කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත



මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් තරුණ සැමියා බේරාගන්න යෙදූ උපායෙන් සැමියා වෙනත් ලොකු ඇබ්බැහියකට පත් වී ලොකු අමාරුවක වැටුණු තරුණ භාර්යාවක පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
විවාහ වූයේ දැන හැඳිනගෙනය. වැඩි දවසක් ගත නොවීය. තරුණ සැමියා මත්කුඩු භාවිත කරන බවට මේ තරුණ භාර්යාවට වටින් ගොඩින් ආරංචි විය. එයින් ඇය කලබලයටත් පුදුමයටත් පත් වූවාය. ඒ සම්බන්ධයෙන් ඇය හොඳ සෝදිසියෙන් සිටියාය. කතාව සහමුලින්ම ඇත්තය. එහි හෝදන්න දෙයක් තිබුණේම නැත. එබැවින් ඇය ඒ වෙනුවෙන් කටයුතු කළාය.
මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වෙන ලෙස ඇය තරුණ සැමියාට ආදරයෙන් කීවාය. සමහර ස්ථානවලදී සැර වූවාය. ස්වාමියාට වැඳ වැඳ කීවාය. දිවුරා පොරොන්දු පිට පොරොන්දු කරවා ගත්තාය. ඒ සෑම එකකම ප්‍රතිඵලය බිංදුවය. ගඟට කැපූ ඉනි මෙන්ය. ඒ සම්බන්ධයෙන් ඇය තවත් උත්සාහ කිහිපයක් ගත්තාය. පලක් නම් වුණේම නැත.


අවසානයේදී ඇය මත්ද්‍රව්‍යවලින් සිය සැමියා මුදවා ගැනීමට ගුරුකමක් සිදුකරවීමට ස්ථානයකට රැගෙන ගියාය. කතාබහ කරගත් පරිදි ගුරුකම නිසි ආකාරයෙන් සිදු කෙරිණි.
සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් තිබිණි. ඇය බොහෝ සේ සතුටට පත් වූවාය. ගුරුකම සිදු කළ අයට ඇය පින් දුන්නාය. මේ ගුරුකම සිදුකර ගැනීමට සැමියාට නිතර නිතර එහි යාමට සිදුවිය. මුලදි මුලදී ඔහු සමග ගියේ ඇයය. ඔහු පමණක් තනියෙන් ගිය දින නැත්තේ ද නොවේ. ගුරුකමේ සාර්ථකත්වය මත ඇයට එය ප්‍රශ්නයක් නොවීය.
ගතවූයේ ටික දිනකි. සැමියා සහමුලින්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදුණි. ඇයට සතුටුය. ගුරුකම කළ කෙනාට දේවත්වයෙන් ඇය සැලකුවාය. එන්න එන්නම ඔහු එම ස්ථානයට යාම් ඊම් වැඩි විය. ඇයට එය ප්‍රශ්නයක් නොවීය.
තවත් කාලයක් ගත විය. සිය සැමියා මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් මුදවාගත් තරුණ කත සමග එහේ මෙහේ යන බවට වටින් ගොඩින් ඇයට සැල විය.
ඔහු ඇයගේ නිවසේ නතර වන කාලය ද වැඩි විය. මේ භාර්යාවට කාරණය තේරුණේය. දැන් ඇය මහන්සි වනුයේ මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ගලවාගත් කත සමග ඇති කරගත් අනියම් සබඳතා ඇබ්බැහිය නැති කරවා ගන්නේ කෙසේදැයි කල්පනා කරමින්ය.