශයෙන් ඔවුනට යටත් වහලුන් වන්නට අපගේ මුතුන් මිත්තන්ට සිදු විය. 


එහෙත් සිංහල ලේ ප්‍රාණවත් ය. අදීන හා අභීත බව උරුම කොට ඇත්තේය. එබැවින් යටත් විජිත යුගය යනු අධිරාජ්‍යවාදියාට ද නිදහසේ ඔවුන් වහල් සේවයේ යොදන්නට නොහැකි විය. දිවි පුදා හෝ මව් බිම නිදහස් කර ගැනීමේ නොනවතින අරගලයක මව් බිමේ සුජාත දූ පුත්තු කැරලි ගැසූහ. සටන් කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1948 දී නිදහස දිනාගන්නට අපට හැකි විය. එය පරිපූර්ණ නිදහසක් නොවුන ද අපට අවැසි නම් දෙපයින් නැගී සිටින්නට නිදහසක් එහි තිබුණේය. 


දේශයේ නිදහස දිනාගැනීම වෙනුවෙන් අරගලයේ පෙරමුණ ගත් ගෞරවණීය මහ සඟරුවන සහ අභීත හෙළ විරුවන්ට අප සදා ණය ගැති වෙමු. එසේම අපගේ ගෞරවනීය උපහාරය පිරිනමමු. 


මෑත භාගයේ ද තිස් වසරක් පුරා අප රට වෙළාගත් අමානුෂික ත්‍රස්තවාදී ග්‍රහණයෙන් ද ලක් විරුවන් රට මුදා ගත්තේ ජීවිත හා අත් පා පරිත්‍යාග කරමින් ය. 


71 වැනි නිදහස් සැමරුම ලක්බිමේ සිට අපට කළ නොහැකි වුවද සත් සමුදුරෙන් එපිට සිට හෝ අප එය කළ යුතුය. ඒ හදවතින්ම අප, අපගේ මව් බිමට ආදරය කරන බැවිනි. 
සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට අනුබද්ධිත නිකෝසියා සදහම් සෙවනේ දී 2019 පෙබරවාරි 3 වැනි ඉරු දින ‘71 වැනි ජාතික නිදහස් සැමරුම’ උත්සවාකාරයෙන් සිදු කිරීමට අපට හැකි විය. එය සංවිධානය කරන ලද්දේ සයිප්‍රසයේ ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසිනි. 


සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමය සහ කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාම පුරාණ විහාරය යන උභය විහාරාධිපති, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක, අතිපුජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට විහාරවාසී පූජ්‍ය කුඩාරඹාවැවේ ධම්මගවේසී ස්වාමීන්වහන්සේද  වැඩම කොට සිටියහ. 


ප්‍රධාන ආරාධිතයා ලෙස සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරල් රෝහණ අඹගොල්ල මහතා සහ එම මහත්මිය සහභාගී වූ අතර කොන්සල් කාර්යාලයේ සියලුම නිලධාරි භවතුන් ද උත්සවයට එක්ව සිටියහ. 

 

 


ප්‍රථමයෙන් පිරිස පනසිල්හි පිහිටුවීම සිදු වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලාංකීය අභිමානය රැගත් ජාතික කොඩියත් බෞද්ධ අනන්‍යතාව වන බෞද්ධ කොඩියත් සයිප්‍රසයේ ජාතික කොඩියත් ඉහළ අහසට එසවීම සිදු විය. ජාතික ගීය ගායනා කිරීම සිදු වූයේ ඉන් අනතුරුවයි. 


1948 පෙබරවාරි 04 දින නිදහස ලැබීම පිළිබඳ වීඩියෝ දර්ශන සහිතව වාර්තාමය වැඩසටහනක් ප්‍රදර්ශනය කරමින් අපගේ මතකය අලුත් කිරීම ඉන් අනතුරුව සිදු විය. 
උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ගරුතර නායක ස්වාමීන්වහන්සේ විසිනි. පැමිණ සිටි සියළු දෙනාගේම සිත එම දෙසුම කෙරෙහි දැහැන් ගතව තිබෙනු දක්නට ලැබුණි. ඒ දෙසුමට සවන් දුන් අපගේ සිත තුළ දේශය පිළිබඳ ආදරය හා අභිමානයත්, නිදහස් අරගලයට පණ පෙවූ විරුවන් කෙරෙහි ගෞරවයත්, නිදහස වෙනුවෙන් දිවි පිදූ උතුම් මිනිසුන් කෙරෙහි උත්තමාචාරයත් නිතැතින්ම ඇති විය. 


‘නිදහස’ යන වචනයෙහි අරුත මනාව පැහැදිළි කර දුන් උන්වහන්සේ, ලොව කොතැනක ජීවත් වුවද සිය මාතෘ භූමියේ ගෞරවය ආරක්‍ෂා වෙන පරිදි ජීවත්වීමට ද උපදෙස් දුන්හ. 
කොන්සල් ජනරාල් රෝහණ අඹගොල්ල මහතා සිය නිදහස් දින පණිවුඩය ඉදිරිපත් කරමින්, සයිප්‍රසයේ වෙසෙන ලාංකික ප්‍රජාව වෙනුවෙන් ජාතික, ආගමික හා සංස්කෘතික වශයෙන් විහාරස්ථානය මුල් වී කෙරෙන මෙහෙවර අගය කළේ ය. ආර්ථික සමෘද්ධිය ලබා ගැනීම සඳහා විදෙස් ගතවූ කිසිවෙකු වංචාකාරයින්ට හා තැරැව්කරුවන්ට හසු නොවිය යුතු බවත් කොන්සල් කාර්යාලයේ දුරකථන ඔබ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක විවෘත බවත් පැවසීය. 


අනතුරුව බුද්ධ පූජාව පූජා කොට මියගිය විරුවන්ට පැන් වඩා පුණ්‍යානුමෝදනා කිරීම සිදු විය. 

 

 


විමලා යාපා 
මාධ්‍ය ඒකකය, 
සයිප්‍රසයේ ශ්‍රී ලංකා 
බෞද්ධ සංගමය.