මීගමුවේ සිට කොළඹ බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයකට වත්තල හැඳල මංසන්ධියේදී ගොඩවූ මගීන් අතරේ අන්ධ යාචකයෙක් සහ ඔහුගේ සහයට සිටි තරුණයෙක්ද විය. බස් රථයේ ඉදිරි දොරටුවෙන් ඇතුළු වූ ඔවුන් දෙදෙනා රියැදුරු අසුන අසලින්  නතරවී සිටියේ අනෙකුත් මගීන්ට බස්රියට ගමන් කිරීමට ඉඩ සලසා දීම සඳහාය. තරුණයාගේ අතින් අල්ලාගෙන සිටි අන්ධ යාචකයා බස්රථය යළි ගමන් ඇරඹූ පසු සිය දෑත් එක්කොට බස් රථයේ සිටි මගීන්ට ආචාර කළේය. ”සුබ උදෑසනක් වේවා. ගරු නෝනාවරුනි  මහත්වරුනි සහෝදර සහෝදරියනි, අන්ධ යාචකයා මගීන්ට හිස නමා කතාව පටන් ගත්තේය. ”මගේ ඈස් දෙකම අන්ධ නිසා මට තමුන්නාන්සේලා කිසිම කෙනෙක් පේන්නේ නැහැ. ඒත් මට තමුන්නාන්සේලාගේ සුවඳ දැනෙනවා. පාරේ යන වාහනවල සද්දෙ ඇහෙනවා. තරුණාකරලා මගේ ජීවිත කතාවට ඇහුම්කන් දෙන්න. තරුණ කාළේ මං මත්පැන්වලට තදින් ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. ටික කාලෙකින් මට දියවැඩියාව හැදුනා. මං බේත් වෙනුවට බිව්වේ අරක්කු. දියවැඩියාව උත්සන්න වෙලා මගේ ඇස් දෙකම අන්ධ වුණා. රස්සාවක් කර ගන්න බැරිවුණා. පවුලේ ආර්ථිකය බිංදුවට  බැස්සා. මගේ  බිරිය මාවයි මේ එකම පුතාවයි දාලා වෙන මිනිහෙක් එක්ක ගියා. ජීවත් වෙන්ඩ ක‍්‍රමයක් නැතිනිසා මේ දරුවත් අරගෙන මං හිඟමනට බැස්සා. මට කිසිම දෙයක් කරන්න බැරි නිසා මගෙ වැඩ සේරම කරන්නෙ මේ දරුවයි. හැමදාම උදේට මගෙ අතින් අල්ලාගෙන මේ දරුවා බස් එකෙන් බස් එකට මා අරන් ගිහිං කීයක් හරි සොයා ගන්නවා. අපි දෙන්නා ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ තමුන්නාන්සේලා දෙන සල්ලි වලිනුයි. ඒ හින්දා අපි ගැන අනුකම්පා කරලා අපට ආධාරයක් කරන්න” අන්ධ යාචකයා තම පුතාගේ ආධාරයෙන් අසුනෙන් අසුනට ගොස් දෑත දිගු කරමින් ආධාර ඉල්ලීය. මගීන්ගෙන් ලැබුණු රුපියල් පහේ කාසි, දහයේ හා විස්සේ නෝට්ටු සියල්ල එකින් එක ඔහු තම සාක්කුවේ දමාගත්තේ දෑස හොඳින් පෙනෙන අයකු ලෙසය. බසයේ පිටුපස දොරටුව අසලට පැමිණෙත්ම එහි අසුනක වාඩිවී සිටි මහළු කාන්තාවකට මේ අන්ධ යාචකයා ගැන දුකක් ඇතිවී තම අතේ තිබූ රුපියලේ කාසියක් ඔහු අත තැබුවාය. රුපියලේ කාසිය දෙස විමසිල්ලෙන් බැලූ අන්ධ යාචකයා  එයින් මහලූ කාන්තාවට දමා ගැසීය. රුපියලකින් මොනවද බොල කරන්න පුළුවන්.  ඕක අරගෙන ගිහිං උඹේ පිට කසා ගනින්. මහළු කාන්තාවට බැණවැදී තම පුතාව ද අතින් ඇදගෙන අන්ධ යාචකයා බසයෙන් බැස ගියේ සියල්ලන් මවිතයට  විමතියට පත් කරමිනි.