IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දිගුකල් ජීවත් වෙන්න ඕනෑනම් ඔබේ මොළය වෙහෙස කරවන්න

කෙනෙකුන්ට දැන් කළ දෙයක් මේ දැන් මතක නැත. තවත් කෙනෙකුන් කෝන්තර ඔළුවේ තියාගෙන කල්ප ගණන් සිටී. යම් සිද්ධියක්, යම් කෙනෙකුන්, සිහි නොවෙන මොහොතක් නැති අය ද වෙති. අයෙකුට මතක තිබූ නමක් ගමක් අංකයක් මුහුණුවරක් කල්යාමේදී කොටින්ම මතක නැත. ඡන්ද අපේක්ෂකයන් විසින් දෙන ලද පොරොන්දු ජයග‍්‍රහණයෙන් පසුව අමතකව යන බව බොහෝ අය කියති. මතකයෝ එසේ ය. බොහෝ කාලයක් ආවර්ජනය කිරීමෙන් වැළකී සිටින විට මතකයෝ ගිලිහී යති.   


අමතකව ගිය යමක් යළි මතක් කරගැනීමට මෙන්ම ඇතැම් දෙයක් අමතක කිරීමට ද මොළය වෙහෙසීම, ආයු කාලය දීර්ඝකර තාරුණ්‍යය රැකගැනීමට මිනිසාට නොමිලේ ලබාගත හැකි ඖෂධයක් බව, ජර්මනියේ ෙහෙයිඩල්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක හා එම විශ්වවිද්‍යාලයේම මනෝ චිකිත්සකයකු විසින් කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත. මෙම පර්යේෂණ වාර්තාව දැන් පොතක් ලෙස එළිදැක ඇත.   


මතක ගබඩාකර තැබීම සඳහා වර්තමානයේ මොළය වෙනුවට ජංගම දුරකතනය හෝ පරිගණකය ප‍්‍රයෝජනයට ගැනීම මිනිස් මොළයේ ක‍්‍රියාකාරීත්වය නිසි ලෙස රැකගැනීමට බාධාවක්ව ඇති බව උක්ත පර්යේෂණ වාර්තාව වැඩිදුරටත් කියයි.   


එකිනෙකට වෙනස් වූ කාර්යයන් සඳහා සංවේදී වූ සියුම් ශෛල තුන්සිය හැටකින් (360) මොළය නිර්මාණය වී ඇත. මිනිස් මොළයෙන් සියයට හැත්තෑපහක ප‍්‍රමාණයක් ද්‍රවශීලීය. දිනකට මිනිස් මොළය තුළ සිතුවිලි හැත්තෑදහසක් පමණ ඉපදී මියෙන බව උක්ත පර්යේෂකයෝ කියති.   


මිනිස් මොළය මතක ගබඩාකර තැබීම පමණක් නොව විවිධ අවස්ථාවල ජීවිතය සාර්ථකව කළමනාකරණය කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මතක ගබඩාවෙන් සැපයීම ද කරනු ලබයි. උදාහරණයක් ලෙස මෙම ලිපිය ලිවීමේදී එකිනෙක අකුරු ඈඳා වචන ගැලපීමට උපදෙස් දෙන්නේ මීට වසර ගණනකට පෙර පාසල් අධ්‍යාපනය මගින් මොළයෙහි තැන්පත් කර ඇති සිංහල භාෂාව පිළිබඳ පැරණි පාඩමය.   


කිසියම් කාලයක් මොළයේ ඒ ඒ විෂයට අදාළ ශෛල භාවිතයට ගැනීමෙන් වැළකී සිටීමෙන් සිදුවෙන්නේ අවශ්‍ය අවස්ථාවක ඒ විෂයට අදාළ මොළයේ ශෛල ප‍්‍රතික‍්‍රියා දැක්වීම ප‍්‍රමාද කිරීම හෝ ප‍්‍රතික‍්‍රියා දැක්වීමෙන් මුළුමනින්ම වැළකී සිටීමය. මෙයට හේතුවෙන්නේ මිනිසා ඇතැම් ක‍්‍රියාකාරකම්වලින් වැළකී සිටීමේදී මොළයේ ඊට අදාළ ශෛලයන් අඩපණ වීම හෝ මුළුමනින්ම ක‍්‍රියාවිරහිත වීමය. උදාහරණ ලෙස කිසියම් භාෂාවක් උගැනීම යනු ඒ භාෂාව මොළයේ ඒ විෂයට අදාළ ශෛල තුළ ගබඩාකර තැබීමය. එහෙත් එම තැන්පත්තුව දීර්ඝකාලීනව අභ්‍යාස කිරීමෙන් වැළකී සිටී නම්, එම භාෂාව ගබඩාකර තිබුණු ශෛල අඩපණ වීම හෝ මුළුමනින්ම ක‍්‍රියාවිරහිත වීම හෝ සිදුවේ. මුලදී දැන සිටි යමක් යළි යළි මතක් කිරීමෙන් තොරව දීර්ඝකාලයක් ගතවීමෙන් පසුව අමතක වෙන්නේ එලෙසය. අඩපණ වූ ශෛල ආයාසයකින් යළි පණගැන්විය හැකි නමුදු, ක‍්‍රියාවිරහිත වූ ශෛල යළි පණගැන්වීම දුෂ්කරය. ඇතැම් අවස්ථාවක ශාරීරික අබාධයකදී මොළයේ මෙම ශෛල ක‍්‍රියාකාරීත්වය අඩපණ වීම හෝ ක‍්‍රියාවිරහිත වීම හෝ සිදුවිය හැකිය. ඒ සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍යය.   


අමතකයක් මතක් කරගැනීමට වෙහෙස දැරීම මෙන්ම කිසියම් මතකයක් අමතක කිරීමට ගනු ලබන ආයාසය ද මොළයේ අදාළ ශෛල උද්දීපනය කිරීමට සමත්ය. මේ හේතුවෙන් යමක් මතක් කිරීමට මෙන්ම අමතක කිරීමට ද දරන ආයාසය මිනිසාගේ ආයු කාලය දීර්ඝ කිරීමට මෙන්ම තාරුණ්‍යය රැකගැනීමට ද ප‍්‍රයෝජනවත් බව උක්ත පර්යේෂණයෙන් හෙළිවී ඇත. ගණන් එකතු කිරීම, හරස්පද ප‍්‍රහේළිකා පිරවීම වැනි කාර්යයන්හිදී පැරණි මතක හාරා ඇවිස්සීමට සිදුවීම මොළයේ ක‍්‍රියාකාරීත්වයට යහපත්ය.   


පැරණි මතකය නැවත ආවර්ජනය කිරීමේදී හුදු ආවර්ජනයම පමණක් නොව, ඒ මතකයන් තුළ මොහොතක් හෝ ජීවත්වීම මිනිසා තාරුණ්‍යය වෙත ගෙන යයි. කවියෝ ද නවකතාකරුවෝ ද සිනමාකරුවෝ ද නාට්‍යකරුවෝ ද තම නිර්මාණයන් සඳහා තමන්ගේ මෙන්ම අනුන්ගේ ද සොඳුරු මතකයන් තුළ ජීවත්වීම හේතුවෙන්, ඔවුන් වයස්ගත වුව ද බාහිර පෙනුමෙන් තාරුණ්‍යයේ ලකුණු පෙන්නුම් කරයි.   


දුක පිළිබඳ වේදනාකාරී මතක කාලයත් සමගම බොඳවී යන බව ද උක්ත පර්යේෂණ වාර්තාවේ සඳහන්ය. වසර කීපයකට පෙර සිදුවූ අධිවේදනාකාරී සිදුවීමක් අද ද මතක්කරගත හැකි වුව ද එදා දැණුනු වේදනාව අද ඒ අයුරින්ම දැනෙන්නේ නැත. දුක වේදනාව බොහෝ විට මිනිස් සන්ථානය තුළ කාලයත් සමගම බොඳවී ගිය ද සංතෘෂ්ඨිය මනසින් බොඳවී යාමේ වේගය අඩුය. ප‍්‍රීතිමත් අවස්ථාවල් පිළිබඳ මතකය ගබඩාකර තැබීමට හිමිකරුගේ නියෝග යටතේ නොවුව ද මොළය කැමැත්තක් දක්වයි.   


මිනිසාට නොකියාම ඇතැම් මතකයන් සංස්කරණය කිරීම ද මොළය විසින් කරනු ලබයි. පෙර අවස්ථාවක අප සසල කළ හෝ හැඬවූ හෝ ඇතැම් සිද්ධියක මතක පසුකලෙක නැවත හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ, එදාට වඩා හාත්පසින්ම වෙනස් අදහසක් දෙන අයුරින් ඉහත සිද්ධිය මොළය විසින් සංස්කරණය කර ගබඩාකර තබා ඇති බවය. උදාහරණ ලෙස ඉහත අවස්ථාවක මහත් අභිරුචියකින් කරන ලද ඇතැම් දෙයක් පිළිබඳව නැවත ආවර්ජනය කිරීමේදී මොළයේ අද සටහන්ව ඇත්තේ එදා කළේ මෝඩකමක් බවය.   


මතක අමතක කිරීමේ හෝ සංස්කරණය කිරීමේ හෝ ක‍්‍රියාවලිය මොළය විසින් කරනු ලබන්නේ බොහෝ විට මොළය හිමිකරුගේ නියෝගයකින් තොරවය. එහෙත් මතක තබාගැනීම සඳහා මොළයට නිතරම නියෝග කළ යුතුය. මොළයට නියෝග දීම සඳහා පාවිච්චි කළ යුත්තේ ද මොළයේම වෙනත් ශෛල සමූහයකි. විෂයයේ හැටියට එම මතක ගබඩා කළ යුතු හා විධාන ග‍්‍රහණය කළ යුතු ශෛල තීරණය කිරීම මොළය මගින් ස්වාධීනවම කරයි. නියෝග ලිහිල් වනවිට මොළය ද ගබඩා කර ඇති මතක නොසලකා හැරීමේ මුරණ්ඩු තත්ත්වයකට පත්වේ. මතක අමතක වෙන්නේ මෙම දීර්ඝකාලීන නොසලකා හැරීම තුළය. මොළයේ ශෛල නිතරම ක‍්‍රියාත්මකව තබාගත යුතුය. ආවර්ජනය මගින් මොළයේ ශෛලයන් උද්දීපනය කර ක‍්‍රියාකාරීව තබාගැනීම දීර්ඝායු ලබාගැනීමට හා තාරුණ්‍යය රැකගැනීම සඳහා නොමිලේ ලබාගත හැකි හොඳම ඔසුව බව අමතක නොකළ යුතුය.   


චාපි කෝසලා   
මියුනිච්, ජර්මනිය



අදහස් (1)

දිගුකල් ජීවත් වෙන්න ඕනෑනම් ඔබේ මොළය වෙහෙස කරවන්න

WA niluka Tuesday, 09 March 2021 05:19 AM

විශිෂ්ට අදහසක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31151 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site