කිසිවෙකු විසින් කරන ලද හූනියමකින් රෝගාතුරව සිටි කාන්තාවකට ශාන්තිකර්මයක් කිරීමට පැමිණි ගුරෙකු ශාන්තිකර්මයේ මන්තර කියවීම සඳහා නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කළ බව කියවෙන පුවතකි මේ. සිද්ධිය මෙසේය. හෙතෙම පියාගෙන් උරුම වූ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සාස්තරය අදටත් ඒ අයුරින්ම කරගෙන යන තරුණ යකැදුරෙකි.

පසුගිය දිනෙක පිටිසර ගමක නිවෙසකින් ඔහුට ආරාධනාවක් ලැබුණේ නිවැසි කාන්තාවකට කිසිවෙකු විසින් කරන ලද හූනියමක් කපන්නටය. සුදු රෙදි කඩකින් ඔතන ලද බෙරයක් ඇතුළු ගුරුකමට අවශ්‍ය අඩුම කුඩුම ද තුන් රෝද රථයක පටවා ගත් හෙතෙම උදෑසනින්ම එම නිවෙසට ගොඩ වැදුණේ ගුරුකම් සඳහා අවශ්‍ය අනෙකුත් අඩුපාඩු පිළියෙළ කරගත යුතු බව නිවැසියන්ට දන්වමිනි. රාත්‍රී හත අට වෙද්දී මල් බුලත් තට්ටුවට වැඳ වැටෙමින් දුම්මල ගසමින් හා බෙරය වයමින් හෙතෙම ගුරුකම ආරම්භ කළේ මන්ත්‍ර හා ශ්ලෝක කීපයක් මහ හඬින් ගායනා කරමිනි. ගතවූයේ මිනිත්තු කීපයකි.

බෙරයේ හඬ මෙන්ම මන්ත්‍ර ගායනයේ හඬ ද බාල වී තිබිණි. ඒ පිළිබඳව සොයා බැලූ නිවැසියන්ට දැක ගන්නට ලැබුණේ ගුරාගේ සියලු කාර්යයන් මල් බුලත් තට්ටුව මත තබන ලද නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකථනයකට බාර දී ඇති බවකි. බෙර වාදනය මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගායනය සිදුවූයේ ද ජංගම දුරකථනය ඔස්සේය. මෙය දුටු නිවැසියන් තරමක් කලබලයට පත්ව සිටින බව දැනගත් තරුණ ගුරා ජයග්‍රාහිකව නැගී සිටිමින් ඔවුන්ට පවසා ඇත්තේ “දැන් අපේ තාත්තාලගේ කාලේ වගේ නෙමෙයි විද්‍යාව දියුණු වෙලා තියෙද්දී අපි මොකටද නිකන් උගුර කඩා ගන්නේ” යනුවෙනි. තරුණ යකැදුරාගේ වැඩ මෙන්ම අයකිරීම්ද ඔහුගේ පියාගේ කාලෙට නොගැළපුණත් රෝගී කාන්තාව තවමත් ලෙඩ ඇඳේ බව නිවැසියෝ කියති

(වියලුව වාර්තාකරු)