කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත 



පෙරේත තටුව තියන්නත් කලින් තටුවට තියන්න ගෙනා ගල් කාල ගල් කළ පුවතක් කුරුඳුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
මාමණ්ඩිය මියගිය දා සිටම ලේලිය ඇතුළු ඔවුන්ගේ නිවසේ අමුතු අමුතු දේ සිදුවිය. මේ නිසා ඇය සිටියේ දැඩි බියකිනි. රෑට රෑට නිවසේ ජනෙල් පැත්තෙන් කෙනෙක් ඇවිදන ශබ්ද ආවේය. නිවස පුරාම දුර්ගන්ධය ඒ මදිවටය. ඇතැම් දිනවල බත් මුට්ටියේ කූඹිය. නරක සිහින ඇයට නිතරම පෙනුනේය. ගෙදර අඬදබර ඕසෙටය.
මේවාට විසඳුමක් සෙවීමට ඇය උත්සුක වූවාය. ශාස්ත්‍රයක් බැලීමට ගියේ ඒ අනුවය. ශාස්ත්‍රකරු ටක්කෙටම කීවේ මියගිය මාමණ්ඩිය ඔවුන්ගේ නිවසේ ගැවසෙන බවය. අඩියක් පුඩියක් ගසන මාමණ්ඩිය ඇයගේ නිවසේ මේ සිදුවෙන අමුතු අමුතු දේට හේතුව බව ශාස්ත්‍රකරු කීවේය. ඔහු නිවසින් පන්නා නොදැමුවහොත් තමන්ට ළඟදීම වෙන නස්පැත්තිය ගැන ද ශාස්ත්‍රකරු කීවේ ආවේසයෙනි. ඇය මෙයින් තැති ගත්තාය. නොසෑහෙන්න බිය වූවාය.


මාමණ්ඩිය සිය නිවසින් එළවීමට නම් පෙරේත තටුවක් දැමිය යුතු බවටද තමාට එය කළ හැකි බවත් ඒ සඳහා ගන්නා ගාස්තුවද ශාස්ත්‍රකරු කීවේය. ගාන කීයක් ගියත් කමක් නැහැ යැයි කියමින් ලේලිය එයට එකඟ වූවාය.
ඒ අනුව දිනය හා වේලාව තීරණය විය. තටුවට තැබීමට නියම කෙරුණේ මාමණ්ඩිය කෑමට බීමට ආශා කරන දේය. ඒ අතරින් ගල් අරක්කුවලට ප්‍රධාන තැනය. මාමණ්ඩිය ගල්වලට කෑදර බව ඇය මේ නිවසට පැමිණි දා සිටම දැන සිටියාය.
ශාස්ත්‍රකරු තටුව දැමීමට එදින ඇයගේ නිවසට ආවේ පස්වරුවේය. පෙරේත තටුව සෑදින. ඉන් අනතුරුව ශාස්ත්‍රකරු සිදු කළේ තටුවට අවශ්‍ය දෑ එහි තුළ තැන්පත් කිරීමය. ගල් අරක්කු කාලේ බෝතලය රැගෙන එන ලෙස ඔහු ඇයට කීවේය. ඇය ඉතාමත්ම ගරුබුහුමන් ඇතිව පෙරේත තටුවට ගෙනා ගල් කාල ශාස්ත්‍රකරුට දුන්නේ දෙඅතින්ම අල්ලාගෙනය. ඉඩක් ලද විටක ගල් කාලක් භාගයක් ගන්නා ශාස්ත්‍රකරුට ඇය දුන් ගල් කාලේ බෝතලයේ පැහැය ගැන සැක සිතුණේය. ඒ නිසාමදෝ ඔහු බෝතලයේ පියන පිළිබඳව අවධානය යොමු කළේය.
බෝතලයේ පියන බුරුල්ය. එකවිටම ආයාසයකින් තොරවම පියන විවෘත කළ හැකි විය. ශාස්ත්‍රකරුට වැඩේ තේරුම් ගියේය. බෝතලය තුළ ඇත්තේ තේ කහට බව අවබෝධ විය. ඔහුට අවශ්‍ය වූවේ පෙරේත තටුව තියන්න කලියෙන් ගල් කාල ගල් කළ පෙරේතයා හඳුනා ගැනීමටය. ප්‍රශ්නය ඇයට යොමු කළේය. මියගිය මාමණ්ඩිය මෙන්ම ගල්වලට ගරු කරන සිය සැමියා මේ පෙරේත වැඩය කළ බව ඇයට සක්සුදක් සේ පැහැදිලි විය.
මෙයින් කිපුණු ඇය ශාස්ත්‍රකරු ඉදිරියේම ඔහුගේ ඇඟට කඩාගෙන පැන්නාය. ඒ විතරක්ම නොව පෙරේත තටුව පේ කරන්න ඒ අවස්ථාවේ පැමිණ සිටි අය ඉදිරියේම ඇය සිය සැමියාගේ රෙදි ද ගැලවූවේ මහ රෑ කොහෙන් හෝ ගොස් ගල් කාලේ බෝතලයක් රැගෙන එන ලෙස ඔහුව නිවසින් පන්නා දමමිනි. තටුවට ගෙන ආ ගල් කාල ගල් කළ පෙරේතයා කවුරුද යන්න දැන් මුළු ගමම දන්නේ හෙමින් නම් නෙමෙයි.