(තිහගොඩ උපසේන ලියනගම)
ඌරුබොක්ක සිට මාතර බලා දිවෙන බස් රථයකි. සාමාන්‍ය මගීන් මෙන්ම පාසල් සිසුහු ද එහි වූහ. අතරමග දී බසයට නැගගත් මැදිවියේ පුද්ගලයකු තම ගමන් මල්ල ඉහළ වූ රාක්කයේ තබා බසයේ පසුපසට ගියේ එහි මගීන් රැසක් වූ හෙයිනි.


රාක්කයේ තම බෑගය තැබූ තැනට යටින් වාඩිවී සිටි සිසුවකුගේ හිසට කිසියම් දියර බින්දුවක් වැටිණි. මොහොතකින් තවත් බින්දු කීපයක් වැටුණෙන් හිස අත ගා බැලූ ඔහුට එය දුඹුරු පැහැති දියරක් බව පෙනිණි. තවත් බින්දු කීපයක් වැටීමත් සමග ඔහු ආසනයෙන් නැගිටිනු දුටු ගමන් මලු හිමියා කලබලවී එතැනට ආවේ හත් දෙයියනේ මගේ පැණි බෝතලේ පෙරළිලා කියමිනි.


සිසුවා යළි හිස අතගෑවේ මෙය පැණි දැයි දැන ගැනීමටය. බින්දුවක් දෙකක් වැටෙන කොට ඔලුව වසාගත්තනම් හරි මගියෙක් කීය.


“මේ පැණි බව දන්නව නං ඔලුව වහගන්නව නෙවි කට අල්ලනවා” සිසුවා කීවෙන් බස් මගීන් සිනා සයුරේ ගිලුනාලු.