IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බෙත්ලෙහෙමේ එදා ජේසු උපත ලද හුණුගල් ගව ලෙන අද ඇති අයුරු

 

දෙසැම්බර් විසිපස්වැනිදාට තව දින කීපයක් ඇත. රෝම අධිරාජ්‍යයාගේ අණ පරිදි පැවැත්වීමට නියමිත ජන සංගණනයට සහභාගිවීම සඳහා නාසරෙත්හි වඩු කාර්මික ජුසේ තම ගැබ්බර බිරිඳ මරියා සමග තමන් උපත ලැබූ බෙත්ලෙහෙමට පැමිණීම සඳහා තවමත් ගමනේ ය. සියල්ල සැලසුම් ප්‍රකාර සිදුවී දෙසැම්බර් මස විසිපස්වැනිදා නත්තල වීමටත්, එතෙක් ජුදයේ අප්‍රකට නගරයක්ව තිබුණු බෙත්ලෙහෙම ආගමික ශාස්තෘවරයකු උපත ලද ශුද්ධ භූමියක් ලෙස පසිඳු වීමටත් තව දින කීපයක් ඇත. එතෙක් එදා බෙත්ලෙහෙමේ අද පිළිබඳව තැබෙන සටහනකි මේ. 


බයිබලයේ පරණ ගිවිසුමට අනුව “එෆ්රාටා” ජුදයින්ගේ බිම ය. මෙහි ජනතාව යැපුනේ ධාන්‍ය වගාවෙන් සහ බැටළු පට්ටි පාලනයෙන් ය. මෙම බිම ධාන්‍යයෙන් සශ්‍රීක වූ බැවින්, පසුව හීබෘ බසින් ආහාරය නිපදවන තැන යන අරුතැති බෙත්ලෙහෙම නම ලැබීය. ජෙරුසලෙමේ සිට කි.මී. දහයක් ඔබ්බෙහි බෙත්ලෙහෙම පිහිටා ඇත. 
දැවැන්ත රෝම අධිරාජ්‍ය තුළ මුල්ම සංගණනය කෙරුනේ ඔගස්ටස් සීසර් අධිරාජ්‍යයාගේ කාලයේ ය. මෙම සංගණනය සඳහා අධිරාජ්‍ය තුළ විසුවෝ ලේඛණගත විය යුතුව තිබුණේ තම තමන් උපත ලද ගම්පියසේ ය. මේ අනුව නාසරෙත්හි වඩුකාර්මිකයකුව සිටි ජුසේ ද, තම ගැබ්බර බිරිඳ සමග තමන් උපත ලැබූ බෙත්ලෙහෙමට පැමිණියේය. ජුසේ ගේ බිරිඳ වූ මරියා තම පුතු ජේසු ප්‍රසූත කළේ මේ ගමනේ දී ය. ඒ අනුව බෙත්ලෙහෙමේ ජේසු උපත අහම්බයකි. එහෙත් ඉශ්‍රායෙල් වංශයේ ගැලවුම්කරු යුදයේ බෙත්ලෙහෙමේ උපත ලබන බව, අතීතයේ විසූ අනාගත වක්තෘවරුන් විසින් ලියා තබා තිබුණි. 


පසුකාලීන සිතුවම් සහ ඇතැම් ලේඛනයකට අනුව ජේසු උපත ලැබුවේ ගවමඩුවක බව සටහන් වුව ද ඉශ්‍රායෙල් ජනප්‍රවාදයන්ට සහ පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව එතැන තිබී ඇත්තේ ගව මඩුවක් නොව හුණුගල් හාරා කරන ලද ලෙනකි. එදවස සතුන් සඳහා මෙන්ම, මිනිස් වාසය සඳහා ද නිවසට ඈඳූ මෙවැනි ලෙන් එම කලාපයේ භාවිතා වී ඇත. ඒ අනුව ජේසු උපත ලද ස්ථානය බෙත්ලෙහෙමේ ලෙනකි. 


ජේසු උපතේ සිටම විශේෂ අවධානයක් යොමුවුණු මෙම ලෙන, ශතවර්ෂ කීපයක් ගතවෙනතුරු පියාගෙන් පසු පුතු භාරයේ ආරක්ෂාවී තිබුණි. ක්‍රි.ව. 336 දී එවකට රෝම අධිරාජ්‍යයාව සිටි කොස්තන්තීනු අධිරාජ්‍යයා විසින් තම මව වූ හෙලන් බිසවගේ ඉල්ලීම මත මෙම ගවලෙන ආරක්ෂාවෙන පරිදි එතැන දේවස්ථානයක් ඉදිකරවීය. එහෙත් ක්‍රි.ව. 529 දී සමරිතානුවරුන් ඉශ්‍රායෙලය ආක්‍රමණය කිරීමේ දී මෙම දේවස්ථානයට තදබල හානි සිදුවිය. ඊට වසර දෙසීයකට පසුව ගුස්තිනියානු රෝම අධිරාජ්‍යයා විසින් අබලන් දේවස්ථානය ප්‍රතිසංස්කරණය කරමින් එය වඩාත් විශාලකර බැසිලිකාවක් ඉදිකරන ලදී. බෙත්ලෙහෙමේ ජේසු උපත ලද ස්ථානයේ අද අප දකින්නේ එම බැසිලිකාව ය. 
ජේසු උපත ලද ගවලෙන වටා ගොඩනගා ඇති මෙම බැසිලිකාවට ඇතුළුවීම සඳහා ඇති ප්‍රධාන ද්වාරය ඉතාම කුඩා එකකි. එහි උස මීටර එකයි සෙන්මීටර විස්සකි. එය ගල් උළුවස්සකට සමානය. එබැවින් මෙම ද්වාරයෙන් ඇතුළුවිය යුත්තේ හිස නමාගෙන ය. එකවරකට ඇතුළුවිය හැක්කේ එක් අයෙකුට පමණි. දැවැන්ත බැසිලිකාවේ ප්‍රධාන ද්වාරය මෙතරම් කුඩාවීම පිළිබඳව කරුණු ප්‍රකාශ වෙන මත දෙකකි. ජේසුතුමන්ට ගෞරව පිණිස එතුමෝ උපත ලද ස්ථානයට හිස නමාගෙන ඇතුළුවීම සඳහා මෙම ද්වාරය මෙතරම් කුඩාවට නිර්මාණය කර ඇති බව එක් මතයකි. කුරුස යුද්ධ පැවති යුගයේ දී බැසිලිකාව විනාශ කිරීම සඳහා සතුරාට අසුපිටින් හෝ සමූහ වශයෙන් හෝ කඩාවැදීම වැළකීමට මෙම ද්වාරය මෙසේ කුඩාවට තනා ඇති බව අනෙක් මතයයි. 


උක්ත කුඩා ද්වාරයෙන් ඇතුළුවෙන්නේ මීටර පනස් හතරක් දිග බැසිලිකාවේ ප්‍රධාන ශාලාවට ය. එය දැවැන්ත කිරිගරුඬ කුළුණු පේළි හතරකින් කොටස් පහකට බෙදී ඇත. බැසිලිකාවේ බිත්ති පැරණි මොසැයික් සිතුවම්වලින් පිරී ඇත. බැසිලිකාවේ ඇතැම් ස්ථානයක වර්තමාන බිමට සෙන්ටි මීටර අසූවක් යට, පැරණි දේවස්ථානයේ බිම සරසා තිබී ඉතිරිව ගිය මොසැයික් මෝස්තර අද ද දැකගත හැකිවෙන අයුරින් නිරාවරණව තබා ඇත. 


ජේසු උපත ලද ස්ථානය දැකගැනීම සඳහා බැසිලිකාවේ ප්‍රධාන අල්තාරය අසලින් පහත මාලයට බැසගත යුතුය. පටු පියගැට කීපයකට පසුව අල්තාරයක් යට ජේසු උපත ලද ස්ථානය සටහන්කර ඇත. මෙම ස්ථානය වැඳපුදා ගැනීම සඳහා අල්තාරය යටට රිංගා ගත යුතුය. සුදු පැහැ කිරිගරුඬ අතුරා ඇති මෙතැන, රිදියෙන් කළ කොන් දාහතරක් සහිත තරුවකින් ජේසු උපත ලද තැන සලකුණු කර ඇත. කන්‍යා මරියතුමිය කුසින් ජේසු උපත ලැබුවේ මෙතැනය යන්න, තරුව වටා ලතින් භාෂාවෙන් ලියා තබා ඇත. එම රිදී තරුවට ඉහළින් එල්ලා ඇති රිදී පහන් පහළොවකි. 


බිළිඳු ජේසු උපත ලද තැනට පිවිසෙන පියගැටපෙළට විරුද්ධ දිසාවෙන් තවත් එවැනිම පටු පඩිපෙළකි. එය එම ස්ථානයෙන් පිටවීමේ දොරටුව ලෙස පෙනුන ද, ඊට යාබද කුටියේ එකිනෙකට මුහුණ ලා සිටින සේ ඉදිකළ අල්තාර දෙකකි. ඉන් එකක් උපත ලද බිළිඳු ජේසු සතපා තැබූ ගව ඔරුව තිබුණු ස්ථානය මත ඉදිකෙරුණු අල්තාරයයි. අනෙක් අල්තාරය බිළිඳු ජේසු වැඳපුදා ගැනීමට පැමිණි රජ තුන් කට්ටුව එතුමන්ට පඬුරු පූජා කළ ස්ථානය ලෙස සැලකේ. එම අල්තාරය මත උක්ත අවස්ථාව නිරූපනය කෙරෙන දැවැන්ත මොසැයික් සිතුවමකි. 


මීට අමතරව බිළිඳු ජේසුට මරියතුමිය කිරි දුන් ස්ථානය ලෙස ද උපත ලද විගස ජේසු බිළිඳ‌ා දෝවනය කළ ස්ථානය ලෙස ද ජේසුගේ උපත හා බැඳුණු වැදගත් ස්ථාන කීපයක් ම මෙම බැසිලිකාව තුළ දැකගත හැකිය. 


මෙම බැසිලිකාවේ තේවාවන් ග්‍රීක ඕතඩොක්ස, අර්මේනියානු සහ කතෝලික පූජකවරුන් අතර පැහැදිලි ලෙස බෙදා වෙන්කර දී ඇත. කතෝලික ෆ්‍රැන්සිස්කානු පූජකයින් විසින් මෙම බැසිලිකාවේ ප්‍රධාන දොරටුව දිනපතා විවෘත කරනු ලබන්නේ අළුයම හතරට ය. 


අද බෙත්ලෙහෙම අයත් වෙන්නේ පලස්තීනයට ය. අවසන් සංගණනයට අනුව බෙත්ලෙහෙමේ අද ජනගහනය තිස්දහසකි. 1948 දී ප්‍රතිශතයක් ලෙස 80%ක් වූ බෙත්ලෙහෙමේ කතෝලික ජනගහනය, අද වෙනවිට 12%ක් බවට පත්ව ඇත. සංචාරක ව්‍යාපාරය හැරුණුවිට වෙනත් ආදායම් මාර්ගයක් බෙත්ලෙහෙමට නැත. 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, 
ඉතාලිය. 



අදහස් (0)

බෙත්ලෙහෙමේ එදා ජේසු උපත ලද හුණුගල් ගව ලෙන අද ඇති අයුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 38 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site