අදින් වසර 8,150ට පෙර සුනාමියකින් යුරෝපය වැනසී ඇති බවට සාධක ඇතැයි පර්යේෂකයෝ පිරිසක් පවසති. උතුරු මුහුදේ ඇති වූ සුනාමි රළ ගොඩබිම සැතපුම්  සිය ගණනක් දුරට ගමන් කර ඇතැයි ද මේ සුනාමිය ඇතිවූයේ අවසන් අයිස් යුගය පසුකළ විට බව ද ඔවුහු කියති. ගල් යුගයේ මානවයන් යුරෝපයේ දී මේ සුනාමියට හසුව මියයන්නට ඇතැයි ද පර්යේෂකයෝ පවසති.

නෝවීජියාව අසළ මුහුදේ සිදුවූ විශාල නායයාමක් මේ සුනාමියට හේතුවූ බව අනාවරණය වී ඇත. සුනාමි රළ අඩි 65ක් උසට අයිස්ලන්තයට, ග්‍රීන්ලන්තයට, නෝර්වේ රාජ්‍යයට හා බ්‍රිතාන්‍යයට ඇතුළු වී තිබෙන බව ද තහවුරු කරගෙන ඇත. පර්යේෂකයන් විසින් උථුරු මුහුදේ නාය ගිය ප්‍රදේශය ද හදුනාගෙන තිබීම විශේෂත්වයකි.

මෙම පර්යේෂණය සිදුකළ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාඥ ආචාර්ය මිකෙල් ෆ්‍රෙගාර්ඩ් පවසන්නේ තම කණ්ඩායම කළ පර්යේෂණයට අනුව මේ සුනාමි රළ නොගැඹුරු ගොඩබිම ඔස්සේ කිලෝ මීටර 900ත් 1000ත් අතර දුරකට ගමන් කළ බවට තහවුරු කරගත හැකි වූ බවයි. එම ප්‍රදේශය පුරා මුහුදේ ඇති වැලි තට්ටුවක් තැන්පත් වී තිබිමෙන් ඒ බව සනාථ වන බව ද ආචාර්යවරයා පවසයි.

පර්යේෂකයන් පවසන්නේ ඝන කිලෝ මිටර 4000ක පමණ ප්‍ර‍මාණයක් නාය යාමට ගොදුරු විමෙන් මේ සුනාමි තත්ත්වය හටගෙන ඇති බවයි. ආරම්භය සිදුවූ ඇත්තේ මුහුද යට ඇති කදු මුදුනක කිලෝ මිටර 150ක් හා කිලෝ මිටර 300ක් දිග පළල ඇති කොටසක් නාය යාමෙනි. එම නාය යාම විනාඩි 20 කාලයක් සිදුව ඇති බවත් තත්ත්පරයකට මීටර 45ක වේගයෙන් නාය යාම සිදුව ඇති බවත් පර්යේෂකයන් විසින් ගණනය කැර ඇත. මේ හේතුවෙන් හටගත් සුනාමි තරංග මිටර 80ක් උසට හටගෙන ඇතැයි ද ඔවුහු කියති. එය ගොඩබිම අසළට පැමිණෙන විට මීටර 40ත් 20ත් අතර උසට තිබූ බව ද ඔවුහු පෙන්වාදෙති. මේ සුනාමියේ සාධක යුරෝපයේ රටවල් ගණනක මීටර 1.5ක් පමණ පොළොව යට සුරක්ෂිතව තැන්පත්ව තිබෙන බව ද කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.  

2E6B630100000578-3317451-image-a-30_1447436243146