(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
හුදකලාව දිවි ගෙවන කාන්තාවක් දිවා ආහාරය පිළියෙළ කරමින් සිටියාය. බත්මුට්ටිය ලිපේය. පොල් ගාගත් ඇය සිටියේ කරවල කපමිනි.
යාබද නිවසේ කාන්තාව ඇයට කතා කළාය. අක්කේ සමුපකාරේ අල කිලෝ දෙක ගානේ නොමිලේ දෙනවා ගේන්න යන්නේ නැද්ද ඇය ඇසුවාය.
අල්ලපු ගෙර නැගනියගෙන් ලත් තොරතුරු අනුව ඇය දොර අඩවල් කර පාර දෙසට ගියේ ගමේ කෙළවර පිහිටි සමුපකාරයට යන ආකාරය පිළිබඳව කල්පනා කරමිනි.


කුලී ත‍්‍රිරෝද රියකට කතා කරගත් ඇය ඇඳ සිටි ඇඳුම පිටින්ම සමුපකාරය බලා ගියේ බත් මුට්ටිය ලිපේ තිබෙද්දීය.
පැයකටත් වැඩි වේලාවක් පෝලිමේ සිට අල කිලෝ දෙක අරගත් ඇය ත‍්‍රිරෝද රියට රුපියල් සියයක් ගෙව්වාය.


ඇය නිවසට ගොඩ වෙද්දී අඩවල් කර තිබූ දොර විවෘත කර තිබිණි. කරවල මුට්ටිය පෙරළාගෙන කන බල්ලකු දුටු ඇය කෑගැසුවාය. කරවල කූරියා ඩැහැගත් බල්ලා පලා ගියේය. බත්මුට්ටිය රොස්වී තිබිණි.


කුසගිනි දැඩිය. ඇය ළඟම කඩයට ගොස් බත් පාර්සලයක් ගෙනාවාය. රුපියල් සියයක් වටිනා අල කිලෝ දෙකක් නිසා ඇය රුපියල් හය සියයක පමණ පාඩුවක් ලබා තිබිණි.


මගේ කලබලේ නිසා වෙච්චි වින්නැහියට මක් කරන්නදැයි සිතාගත් ඇය නිවී සැනසිල්ලේ රාත‍්‍රී ආහාරය සකස් කරන්නට වූවාය.