මොහු ඉඩම් හිමි වැවිලිකරුවෙකි. පොල් වත්ත විතරක් අක්කර ගණනක් විශාල එකකි.

පොල් වත්තෙන් විශාල ආදායමක් ලැබුණත් ඔහුට තිබූ ලොකුම ප්‍රශ්නය හොරුන්ගෙන් පොල්ටික ආරක්ෂා කර ගැනීමයි.
ගස්වලට නැග පොල් කඩාගෙන යන හොරු මදිවාට වත්තේ ගොඩගසා තිබෙන පොල් ද හොරු ගෙනයන්නට පටන් ගෙන තිබිණි.
“මහත්තයො බල්ලෙක් හදන්නකො. මම ගෙනත් දෙන්නම් හොඳ වර්ගයේ බල්ලෙක්” දිනක් පොල් මිලදී ගන්නට පැමිණි පොල් මුදලාලි කෙනෙක් පොරොන්දු විය.
ඒ අනුව රුපියල් 25,000ක මිලක් ද බල්ලාට නියම විය.
“මිනිස් පුළුටක් බලු පැටියට පෙන්නන්න එපා. බල්ලා සැර වෙන්නෙ එතකොටයි” බල්ලා හදන ක්‍රමය ද මුදලාලි ඉඩම් හිමියාට පැහැදිලි කළේය.
බල්ලා ඇති කළේ සතර අතින් ලෑලි ගැසූ කූඩුවකය.
කෑම බීම ටික ලැබුණේ කුඩා කවුළුවකිනි.
දින සති බවට පෙරළී බල්ලා තඩි බල්ලෙකු විය.
පසුගිය දිනක වත්ත පහළින් ශබ්දයක් ඇසිණ. පොල් හොරු වත්තට පැන ඇතැයි තේරුම් ගත් වැවිලිකරු සැර පරුෂ බල්ලා මුදාහැරියේ අද නම් හොරු කම්මුතුයි කියමිනි.
උසි බල්ලා උසී, බලු කූඩුව ඇර බල්ලා උසිගැන්වීය.
හොරා ද බියට පත්විය. බියට පත් හොරා අතේ තිබූ පොල් ගෙඩියක් ගෙන බල්ලා දෙසට දමා ගැසීය.
චිප් බල්ලා..... කිසි දවසක මිනිස් පුළුටක් නොදුටු බල්ලා.... මිනිසාට වඩා බියට පත්විය.
බියට පත් බල්ලා කැලය දෙවනත් කරමින් පැන දිව්වේ වැවිලිකරුගේ සියලු බලාපොරොත්තු සුන්කරමිනි.
“ආ මුදලාලි මිනී මස් කන බල්ලා බැඳල ද” ගම්මු වැවිලිකරු හමුවූ විට අහන්නට ගත්තේ සමච්චලයට ලක් කරමිනි.
25000ක් වටිනා බල්ලා ඊට පසු පැත්ත පළාතෙවත් ආවේද නැත.
(ගලෙන්බිඳුණුවැව
ජයන්ත වාසුලසේන)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.