IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


කටුනායක ගුවන් තොටුපොළ අරක්ගෙන සිටින තීරු බදු කාක්කන් මට්ටු කරන්නට බැරිද?

දින අනූවකට වැඩි කාලයක් විදේශගතව සිට මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයකු විදේශයේ රැඳී සිටි කාලයට අනුපාතිකව, රට තුළට ද්‍රව්‍යමය භාණ්ඩ ගෙන ඒමේදී තීරු බදු සහනයකට හිමිකම් ලබයි. මෙම සහනය රේගු රෙගුලාසිවලට යටත්ව විදේශයේ සිට ගෙන එනු ලබන භාණ්ඩවලට හෝ, ගුවන්තොටුපොළ පර්යන්තය තුළ පිහිටුවා ඇති වෙළෙඳ සංකීර්ණයෙන් භාණ්ඩ මිලට ගැනීමට හෝ යොද‌ාගත හැකිය. තීරු බදු සහන අනුමත මුදල් ඒකකය ලෙස තීරණය වී ඇත්තේ ඩොලරයයි.   


මෙම තීරු බදු සහනය වඩාත් සරලව විස්තර කෙරෙන්නේ නම්, දින අනූවකට වැඩි කාලයක් විදෙස්ගතව සිටි අයෙකු ආපසු මව්බිමට පැමිණීමේදී ඩොලර් එකසිය අසූහතක (187.00) තීරු බදු සහනයක් ද, දින අනූවේ සිට දින තුන්සිය හැටපහ දක්වා වෙන කාලයක් විදේස්ගතව සිටියකුට ඩොලර් පන්සීයක තීරු බදු සහනයක් ද, එක් වසරේ සිට වසර පහ දක්වා විදේශයක නේවාසිකව සිට මව්බිමට පැමිණෙන්නකුට ඩොලර් හයසිය විසිපහක සහනයක් ද, වසර පහට වැඩි කාලයක් විදෙස්ගතව සිට යළි මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට ඩොලර් දහසක තීරු බදු සහනයකට ද අයිතිවාසිකම් ලැබේ. 


විදෙස්ගතව සිට මව්බිමට පැමිණෙන බොහෝ අය උක්ත තීරු බදු සහනය පාවිච්චි කරනු ලබන්නේ ගුවන් තොටුපොළ තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණයෙන් විදුලි උපකරණ වැනි දේ මිලට ගැනීම සඳහා ය. තමන්ට හිමි තීරු බදු සහනය කොයිම ආකාරයකින් හෝ ලබා නොගන්නෝ ද වෙති. 


විදෙස්ගතව සිට මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඔවුන්ට හිමි තීරු බදු සහනය වංචා කිරීමට පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ තුළ සැදී පැහැදී සිටින බවට ලැබෙන වාර්තා එමට ය. නිල අවසර නොලද පුද්ගලයකුට ගුවන් තොටුපොළේ ඇතුල්විය නොහැකි කලාපයේ සිට කෙරෙන මෙම කොල්ලය පිළිබඳව ගුවන් තොටුපොළ බලධාරීන් නොදන්නවා යැයි සිතීමට බැරිය. අවශ්‍යතාවක් ඇතොත්, මේ මොහොතේ වුවද මෙම කපුටන් කොටු කර ගැනීමේ අවස්ථාව ගුවන් තොටුපොළ බලධාරීන්ට නැතුවාම නොවේ. 
විදෙස්ගතව සිට වසර පහළොවකට පසුව පසුගියද‌ා මව්බිමට පැමිණි ශ්‍රී ලාංකිකයකුගේ මුළු තීරු බදු සහනය ම මෙම වංචනිකයකු විසින් කොල්ලකාගෙන තිබුණේ රුපියල් පන්දහසකට ය. එම ශ්‍රී ලාංකිකයා වසර පහකට වැඩි කාලයක් විදෙස්ගතව සිටි බැවින්, ඔහුට හිමිව තිබුණේ ඩොලර් දහසක තීරු බදු සහනයකි. උක්ත වාංචනිකයා විසින් තීරු බදු රහිතව ඩොලර් දහසක් වටිනා විදුලි උපකරණ තොගයක් ශ්‍රී ලාංකිකයා අන්දවා මිලට ගෙන තිබුණි. මෙම භාණ්ඩ තොගය දේශීය වෙළෙඳපොළේ විකුණා මෙම වාංචනිකයා ලබන්නට ඇති ලාභය පිළිබඳව බොහෝ අය සිතන්නේ නැත. 


විදෙස්ගතව සිට මව්බිමට පැමිණෙන්නකු සතු තීරු බදු සහනය කෙනෙකුන්ට සොරාගැනීමට බැරිය. පැවරීමට හෝ අන්සතු කිරීමට හෝ රේගු නීතියෙන් අවසරයක් නැත. ගුවන් තොටුපොළ තුළ සිටින සංවිධානාත්මක පිරිසක් විසින් මෙම වංචාව කරනු ලබන්නේ තීරු බදු සහන හිමියාගේ පූර්ණ කැමැත්ත සහ අවසරය මත ය. ගුවන් තොටුපොළ තීරු බදු සහන කලාපයෙන් යමක් මිලට ගැනීමේදී එහි අවසන් කුවිතාන්සිය දක්වා බදු සහන හිමිකරු අත්සන් තැබිය යුතුය. ඒ සඳහා තමා නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය. එබැවින් මෙය ස්වකැමැත්තෙන් ම වංචනිකයකුගේ රැවටීමකට හසුවීමකි. 


කටුනායක ගුවන්තොටුපොළ අක්‍රමිකතා පිළිබඳව මෙතෙක් අවස්ථා ගණනාවකදී මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කර ඇතුව ද, එම අක්‍රමිකතා පිළිබඳව තවමත් නොකඩවා අසන්නට ලැබෙන්නේ නිසි බලධාරීන් ඒ පිළිබඳව තම අවධානය යොමුකර නැති බැවිනි. එබැවින් උක්ත රැවටීමේදී අපේ ආරක්ෂාව අපි ම සලසා ගත යුතුව ඇත. වගකිවයුතු අතරමැදියකුගේ මැදහත්වීමක් නැති නම්, වෙනත් විකල්පයක් වෙත අප යා යුතුව ඇත. 


විදේශයක සිට මව්බිමට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ තීරු බදු සහනය ගුවන් තොටුපොළ කාක්කන් විසින් යොද‌ා ගනු ලබන්නේ බොහෝ විට විදුලි උපකරණ මිලට ගැනීම සඳහා ය. එම භාණ්ඩ අධික මිලට දේශීය වෙළෙඳපොළේ විකුණා ඔවුන් ලබන්නේ ගුවන් තොටුපොළ රැකියාවෙන් ලබන වේතනයට අමතර ආද‌ායමකි. දේශීය වෙළෙඳපොළේ එම භාණ්ඩවල මිල මොහොතකින් පරික්ෂා කර බැලීමේ පහසුකම් දැන් එමට ය. 


ශ්‍රී ලංකාවේ විදුලි උපකරණ අලෙවිය සඳහා වන සුප්‍රසිද්ධ සමාගම් තම වෙළෙඳ භාණ්ඩ මිල ගණන් වෙළෙඳ ප්‍රචාරයක් ලෙස ප්‍රසිද්ධ කිරීමේ පිළිවෙතක් අනුගමනය කරති. දේශීය වෙළෙඳපොළේ එම මිල ගණන් නිමේෂයකින් පරීක්ෂා කර බැලීමේ හැකියාව අද පවතින සන්නිවේදන මාධ්‍ය පහසුකම්වලට අනුව අසීරු කටයුත්තක් නොවේ. ජංගම දුරකතනයකින් අන්තර්ජාලය ඔස්සේ මෙම මිල ලැයිස්තුවලට පිවිසිය හැකිය. තීරු බදු සහන ලැබීමට තරම් කාලයක් විදෙස්ගතව සිටියකු අත අන්තර්ජාල පහසුකම් ඇති ජංගම දුරකතනයක් නැතැයි සිතීමට බැරිය. ගුවන්තොටුපොළ පර්යන්තය තුළදී තීරු බදු සහන ගනුදෙනුවක් වේ නම්, උක්ත ක්‍රමවේදය අනුව ගැනුම්කරු එම භාණ්ඩය හෝ භාණ්ඩ කීපය දේශීය වෙළෙඳපොළේදී විකුණා ලැබිය හැකි ලාභය පිළිබඳව තක්සේරුවකට එළැඹීමට බදු සහන හිමිකරුට බැරි නැත. 


කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු සහන කාක්කන්ට කෙටිය හැකි පහසුම 


ක්‍රමය වෙන්නේ තීරු බදු සහනය අපට අවශ්‍ය නැති නම්, දේශීය වෙළෙඳපොළ මිල ගණන් හද‌ාරා, කොල්ලකෑමට ඉඩ නොදී සාධාරණ මිලකට එය අවශ්‍ය කෙනෙකුට විකුණා දැමීම ය. විදෙස්ගතව දහදිය වගුරා ලබා ගන්නා සහනයක් බැවින්, කොල්ලකෑමට ඉඩදීම අපරාධයකි. විදේශයක සිට මව්බිමට පැමිණෙන 


ශ්‍රී ලාංකිකයන් වචනයෙන් දෙකෙන් අන්ද‌ා අසීමිත ලාභයක් ලැබීමට මේ සංවිධානාත්මක පිරිසට ඉඩ නොතැබිය යුතුය. අප ලද සහනයෙන් උපරිම ඵල නෙලාගැනීමට අන් කිසිවකුටත් වඩා අපටම අයිතියක් ඇත. එම අයිතිය උදුරා ගැනීමට ඉඩදීම නොකට යුතුය. 

 


ගැස්කොන් ලාසරස්
රෝමය, ඉතාලිය. 



අදහස් (0)

කටුනායක ගුවන් තොටුපොළ අරක්ගෙන සිටින තීරු බදු කාක්කන් මට්ටු කරන්නට බැරිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1671 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site