ඇයට ඔහු තම සිහින කුමරා ලෙස පෙනීමත් ඔහුට ඇය මෝහිනියක ලෙස පෙනීමක් නිසා තරුණියකට නිවාස අඩස්සියකට වී සිටීමට සිදුවීමේ පුවතක් කටුගස්තොට තදාසන්න ගම්මානයකින් වාර්තාවේ.

වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය මෙසේය.

ත්‍රිරෝද රථ වෘත්තියේ නියුතු තරුණයෙකු සමග සිදුකරගත් හාදවීමක් මත ඇයට තම පාසල් ගමනද අතරමග නවතා දැමීමට සිදුවූයේ මාපියන්ගෙන් එල්ලවූ බලවත් විරෝධය මධ්‍යයේයි. දවසින් දවසම තම මාපියන් සමග නොරිස්සුම් ස්වභාවයෙන් සිටි ඇයට තම නිවසත් අපායක් සේ දැනුණේ තම සිහින කුමරා නිතර නිතර සිහිවන අතරවාරයේය.

ඊට විකල්පයක් සෙවූ ඇය ඔහුට තම ජංගම දුරකතනයෙන් කතා කොට ඉකුත් අමාවකදා රාත්‍රි 9.30ත් 10.00 අතර කාලයේදී නිවස අසල වැටකඩුල්ල අසලදී යතුරුපැදියකින් පැමිණ තමා රැගෙන යන ලෙස කළ ඉල්ලීමට ඔහුද එක පයින් කැමතිවී ඇත්තේ මාස ගණනාවක් පෙරුම් පුරමින් සිටි සිහිනයක් සැබෑවනු දැකීම නිසාය.

කතා කරගත් පරිදි නියමිත වේලාවට තම සිහින කුමරා පැමිණෙන දුටු ඇය ඉවවහා ගිය සතුටින් ඔහු එන මගට දිවගියේ කඩාගත් කොණ්ඩය පද්දමින් හා අතට ගතහැකි අඩුම කුඩුව දමාගත් මල්ලක්ද අතැතිවය.

ගතවූයේ නිමේෂයකි. අය ඉදිරියට පැමිණි යතුරු පැදිය පාරෙන් ඉවතට පැන අසල අගලකට ඇදවැටෙනවාත් සමගම එහි පැමිණි යතුරු පැදිකරු මෝහිණී... මෝහිණී යැයි කෑ ගසමින් වැටි වැටී අසල නිවසකට කඩා වැදුණේ මෝහිණියගෙන් තම දිවි බේරා ගැනීමේ අරමුණෙනි.

කෙසේ නමුත් ශබ්දය ඇසී ඇගේ මාපියන් පමණක් නොව අසල්වාසින්ද එහි රැස්ව කරුණු කාරණා විමසීමේදී ඇගේ පෙම්වතා පැමිණීමට පෙර පැමිණි වෙනත් යතුරුපැදිකරුවෙකු නිසා මෙම අකරතැබ්බය සිදුවී ඇති බවට සනාථ විය. සිද්ධියෙන් අනතුරුව අසල්වාසීන්ට මුහුණ දීමට නොහැකිව ඇය මේ දිනවල තම මාපියන් සමඟ නිවසින් එළියටවත් නොබැස සිටින බව වාර්තා විය.