සියනෑවේ කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක විසූ දෙදරු මවකගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ගම කෙළවර අහීමානවත් පෙදෙසක පිහිටි සොහොන් බිමේදීය. පසුදින රාත‍්‍රියේ මේ සොහොන් බිම දෙසින් කිසිවකුගේ විලාපයක් වරින් වර ඇසුණු අතර, එය ඇතැම් විටෙක කෙඳිරිල්ලක් සේ ද ඇසෙන්නට විය. මේ ශබ්දයෙන් මහ මග ආ ගිය අය ද බියට පත්වූ අතර, කිසිවෙකුත් ඒ පැත්තට යාමට බියෙන් පසුවෙද්දී සිත දැඩි කර ගත් තරුණයෙකු සොහොන පැත්තට ගියේ මේ ගැන සොයා බැලීමටය. විදුලි පන්දමක් හා පොල්ලකුත් ඔහු අත විය. විදුලි පන්දම හඬ ආ පෙදෙසට එල්ල කර බැලූ ඔහු දැක ගත්තේ පෙරේදා වළ දැමූ සොහොන අසල මිනිසකු වැතිරී සිටින අයුරුය. ටික වේලාවකින් හඬා වැඞීම නතර කළ ඔහු පසෙක තිබූ බෝතලෙන් යමක් වීදුරුවකට දමා බීමෙන් අනතුරුව සිගරැට්ටුවක් ද දල්වා ගත්තේය. මොහොතක් එහි රසය විඳි මේ පුද්ගලයා යළි හඬා වැටෙන්නට විය. ඔහු වරින් වර මාරුවෙන් මාරුවට මෙම කටයුත්තේ යෙදෙණු දුටු තරුණයා ඔහු ඇමතීය. ”ඒයි කවුද ඔය” ”ආ මල්ලි මේ මම” ළඟට කිට්ටු වූ තරුණයා මේ පුද්ගලයා හඳුනා ගත්තේය. ඔහු මියගිය කාන්තාවගේ ලොකු පුතාය. අයියේ, මේ මොකද කරන්නේ තනියම තරුණයා විමසීය. මල්ලි අරක්කු ටිකක්වත් නිදහසේ බොන්න බැහැනේ. යාළුවෝ කියාගෙන එන මාළුවෙන්ගෙන් බේරිලා. ඒ හින්දා මං මෙතැනට ආවේ නිදහසේ අඩියක් ගහලා යන්න යැයි ඔහු පැවසීය. තරුණයා ආපසු හැරී ගියේය. පසුදින ගමේ කඩපිල්වල ප‍්‍රධාන සිරස්තලය මේ කතා වස්තුව විය.