මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම



බිරියගේ කන්දොස්කිරියාවෙන් මිදෙන්නට සැමියා ගෙනා අලු‍ත් ගෑස් ළිප කෝපයට පත් බිරිය කුඩු පට්ටම් කිරීම හේතුවෙන් නිවැසියන්ට දර ළිපෙන් ඉහුම් පිහුම් කරන්නට සිදු වු පුවතක් ඇතුගල්පුරවරයෙන් අපිට අසන්නට ලැබුණි.
දරු තිදෙනෙකුගෙන් යුත් පවුලකි. බිරිය රාජ්‍ය සේවාවක නියැලෙනවාය. සැමියා ගොවිතැනින් ඔවුනට සවිය දීමට වෙහෙසෙන්නේය. ඇය උදේම නැගිට සේවයට යන නිසා ගින්දර පත්තු කර කර දර ළිපෙන් ආහාර පිසීම අපහසු නිසාත් දුම් ගඳ ගසන නිසාත් ගෑස් ළිපක් ගෙනැත් දෙන ලෙසට ඉල්ලීමක් කළාය.
ඒ අනුව සැමියා ඔහුගේ මිතුරකු සමග නගරයට ගොස් ගෑස් ළිපක් හා සිලින්ඩරයක් මිලදී ගෙන ආවේය. 


ඒ මීට වසර කීපයකට පෙරය. එකී ළිප පාවිච්චිය වැඩි නිසාම දැන් දිරාපත් වී තිබේ. එහෙත් දැඩි අපහසුතා මැද වුවද නිවැසියෝ ළිප භාවිත කරති.
ඉකුත් දා උදේම හිටි හැටියේ විදුලිය විසන්ධි විය. මේ නිසා වෙනදා මෙන් උදේට තේ බී‍මට බැරි විය. ඒ හීටරය භාවිත කිරීමට බැරි නිසාය. නමුත් දරුවන් තේ වතුර ඉල්ලන නිසා ඇය කුඩා මුට්ටියක් ගෙන ගෑස් ළිපේ තබා වතුර උණු කෙරුවාය.
සැමියා ඒ අතරේ කෝප්ප සෝදා ඇයට උදව් වුණේ ඇය කෑම පිසීමට ද සුදානම් වෙන නිසා ඇයගේ පහසුව සදහාය.
උණු වෙමින් බුබුඵ දම දමා නටන වතුර බදුන ඇය ගෑස් ළිපෙන් ඉවත ගැනීමට තැත් කළාය. ඒ සමගම බදුන එහි තිබු යකඩ අන්ඩක පැටලීමෙන් එය පෙරලී ගියේය. විසි වුණු උණු වතුරට ඇයගේ අත පිලිස්සුණි. ඇය විලාප නැගුවාය.
“ටක් ගාලා ලු‍ණු වතුරට අත දා ගන්න කෝ. දිය පට්ටා එන්නේ නෑ. එතැනම දැවිල්ල අඩු වෙනවා’’ සැමියා කීවේය.
සිද්ධිය දැන ගත් අවට අය ද ගෙට ගොඩ වැදුණි. 
“මේ මිනිහට මම එදා කිව්වා අරකත් එක්ක ගිහින් ගෙනාවේ හොඳ ගෑස් ළිපක් නෙමෙයි කියලා. හොඳ මිල ඉහළ එකක් ගෙනාවා නම් මට මෙහෙම වෙන්නේ නෑනේ. ළිපේ අඩුපාඩු කියමින් අන් අය ඉදිරියේ සැමියාට ද දොස් නගමින්ය.
“බලපියව් කෝ තමන්ගේ නොසැලකිල්ලට අවුරුදු ගණනකට පෙර ගෙනා ගෑස් ළිපට මට දැන් බනින හැටි’’ සැමියා උත්තරදුන්නේය. “අද විතරක් නෙමෙයි. හැමදාම ඔහොම තමයි. මම හැමදාම හරි පරිස්සමෙන් තමයි මේ කෙහෙම්මල් ළිපෙන් උයන්නේ. ඒකේ උයන්න ගිහිල්ලා විදින දුක දන්නේ මං විතරයි’’ ඇය නැවත නැවතත් ඔහුට දොස් නැගුවාය. 
සැමියා ගෙයින් නික්ම නගරය කරා පිය මැන්නේය. අලු‍තින්ම ඉහළම වර්ගයේ ගෑස් ළිපක් ගෙනාවේය. හිතවතකු සමග එක්ව අලු‍ත් ළිප සිලින්ඩරයට සවි කළේය. පරණ ළිප එළියේ තබා කුඩු පට්ටම් කළේය.
ඒ ශබ්දය ඇසී නින්දෙන් අවදි වූ ඇය එතැනට ආවාය. අලු‍ත් ළිප දැක සතුටු වුණාය. ‘‘මම පිච්චෙන්නම ඕනෑ අලු‍ත් ළිපක් ගේන්න. ඒකත් එහෙනම් හොදයි’’ යැයි පැවසු ඇය, සියලු‍ අමනාපකම් ඉවත දමා සැමියා හා දරුවන් කැටුව සතුටින් එක්ව පසුදින වැඩට යාමට ලහි ලහියේ සුදානම් වුවාය.
අල්මාරියේ තබා ඇති මුද්ද එතැන නැත. ඒ ගැන සෙව්වත් පෙනෙන්නට ද නැත. සැමියා අතේ මුදල් නැති නිසා එය උකසට තබා ගෑස් ළිපගෙනැවිත් ඇති බව වටහා ගන්නට ඇයට වැඩි වේලාවක් ගත වූවේ නැත. ඇයට යළි යක්ෂයා ආරූඪ විය.
“හරි හරි කුඹුරේ අස්වැන්න නෙලු‍ සැනින් ඒක බේරලා දෙන්නම්’’ සැමියා කීවේය.
“යකෝ තවමත් පැළ ගොයම. ඒකේ අස්වැන්න ගන්න තව මාස තුන හතරක් යනවානේ, එතකම් මට බලාගෙන ඉන්නදැයි කියන්නේ’’ යනුවෙන් ඇය යක්ෂ වේශයෙන් කුස්සියට දිව ගොස් අලු‍තින්ම ගෙනා ළිපත් කුඩු පට්ටම් කළාය.
“දැන් කුස්සියේ පරණ ළිපත් නෑ, අලු‍ත් ළිප වැඩ කරන්නෙත් නෑ. ඒ හේතුවෙන් කෝපවේශයෙන් ඉක්මන් වු ඇයට ලබන වැටුපෙන් අලු‍ත් ගෑස් ළිපක් ගැනීමට සිදුවෙන තෙක් පරණ ක්‍රමයටම දර ළිපෙන් උයාගෙන වෙඩින් මුදුවත් නැතිව වැඩට යාමට සිදු වෙනවාලු‍.