මාර්ග අංක 103 දරණ පෞද්ගලික බසය පසුගිය දිනෙක හවස් යාමයේ බොරැල්ලට ළඟා වූ විට මගීන් කිහිප දෙනෙක් එයට ගොඩවූහ. නාරාහේන්පිට දක්වා බස් ගාස්තුව රුපියල් නවයක් වුවත් දහයක්ම ලබාගත් තරුණ කොන්දොස්තර පිටුපස දොරටුවට හේත්තු වී, අසල වාඩිවී සිටි මිතුරකු සමඟ පිළිසඳරේ යෙදිනි.
‘‘කොහොමද අවුරුදු සරුද?’’ කොන්දොස්තරගෙන් ඔහුගේ මිතුරා විමසීය. ‘‘මාස තුනකින් තමයි ගමට යන්නේ. අද අම්මාගේ බැංකු පොතට සල්ලිත් දැම්මා’’ යැයි පැවසූ හෙතෙම, මුදල් තැන්පත් කළ කුවිතාන්සියක් මිතුරාට පෙන්වීය. එය බැලූ මිතුරා පුදුමයට පත්වී ‘‘අවුරුදු කන්න මොකටද අනූදාහක්’’ යැයි ඇසීය. සිනාවක් පෑ කොන්දොස්තර ‘‘මම අම්මාට කෝල් කරලා කීවා, අම්මලාට අවුරුදු කන්න රුපියල් හතළිස් දාහක් අරගන්න. ඉතිරි පනස්දාහ මට අරන් තියන්න කියලා’’ ඔහු උජාරුවෙන් කීය.
‘‘උඹට මොකටද රුපියල් පනස්දාහක්’’ මිතුරා ඇසූවිට, ඇයි බන් අරක්කුවලටයි, සිගරට්වලටයි, බයිට්වලටයි.  ‘‘තව මං හඳුනන බොස්ලා දෙන්නෙක් එදාට පාටියට සෙට් වෙනවා. එයාලට ‘ලෝකල්’ හරි නැහැනේ. එයාලට ඉතින් ‘ස්පෙෂල් බීම තමයි’ තරුණ කොන්දොස්තර සිනහවකින් මුව සරසා ගනිමින් පැවසීය.
මෙම දෙබස අසා සිටි මගියෙක් තමා අසල වාඩිවී සිටි මගියකුට කනට කර මෙසේ පැවසීය. ‘‘ඔය ඉතින් බස් අයිතිකාරයාට නොදී ගහපු මාටියා පාරයි, අපේ ඉතිරි සල්ලි නොදී එකතු කරපුවායි තමයි.’’