(වියලුව වාර්තාකරු)
මියගිය මවගේ අවමඟුලට ගොස් ජීවතුන් අතර සිටි පියා ගැන ගුණ කථනයක් කළ බව කියැවෙන අපූරු පුවතක් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


කලක් තිස්සේ රෝගාතුරව සිටි මව ඉකුත්දා හදිසියේ මියගියාය. දරුවන් කීප දෙනකුගේ මවක වූ ඇගේ දරුවන් සේවය කරන ආයතනවල පිරිස් එම මරණය සැලවීමත් සමග නිවසට ආහ.


විටින් විට ආයතනයේ සේවක මහත්වරුන් අවමංගල නිවස වෙත ගොස් සිය ශෝකය ප්‍රකාශ කරනු ලැබුව ද එහි නිලධාරින් කිප දෙනකු නොගියේ අවමඟුල් උත්සවය පැවැත්වෙන දින එහි ගොස් ආයතනය වෙනුවෙන් කතාවක්ද කළ යුතු යැයි පවසමිනි.


අවමංගල දිනය දා කෙටි නිවාඩුවක් ද අනුමත කර ගත් නිලධාරීහු පිරිසක් අවමංගල උත්සවය පැමිණියහ. ඒ වනවිටත් අවමංගල උත්සවයේ කටයුතු ආරම්භ කර තිබූ අතර ගුණ කථන කීපයක් ද ප්‍රකාශ කර තිබුණි. පෙරකී නිලධාරියා දුටු අවමංගල සභාවේ කථිකයා ඊළඟ කතාවට ඔහුට ආරාධනා කරනු ලැබුවේ ඔහුට ගිමන් හරින්නටවත් ඉඩ නොතබමිනි.


කිව යුත්තේ කුමක්දැයි පවා හරිහැටි අවබෝධයක් ලබා ගන්නටත් ප්‍රථම කළ ආරාධනයෙන් දැඩි සේ අපහසුතාවට පත්වූවත් කතා පැවැත්වීමට ඇති ආසාව නිසාම මයික්‍රෆෝනය අතට ගත් හෙතෙම කතාව ආරම්භ කරනු ලැබුවේ රැස් වූ පිරිසගෙන් අවසර ඉල්ලමිනි.


අනතුරුව සිය ආයතනයේ සේවය කරන නිලධාරී මහතා ද සිහිපත් කළ හෙතෙම මියගොස් ඇත්තේ ඔහුගේ පියායැයි අනුමාන කරමින් කතාව දිගටම කරගෙන ගියේ පියාගේ ගුණ යහපත්කම පිළිබඳව ද දිගින් දිගටම වර්ණනා කරමිනි.


කෙසේ වෙතත් ඔහුගේ කතාවත් සමඟම දේහය ඉදිරිපස සිටි මියගිය කාන්තාවගේ සැමියා මෙන්ම ඔහුගේ දරු පිරිස ද දැඩි ලෙස අපහසුතාවට පත් වූ අතර සියලු දෙනාම ඔහුගේ මුහුණ බලන්නට පටන් ගත්තේ කළ හැකි අන් යමක් නොතිබූ නිසාය.


කිසියම් හෝ අත්වැරැද්දක් තමුන් අතින් සිදු වී ඇතැයි තේරුම්ගත් හෙතෙම ඒ ආසන්නයේ සිටි කෙනකුගෙන් කනට කර අසා සිටියේ ‘මොකක් හරි අවුලක්ද’ යනුවෙනි.


කෙසේ වෙතත් වැරැද්ද වටහාගත් හෙතෙම මේ අයුරින් කතාව අපූරු විදිහකට අවසන් කළේ රැස් වූ පිරිසට ඔහුගේ ස්ථානෝචිත ප්‍රඥාව පෙන්වමිනි. 


‘ශෝකයට පත් පින්වතුනි, මම මෙච්චර වෙලා කතා කළේ අපේ උපාසක මහත්මයාගේ ගුණ යහපත්කම ගැනයි. එවැනි පුරුෂයකු ලබන්නට මේ මියගිය මාතාව සැබවින්ම වාසනාවන්ත මාතාවක්. ඒ නිසා අපි ඇයට නිවන් සුව පතමු’ යැයි දනිපනිගා කතාව අවසන් කළේ සිදු වූ අවමානයෙන් යාන්තමට බේරෙමිනි.


එහෙත් පසුදින සේවයට ගිය ඔහුට සහෝදර සේවකයින්ගෙන් නම් ගැලවුමක් අත් නොවුණි.