ප්‍රථම ලෝක මහා සංග්‍රාමය 1914දී ආරම්භ වීමට හේතු පාදක වූ කරුණු රාශියක් තිබේ. අවුරුදු ගණනාවක් තිස්සේ නැගෙමින් ආ බලවත් රාජ්‍ය එකිනෙකා කෙරෙහි අවිශ්වාස කරන්නට වූ අතර බියෙන් පසු විය. ඒ අතරින් ජර්මනිය යුරෝපයේ දාමරිකයා බවට පත් වෙමින් තිබිණ. ජර්මන් අධිරාජ්‍යා වූ දෙවැනි විලියම් කයිසර් උද්ධච්ච අයුරින් හා තම රාජ්‍යය පිළිබඳ අධි තක්සේරුවකින් කටයුතු කළේය. ජර්මනිය තම දුර්වල සගයා වූ ඔස්ටි්‍රයා හංගේරියා වෙත තම හස්තය දිගු කරන්නට විය. 


ඔස්ටි්‍රයාව හා රුසියාව බෝල්කන් ප්‍රදේශවල පාලනය සම්බන්ධයෙන් එකිනෙකාට සතුරුව සිටියහ. තුර්කිය යටත් කර ගැනීමේ අභිප්‍රායෙන් ජර්මනිය පසුවීම නිසා අසල්වැසි රුසියාව සිටියේද ජර්මනිය සමඟ සතුරු ලෙසිනි. 1870 - 71 දී ප්‍රංශය ලත් අවමන් සහගත පරාජය නිසා තවමත් බලවත් සිත් තැවුලෙන් පසු විය. බි්‍රතාන්‍යයේ පැවැත්ම ජර්මන් නාවික සැලසුම්වලින් සිදු විය හැකි තර්ජනය ද සුළු පටු නොවීය.


එකිනෙකාට විරුද්ධ කණ්ඩායම් දෙකක් 1907 වන විට ලොව බිහි විය. ජර්මනිය ඔස්ටි්‍රයාව හංගේරියාව හා ඉතාලිය එක් පසෙකටත් බි්‍රතාන්‍ය ප්‍රංශය හා රුසියාව අනෙක් කණ්ඩායමටත් අයත් විය. 1914 දී යුරෝපය තිරිංග නොමැති අධිවේගී මෝටර් රථයක් මෙන් යුද්ධය කරා ගමන් කරමින් තිබිණ. ජර්මනිය යුද ශක්තියෙන් යුරෝපයේ බලවත්ම රාජ්‍යය විය. ජර්මනිය අසල්වැසි රටවල් නතුකර ගනීවි යැයි එම රටවල් බියෙන් පසු වූහ. රුසියාව බි්‍රතාන්‍යය හා ප්‍රංශය තම රට විනාශ කිරීම සඳහා වටලාවි යැයි ජර්මනිය බියෙන් පසු විය. මේ අන්දමින් යුරෝපයේ තිබූ වෙඩි බෙහෙත් කන්දට, ගිනි ඇවිළුෑ ගිනි පුළිඟුවක් මතු විය. 


ඔස්ටි්‍රයාවේ ඔටුන්න උරුම ෆර්ඩිනන්ඞ් කුමරු 1914 ජුනි මාසයේදී ඝාතනය කරන ලදී. මේ පිළිබඳ සර්බියාවට කෙළින්ම දෝෂාරෝපන කළ ඔස්ටි්‍රයාව එරටට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේය. සර්බියාවේ අනුශාසක වන රුසියාව මේ අවස්ථාවේදී සර්බියාවේ සහායට එක් වීමට සූදානම විය. ජර්මනිය ඔස්ටි්‍රයාවට සහාය පළ කරමින් රුසියාවට හා ප්‍රංශයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේය. ජර්මනිය බෙල්ජියම ආක්‍රමණය කළ අවස්ථාවේ දී කුඩා රාජ්‍ය ගිලිහී යාම තම නාවික ආරක්ෂාවට තර්ජනයක් හෙයින් බි්‍රතාන්‍යය ජර්මනියට විරුද්ධව සිටි පාර්ශ්වයට එක් විය. මේ ආකාරයෙන් යුරෝපය යුද්ධය කරා ඈඳණ. යුද වැදී සිටි රටවල් තම සියලුම සම්පත් යුද්ධය සඳහා වැය කළ අතර යුද්ධයෙන් මිලියන ගණන් ජනතාව මරු මුවට පත් වූහ. අලුත් යුද ගුවන් යානා නවීකරණය කළ සබ්මැරීන් යාත්‍රා විශාල කාලතුවක්කු ස්වයංක්‍රීය තුවක්කු මාරාන්තික විෂ වායු හා බි්‍රතාන්‍ය නව නිෂ්පාදනයක් වූ යුද ටැංකි යුද්ධය සඳහා භාවිත විය.


ජර්මනියට පෙරමුණු දෙකකින් සටන් වැදීමට සිදු විය. ඔවුහු පහසු ජයක් බලාපොරොත්තු වූ අතර කල් ඇතිව සැකසූ සැලැස්මකට අනුව ක්‍රියා කළහ. බෙල්ජියම හා පැරීසිය වෙත පහර දීමටත් සෙමින් ඉදිරියට ඇදෙන රුසියන් හමුදාවට පෙර ප්‍රංශ හමුදාවට පහර දී විනාශකොට තම අභිමුඛයෙහි දණ ගැස්වීමටත් ජර්මනියට අවශ්‍ය විය. ඒ අනුව සිදු වූ සටන්වලින් ප්‍රථමයෙන්ම බෙල්ජියමේ බළකොටු එකින් එක ඇද වැටිණ. ප්‍රංශ හා බි්‍රතාන්‍ය හමුදාවන් තමන්ව වටලෑමේ බරපතළ අනතුරට මුහුණපා සිටියහ. නොපසුබට වීර්යයෙන් යුතුව බි්‍රතාන්‍යය හමුදාවෝ සටන් බිමේම රැඳී සිටියහ. එහෙත් 1914 අගෝස්තු අවසානය වෙනවිට ජර්මන් හමුදා ප්‍රංශයට පහර දිය හැකි තරම් දුරකින් ස්ථාන ගත විය. එවිට ජයග්‍රහණවලින් ප්‍රමුදිතව සිටි ජර්මනිය තම සාර්ථකත්වය පිළිබඳ අධි තක්සේරුවකින් යුතුව අනතුරට ලක් විය හැකි ආකාරයෙන් අදූරදර්ශීව කටුයුතු කරන බව දුටු ප්‍රංශ හමුදාවේ අණදෙන නිලධාරියා වහාම තම හමුදාව මෙහෙයවා ජර්මන් හමුදාවට පහරදී පලවා හැර පැරීසිය බේරා ගත්තේය. 


බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරය වැටීමෙන් පසු බි්‍රතාන්‍යයේ පණිවුඩ හුවමාරු මාර්ග කපා හැරීමට ඉංග්‍රීසි ඕඩයේ වරායන් යටත්කර ගැනීම අවශ්‍ය වන හෙයින් ජර්මන් හමුදාව ඒ සඳහා ඉදිරියටම ගමන් ගත්හ. එහෙත් අතරමඟදී බි්‍රතාන්‍ය හමුදාව විසින් බලවත් සටනක් කොට ජර්මනියේ ඉදිරි ගමන වළක්වා දෙන ලදී. ජර්මනිය බලාපොරොත්තු වූ පහසු ජය සුනුවිසුනු විය. නැගෙනහිර ප්‍රදේශයේ දී රුසියානුවන්හට ජය පරාජය දෙකෙහිම රස බලන්නට සිදු විය. නැගෙනහිර ජර්මනියේ ටැනන්බර්ග් සටනේදී ඔවුන් පරාජයේ අමිහිරි අත්දැකීම් ලත් අතර දකුණේ ගැලීලියා නගරයේදී ඔස්ටි්‍රයානු බලය මුලිනුපුටා දැමීමට හැකි විය. 


තුර්කිය ජර්මන් පාර්ශ්වයට එක්විය. ඒ හා සමගම බි්‍රතාන්‍ය විසින් සයිප්‍රස් දුපත ඇඳාගත් අතර ඊජිප්තුව තම ආරක්ෂාව යටතේ වන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. රුසියාව යුද්ධයෙන් තදින්ම බැට කමින් සිටියේය. ඒ අනුව තුර්කියේ ඩාර්ඩනල් සමුද්‍ර සන්ධිය හා කොන්ස් තන්තිනෝපල් නගරය අල්ලා ගැනීමට සැලසුම් සකස් කෙරිණි. මෙයින් බලාපොරොත්තු වූයේ රුසියාවට ආධාර යැවීමට මාර්ගය පාදා ගැනීමයි. මෙහිදී නාවික ප්‍රහාරවලින් බළකොටු නිහඬ කිරීමට අසමත් වූ හෙයින් ගැළිපොලි අර්ධද්වීපයට හමුදා කණ්ඩායම් ගොඩ බැස්වීමට සිදු විය. ඉතා දරුණු ප්‍රහාර එල්ල කළ අතර විශේෂයෙන් ඕස්ටේ්‍රලියා හා නවසීලන්ත භටයින්ගේ එඩිතර භාවය කැපී පෙනුණි. එසේ වුවත් දුර්වල සංවිධාන ශක්තිය හා වාසනාව කෙමෙන් පලායාම නිසා බලාපොරොත්තු සුන් වූ මෙහෙයුම අත් හැරීමට සිදු විය. 


මේ අතර ආසියාකරයේ තුර්කිය වෙත අවධානය යොමු වෙමින් පැවතිණ. ඉන්දියානු සේනාංක මෙසෙපොතේමියාවේ ටයිග්‍රිස් නදිය ඔස්සේ ඉදිරියටම ගමන් කර ක්‍රීට් නගරය අත්පත් කර ගත්හ. කෙසේ වෙතත් එහිදී ජෙනරාල් ටවුන් ෂෙන්ඞ්ගේ හමුදාව, දක්ෂ තුර්කි හමුදා භටයින් විසින් වටලන ලදී. මාස 05ක් තිස්සේ පැවති එම සටනින් පසු 1916 අප්‍රේල් මාසයේ දී ජෙනරාල්වරයාට යටත් වීමට සිදු විය. 


බටහිර පෙරමුණේ යුද මෙහෙයුම්වල සුළු වෙනසක් 1915 දී කරන ලදී. බි්‍රතාන්‍ය හමුදාවේ අණදෙන නිලධාරියාව සිටි ජෝන් ෆ්‍රෙන්ච් වෙනුවට ඩග්ලස් හේග් පත් විය. ඉතාලිය ජර්මනිය ප්‍රමුඛ පාර්ශ්වයෙන් ඉවත්වී බි්‍රතාන්‍යය පාර්ශ්වයට එක් විය. නැගෙනහිර පෙරමුණේ දී රුසියානුවන් පලවා හැරිණ. සර්බියාව පරාජය වූ අතර බල්ගේරියාව ජර්මන් පාර්ශ්වයට එක් විය. 


1916 දී බි්‍රතාන්‍යයෝ සිය මිත්‍ර පාක්ෂික රටවලට ආධාර කිරීම පිණිස තමන් සතු සියලුම ශක්තිය වැය කළ යුතු බවට වටහා ගත්හ. මේ වසරේදී ජර්මන් අණදෙන නිලධාරිවරයකු වූ ෆෝල්කන්හයින් ප්‍රංශයේ මර්මස්ථාන වලට අඛණ්ඩව ප්‍රහාර එල්ලකර ලේ වගුරුවමින් සිටි ප්‍රංශය මරණ මංචකය කරා රැගෙන යාමේ අරමුණින් ක්‍රියා කළේය. වර්ඩුන්හි මහා බළකොටු ජාලය විනාශ කිරීමට ඔහු සමත් විය. ඇත්ත වශයෙන්ම ප්‍රංශය රුධිරය හෙළුවේය. නමුත් මියගියේ නැත. මරණ හා තුවාල වූ සංඛ්‍යාව 750000ක් පමණ වුවත් සොමේ නිම්නය හා වර්ඩුන් බේරා ගැනීමට හැකි විය. රුසියාවේ සාර්ථකත්වය රුමේනියාවට මිත්‍ර පාර්ශ්වය සමග අත්වැල් බැඳ ගැනීමට මඟ හෙළි කළේය. 


1917 අප්‍රේල් මාසයේ දී ජර්මනියට විරුද්ධව අමෙරිකා එක්සත් ජනපදය ද යුද්ධයට අවතීර්ණ විය. 1917 මාර්තු මාසයේ දී රුසියන් විප්ලවය ආරම්භ වූ අතර එරට රාජාණ්ඩුව බලයෙන් පහ කෙරිණ. යුද හමුදාව කොටස්වලට කැඩී බිඳී ගියේය. දෙසැම්බරයේදී රටේ නව පාලකයෝ ජර්මනිය සමඟ සටන් විරාම ගිවිසුමක් අත්සන් කර යුද්ධයෙන් ඉවත් වූහ. 


ඉතා දක්ෂ අණ දෙන්නෙකු වූ එඞ්මන්ඞ් ඇලන්බි පලස්තීනයේදී තුර්කි භටයින්ට නිර්දය ලෙස ප්‍රහාර දියත් කර ජෙරුසලම අල්ලා ගැනීමට ගියේය. ඊළඟ වර්ෂයේදී උතුරු සිරියාවේ අලෙප්පෝ නගරය කරා යුද හමුදාව ළඟා විය. මෙහි පැවති සටනේදී ඇලන්බිට අරාබි ගෝත්‍රික ජනයාගේ නොමඳ සහාය ලැබිණ. මීට පෙර තුර්කීන් අතට පත්ව තිබූ මෙසපොතේමියාවේ කුටි නගරය නැවත අල්ලා ගත් අතර 1918 දී බැග්ඩෑඞ් නගරයේ බලයත් සියතට ගැනීමට හැකි විය. වර්ෂ 1918 දී දෙපාර්ශ්වය අතර දීර්ඝ හා අමිහිරි තරගයක් ගොඩනැංවෙනු දක්නට ලැබිණ. බටහිර පෙදෙසේ ජර්මන් අණසක බාරගත් ලුඩෙන්ඩෝර්ෆ් විසින් ඇමෙරිකන් හමුදාව සූදානම් වීමට පෙර ජයග්‍රහණය උදුරා ගැනීම සඳහා හමුදා රැස් කළේය. සබ්මැරීන් ප්‍රහාර අසාර්ථක විය. බි්‍රතාන්‍ය නාවික වටලෑම් සාර්ථක වෙමින් පැවතිණ. මාර්තු සිට ජුලි දක්වා ලුඩෙන්ඩෝර්ෆ් බිහිසුණු ප්‍රහාර මාලාවක් දියත් කළේය. එවිට බි්‍රතාන්‍ය පෙරමුණු බිඳ වැටිණ. ආක්‍රමණකාරී ජර්මන් හමුදාව මාර්නේ නගරය වෙත ළඟා විය. නමුත් එය ඔවුන්ගේ අවසන් ප්‍රයත්නය බවට පත් විය. විරුද්ධ පාර්ශ්වය නිසි වේලාවේදී අළු ගසා දමමින් නැගී සිටියේය. ප්‍රංශයේ අණදෙන නිලධාරී ෆොච් හට සතුරන් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි විය. ජයග්‍රහණ සහතික කිරීම සඳහා ඇමෙරිකන් ආධාර ශීඝ්‍රයෙන් ළඟා වෙමින් පැවතිණි. අගෝස්තු 8 වැනි දින සොමේ ප්‍රදේශයේ දී අණදෙන නිලධාරී හේග් යුද ටැංකි 450ක් සමඟ තම හමුදා කණ්ඩායම් පෙරමුණට යවා ජර්මන් හමුදාව පරාජය කර අද්විතීය ජයග්‍රහණයක් ලැබීය. 


එම ජයග්‍රහණයට සමගාමීව තවත් ප්‍රහාර වැලක් ක්‍රියාත්මක වු අතර සතුරු බලමුළු දැඩිලෙස විනාශයට පත්විය. ජර්මන් හමුදාව මහත් පසු බැසීමකට ලක් විණ. ජර්මන් හමුදා බලය දෙදරා ගියේය. එරටේ සහායට සිටි රටවලට ද කර කියා ගත හැකි දෙයක් නොවීය. ජර්මන් නාවික හමුදාවේ කුමන්ත්‍රණ හට ගැනිණ. එමෙන්ම ජර්මනිය තුළ විප්ලවකාරී හැඟීම් මතු විය. එරටේ නායක කයිසර් ඕලන්දය වෙත පළා ගිය අතර 1918 නොවැම්බර් 11 වැනි දින ජර්මනිය යටත් විය. 


යුද විරාම ගිවිසුම අත්සන් කිරීම සඳහා බි්‍රතාන්‍ය, ප්‍රංශය, හා ජර්මනිය යන රටවල් එක් වූහ. ජර්මන් පාර්ශ්වයේ නායකත්වය මැතියස් එයිස්බර්ගර් දැරූ අතර බි්‍රතාන්‍ය ඇතුළු අනෙක් පාර්ශ්වයේ නායකත්වය ප්‍රංශ හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරි මාර්ෂල් ෆර්ඩිනන්ඞ් ෆොච් දැරීය. 1918 නොවැම්බර් 11 වැනි දින පෙරවරු 5.12ත් 5.20 අතර කාලයේ දී ප්‍රංශයේ කොම්පියඤේ වනයේ රහසිගත ස්ථානයක නවතා තිබූ ෆොච්ගේ පෞද්ගලික දුම්රියේ එක් මැදිරියක් තුළදී දෙපාර්ශ්වය අත්සන් කළහ. 


ඒ සඳහා ජර්මන් පාර්ශ්වය වෙනුවෙන් අද්මිරාල් වැන්ස්ලොව්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයා ලෙස ඕබර්ඩෝර්ෆ්, ජෙනරාල් වින්ටර්ෆීල්ඞ් ද ප්‍රංශ පාර්ශ්වය වෙනුවෙන් මාර්ෂල් ෆොච්, ජෙනරාල් මැක්සිම් වේගන්ඞ් ද බි්‍රතාන්‍යය පාර්ශ්වය වෙනුවෙන් නාවික කපිතාන් ජැක් මැරියට් රියර් අද්මිරාල් ජෝර්ජ් හොප් අද්මිරාල් රොස්ලින් විම්ස් ද සහභාගී වූහ. එම ගිවිසුම ක්‍රියාත්මක වෙන 1918 එකොළොස්වැනි මස එකොළොසේ වැනි දින පෙරවරු එකොළෙහෙන් පසු දෙපාර්ශ්වයටම වෙඩි තැබීම තහනම් විය. පෙරවරු 11.00ට තත්පර 60 ක් තිබියදී වෙඩි වැදීමෙන් ඇමෙරිකානු සොල්දාදුවකු වූ හෙන්රි ගුන්තර් මරු වැළඳ ගත් අතර එය අවසන් ජීවිත පූජාව ලෙස සනිටුහන් විය. 


මින් පසු ස්ථිර සාම ගිවිසුමක් 1919 ජුනි 28 වැනි දින ප්‍රංශයේ වර්සේල්ස් නගරයේදී අත්සන් කෙරිණ. දරුණු යුද්ධ ඇතිවීම වැළැක්වීමට හා සාමය උදෙසා ජාතීන්ගේ ලීගය බිහි විය. නමුත් ඒ කිසිවකින් මෙල්ල නොවී ජර්මනිය නැවතත් 1942දී දෙවැනි ලෝක මහා සංග්‍රාමයට මුල පිරීය. පළමුවැනි ලෝක මහා යුද්ධයේදී දෙපාර්ශ්වයෙන් මියගිය හා තුවාල ලැබූ හමුදා හා සිවිල් පුද්ගලයන් ගණන මිලියන 40ක් පමණ වුවත් දෙවැනි ලෝක මහා යුද්ධයක් ජර්මනිය විසින් ඇරඹීම දෛවයේ සරදමක් විය. 

 


පළමු ලෝක මහා යුද්ධය සඳහා ලංකාවේ දායකත්වය කෙබඳු වීද? බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ලංකාව ඇතුළු යටත් විජිත බොහොමයක් යුද්ධයට සහභාගී විය. විශේෂයෙන් ලංකාවේ සිටි බි්‍රතාන්‍ය ජාතික වැවිලිකරුවන්ගේ දාකත්වය කැපී පෙනුණි. ඔවුන් සමඟ ලාංකිකයෝ කිහිප දෙනෙකුම යුද පෙරමුණට ගියහ. කොළඹ රාජකීය විද්‍යාලය වෙස්ලි විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කිංස්වුඞ් විද්‍යාලය ආදී විදුහල් කිහිපයකින් යුද්ධය සඳහා සහභාගී වූ පිරිසක් ද වූහ. 


මෙම යුද්ධයේදී ලංකාවෙන් ගිය භටයින් 442ක් මිය ගිය අතර ඔවුන් සිහිවීම සඳහා ලංකාවේ ස්ථාන කිහිපයක ස්මාරක පිහිටුවා ඇත. එම හාරසිය හතළිස් දෙනාගේම නම් ඇතුළත් ප්‍රධාන යුද ස්මාරකය කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පිහිටුවා ඇත. 1921 දී මුල්ගල තබා 1923 දී එය විවෘත කළේ හෙන්රි මැනිං ආණ්ඩුකාරයා විසිනි. එම ස්මාරක කුළුණ කොළඹ ගාලු මුවදොර පිටියේ පිහිටුවා තිබූ අතර දෙවැනි ලෝක මහා යුද්ධයේ දී ජපනුන් හට හමුදා කඳවුරක් අසල තිබූ මෙම කුළුණ ඉලක්කයක් කර ගැනීමට හැකි හෙයින් එය ගලවා ඉවත් කර පසු කලෙක කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ ස්ථාපිත කරන ලදී. 


1914 ඇරඹී පළමු ලෝක මහා යුද්ධය 1918 දී අවසන් විය. පුරා සිවු වසරක් පැවති යුද්ධය අවසන් වී මෙම වසරට අවුරුදු සියයක් සපිරේ. එම යුද්ධයේදී මියගිය විරුවන් සිහි කිරීම හා සාමය උදෙසා ලංකාවේ ඉදි කළ පැරණිතම ස්මාරකය වන්නේ පාදුක්ක නගර මධ්‍යයේ 1919 දී සාම අනුස්මරණ කමිටුව මගින් ඉදිකර ඇති ගෑස් පහන් කණුවයි. (මෙහි වර්තමානයේ විදුලි පහන් දැල් වේ) ඊට වසර සියය සපිරෙන්නේ ලබන වසරේදීය. 
මීට අමතරව පළමු ලෝක මහා යුද්ධයේ දී මියගිය විරුවන් කිහිප දෙනෙකු සිහිවීම සඳහා බොරැල්ල කනත්තේ හා ජාවත්ත මුස්ලිම් සුසාන භූමිය තුළ ඔවුන් වෙනුවෙන් සොහොන්කොත් ඉදිකර ඇත. බොරැල්ල කනත්තේ සොහොන් කොතක හා රත්නපුර ඔරලෝසු කණුවේ නම සඳහන් සුදු ජාතික ඩබ්ලිව්. ඊ. ස්පෙල්ඞ්වින්ඞ් පිළිබඳ දුක්මුසු පුවතක් ඉතිහාසයට එක්වී තිබේ. යුද්ධයට සහභාගීවීම සඳහා ගිය ස්පෙල්ඞ්වින්ඞ් ගමන් කළ නෞකාව සතුරු වෙඩි ප්‍රහාරයට ලක්වී ගිලෙමින් පවතින අවස්ථාවේදී ජීවිතය බේරා ගැනීමට කුඩා බෝට්ටුවකට නැග මඳ දුරක් යන විට තමාගේ සිගරැට් පැකට්ටුව නැවේ දමා ආ බව මතක්වී එය ගැනීමට නැවත නැවට පීනා ගියේය. නමුත් අවාසනාවක මහත සිගරට් පැකට්ටුවක් නිසා මුහුදේ ගිලීමෙන් සිය ජීවිතය පූජා කරන්නට ඔහුට සිදු විය.

 

 

කේ. නිහාල් පෙරේරා 
ශ්‍රී ලංකාවේ සේවා මුක්ත භට සංගමය.
ඡායාරූප : අන්තර්ජාලයෙනි