IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අවුරුදු අටසීයකට පෙර මාර්කෝ පෝලෝ දුටු චීනය පිළිබඳ සටහන් බිඳක්

අනියම් ජෝඩුවලට කාමර කුලියට දීම එදා චීනයේ තිබිලා

ඉතාලි චීන සබඳතාවලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. දේශ ගවේෂකයකු ලෙස පිළිගැනෙන මාර්කෝ පෝලෝගේ පියා වන නිකොලෝ පෝලෝ සහ ඔහුගේ සහෝදර මතෙඕ පෝලෝ ද වෙළෙඳ කටයුතු සඳහා ක්‍රි.ව. 1260 දී චීනයට ගිය බව ලේඛනගතය. එවකට චීනය පාලනය කළ මොන්ගෝලියානු අධිරාජ්‍යයා වූ කුබ්ලායි ඛාන් (1215-1294) විසින් මෙම වැනීසියේ වෙළෙඳුන් දෙදෙන සාදරයෙන් පිළිගත් බව ද බටහිර පිළිබඳව ඔවුන් දෙදෙනාගෙන් බොහෝ විස්තර අසා දැනගත් බව ද අවසානයේදී ඔවුන් දෙදෙන බටහිර තානාපතිවරුන් ලෙස පත් කළ බව ද කියැවේ.   


නිකොලෝ සහ මතෙඕ පෝලෝ ආපසු වැනීසියට එනවිට කුබ්ලයි ඛාන් විසින් තෑගි භෝග කන්දරාවක් දුන් බව ද අවශ්‍ය ඕනෑම අවස්ථාවක චීනයට ඇතුළු වීම සඳහා රන්පත්වල ලියන ලද අවසරපත් දෙකක් දුන් බව ද සඳහන්ය. මෙය පැරැණිම වීසා බලපත් දෙක ලෙස ඇතැමුන් සලකති. ඒ සමඟම, තෑගි භෝග සමඟින් රෝමයේ පාප්තුමාට දෙන ලෙස විශේෂ පණිවිඩයක් ද වැනීසියානු සහෝදරයන් දෙදෙනාට භාරදී තිබුණි. 1269 දී ආපසු වැනීසියට පැමිණි පෝලෝ සහෝදරයෝ 1271 දී නැවත චීනයට යාම සඳහා පිටත්වී ඇත. මෙවර නිකොලෝ පෝලෝගේ දෙටු පුත් දහඅට හැවිරිදි මාර්කෝ පෝලෝ ද මේ ගමන සඳහා සහභාගී විය.   


පියා සහ බාප්පා ඇතුළු කණ්ඩායම සමඟ මාර්කෝ පෝලෝට වැනීසියේ සිට චීනයට යාම සඳහා වසර තුනහමාරක කාලයක් ගතවී ඇත. කුතුහලය නිසාම ගමනේදී තමන් දුටු දේ පිළිබඳව විමසිල්ලෙන් බැලූ මාර්කෝ පෝලෝ ඒ සියල්ල සිතෙහි මනාව සටහන් කරගත්තේය. නැවත චීනයට පැමිණි වැනීසියේ වෙළෙඳුන් දෙදෙන කුබ්ලයි ඛාන් විසින් සාදරයෙන් පිළිගත් අතර, ඒ සමඟ පැමිණි කඩවසම් තරුණ මාර්කෝ පෝලෝ අධිරාජ්‍යයාගේ සිත්ගත්තේය. ගමනේදී දුටු දේ පිළිබඳව මාර්කෝ පෝලෝ විසින් කරන ලද අව්‍යාජ විස්තරයන් අධිරාජ්‍යයා ප්‍රිය කළ බව කියැවේ.   


පළමු හමුවේදීම කුබ්ලයි ඛාන්ගේ සිත්ගත් මාර්කෝ පෝලෝ ඉක්මනින්ම මොන්ගෝලියානු සහ චීන භාෂාව උගත්තේය. පසුව අධිරාජ්‍යයා විසින් මාර්කෝ රාජ්‍ය සේවය සඳහා බඳවාගෙන, විශේෂ රාජ්‍ය නියෝජිතයකු ලෙස අධිරාජ්‍යය පුරා සේවය සඳහා යැවීය. කලක් මාර්කෝ පෝලෝ යැන්චව් ප්‍රදේශයේ ආණ්ඩුකාරයාව සිටි බව චීන ඉතිහාසයේ සඳහන්ය. වසර දහඅටක් කුබ්ලයි ඛාන් යටතේ සේවය කළ මාර්කෝ පෝලෝ යළි වැනීසියට පැමිණි පසුව චීනය පිළිබඳව ලියන ලද “ඉල් මිලියෝනෙ” නම් ග්‍රන්ථය, එදා චීනය පිළිබඳ සවිස්තරාත්මක චිත්‍රයකි. (ඉල් මිලියෝනෙ ග්‍රන්ථය කියවනවිට සිහිවන්නේ රොබට් නොක්ස් විසින් ලියන ලදුව 1681 දී ප්‍රකාශයට පත්කළ එදා හෙළදිව ග්‍රන්ථයයි.)   


රනින් කළ ඇඳ පුටු මේස ඇතුළු ගෘහභාණ්ඩ සහිත කුබ්ලයි ඛාන්ගේ මාලිගය, එළුවන් පවා ඩැහැගෙන යන රාජාලියෝ, ගස් ගල් පෙරළා දමන අලි ඇතුන්, මුවන් වැනි සතුන් ගිල දැමීමට සමත් සර්පයන් පිළිබඳව මාර්කෝ පෝලෝ විසින් තම ග්‍රන්ථයෙන් කරන ලද විස්තර එදා බටහිර ජනතාව විශ්වාස නොකළ තරම්ය.   


සැප්තැම්බර් මස අටවැනිදාට යෙදුණු කුබ්ලයි ඛාන්ගේ ඡන්ම දිනය නිමිත්තෙන් අධිරාජ්‍යය පුරා පැවැති උත්සවයන් පිළිබඳ විස්තරයන් විශ්මිතය. පුරා සතියක් තිස්සේ පැවැත්වුණු මෙම උත්සව සමයේ මුළු අධිරාජ්‍යයම කෙළිබිමක සිරි ගත් බව මාර්කෝ පෝලෝ ලියා ඇත. තමන් කැමැති කෙනකුන් සමඟ ගාන්ධර්ව යෝගයෙන් හැසිරීමේ නිදහස මෙම කාලය තුළ සියල්ලන්ටම ලැබී තිබුණි. මේ සඳහා කුලියට දීමට එළිමහනේ තැනූ විසිතුරු කූඩාරම් මෙන්ම, නිවාස තුළ පිළියෙල කරන ලද කාමර ද විය. මේ කාලය තුළ උත්තේජක පාන රැගත් චීන කාන්තාවෝ දුහුල් සළුවෙන් සැරසී මංමාවත්වල සැරිසැරූ බව ඉල් මිලියෝනෙ ග්‍රන්ථයේ සඳහන්ය.   


සියලුම ආගම්වලට ගරු කළ කුබ්ලයි ඛාන්, ධර්ම ප්‍රචාරය සඳහා කතෝලික පූජකයන් චීනයට එවන ලෙස ඉල්ලා සංදේශයක් මාර්කෝ පෝලෝගේ පියා අත රෝමයේ පාප්තුමාට එවූ බව ද මාර්කෝ පෝලෝ ලියා ඇත.   
ස්වභාවධර්මයෙන් සිදුවන ආපදාවලදී විපතට පත්වන ජනතාවට වහාම සහන සැලසිණි. අශ්වාරෝහක පණිවිඩ සේවයක් මගින් සුවිසල් අධිරාජ්‍යය තුළ සිදුවන සියලුම කාරණා දින කීපයකින් අධිරාජ්‍යයාට දැනගත හැකි ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක විය.   


ගැන්හිගු ප්‍රදේශය කුබ්ලයි ඛාන් අධිරාජ්‍යයාට කප්පම් ගෙවනු ලබන රජකු විසින් පාලනය කළ බව ද එහි ස්ත්‍රී පුරුෂ සියල්ලෝම තම ශරීර මත පච්ච කොටා තිබුණ බව ද මාර්කෝ පෝලෝ කියයි. මේ පච්ච මෝස්තර අතර මල්වැල්, සර්පයන්, පක්ෂීන් සහ යක්ෂ රූප ද තිබී ඇත. මනා අඟපසඟින් යුත් රූමතියන් මෙම පච්චා කෙටීමෙන් අවලක්ෂණ වී තිබුණු බව මාර්කෝගේ අදහසය.   


කුබ්ලයි ඛාන්ගේ කාම ජීවිතය පිළිබඳව ලියන මාර්කෝ පෝලෝ අධිරාජ්‍යයාගේ අන්තඃපුර පිළිබඳව පූර්ණ විස්තරයක් කරයි. මේ අන්තඃපුර තුළ රෝහල්, පිහිනුම් තටාක, පොකුණු, පුස්තකාල, අවන්හල්, රූපලාවන්‍යාගාර පමණක් නොව අන්තඃපුර කාන්තාවන්ට තම පවුල්වලට තොරතුරු දන්වා ලිපි යැවීම සඳහා තැපැල් සේවයක් ද ක්‍රියාත්මකව තිබී ඇත. අන්තඃපුර කාන්තාවන් විසින් තම ඥාතීන්ට ලියනු ලබන ලිපි යවා ඇත්තේ පරීක්ෂා කර බැලීමෙන් පසුවය. මෙම කාන්තාවෝ වේතනයක් ලබා ඇති බැවින්, තම පවුල්වලට මුදල් යැවීමේ ක්‍රමයක් ද මෙම අන්තඃපුර තුළ ක්‍රයාත්මක වී තිබුණි. කුබ්ලයි ඛාන්ට අන්තඃපුර කාන්තාවෝ පන්දහසක් පමණ වී යයි මාර්කෝ පෝලෝ කියයි. අධිරාජ්‍යයා වඩාත්ම ප්‍රිය කළ කාන්තාවන් හැරුණුවිට අනෙක් පිරිසේ සේවා කාලය එක් වසරක් පමණි. සෑම වසරකම කුබ්ලයි ඛාන්ගේ ඡන්ම දිනය නිමිත්තෙන් මෙම අන්තඃපුර කාන්තාවන් නිදහස් කර ගෙදර යවයි. පසුව යළි අලුත් පිරිසක් සේවය සඳහා පැමිණෙති.   


මේ සියලු දේ පිළිබඳව සවිස්තරාත්මකව පවසන මාර්කෝ පෝලෝ, ක්‍රිස්තු පූර්ව 215 දී අරඹා 14 වැනි සියවස දක්වාම ගොඩනැගීම කෙරීගෙන ගිය කි.මී. අටදහස් අටසිය පනහක් දිග චීන මහාප්‍රාකාරය පිළිබඳව වචනයක්වත් සඳහන් කර නැත. චීනයේ වසර දහඅටක අත්දැකීම් මාර්කෝ පෝලෝ විසින් කියනු ලදුව වෙනත් කෙනෙකුන් විසින් ලේඛනගත කිරීමේදිී මෙම මගහැරීම සිදුවෙන්නට ඇතැයි පිළිගැනේ.   


මාර්කෝ පෝලෝ සහ කුබ්ලයි ඛාන් දැක්වෙන පැරැණි සිතුවම් දෙකක් සහ මාර්කෝ පෝලෝ චීනයට ආ ගිය ගමන් මග සටහන් සිතියමක් ද ඡායාරූපයන්ගෙන් දැක්වේ.   

 


යටියන   
ක්ලැරන්ස් කොස්තා.   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.   



අදහස් (0)

අවුරුදු අටසීයකට පෙර මාර්කෝ පෝලෝ දුටු චීනය පිළිබඳ සටහන් බිඳක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 59 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2012 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site