”ඩොක්ටර් මගේ මේ දකුණු ඇහැ කැවෙනවා. කඳුළුත් ගලනවා, ඇහැ ඇරගෙන ඉන්න බෑ” යැයි ඇසක රෝගී තත්ත්වයක් හටගත් අයකු නගරයේ වෛද්‍යවරයකු මුණ ගැසී පැවැසීය.

”කෝ බලන්න” යනුවෙන් පැවැසූ වෛද්‍යවරයා එම ඇස පරීක්ෂා කළේය. ”ගොඩක් කල් ඉඳලා තිබිච්ච රෝගයක්ද?” වෛද්‍යවරයාගෙන් ප‍්‍රශ්නයක් මතුවිය.

”ඔව් ඩොක්ටර් ඇස් වාට්ටුවෙනුත් බෙහෙත් ගත්තා. ඒත් ගමනින් ගමන මතුවෙනවා.”

”මම ඇහැට දාන්න බෙහෙතක් දෙන්නම් දිනකට එක් වතාවක් එක බිංදුවක් පමණක් ඇහැට දමාගන්න” යැයි පැවැසූ වෛද්‍යවරයා එම බෙහෙත ගැනීම සඳහා තුණ්ඩුවක් දුන්නේ එය ෆාමසියෙන් ලබාගත යුතු බව පවසමිනි.

රෝගියා එය රැුගෙන නගරයේ සුපිරි ෆාමසියකට ගොඩවී එම බෙහෙත ලබාගෙන ආපසු නිවසට පැමිණ තම බිරිය අමතා මෙසේ කීය.
”මෙන්න මේකෙන් හරියටම එක බිංදුවක් මේ ඇහැට දානවා” මෙය අසා එම බිරිය තම ස්වාමියාගේ රෝගී ඇහැට බෙහෙත් කුප්පියෙන් හරියටම එක බිංදුවක් දැම්මාය. රෝගියාට දෙවියන් සිහිවිය. ඇස් දෙකම තදින්ම පියාගෙන අත් දෙකෙන් ඔළුව බදාගෙන කෑ ගසන්නට විය.

”යකෝ වතුර එකක් රැුගෙන වරෙන්” යැයි කෑ මොර ගැසීය.

වහා බිරිය දුවගොස් ඇල්වතුර වීදුරුවක් රැගෙන පැමිණියාය.

”යකෝ ඇස් දෙකම දැවිල්ලයි වතුර ඉල්ලූවේ ඇස් දෙක හෝදගන්න. නැවතත් ඇය වතුර බේසමක් ගෙනත් දුන්විට හොඳින් ඇස සෝදාගත් පසු වේදනාව මදක් අඩුවිය. අදනම්  ඕයි මේ බෙහෙතට මොකක් හරි වෙලා. මේකත් අරන් මම යනවා ඩොක්ටර් ගාවට යනුවෙන් පවසා ආපසු ගොස් එම වෛද්‍යවරයා හමුවී ඔහු ලබාදුන් තුණ්ඩුව හා ෆාමසියෙන් ලබාගත් බෙහෙත පෙන්විය.

මෙය දුටු වෛද්‍යවරයා වහාම සිය අසුනෙන් නැගිට එම රෝගියාද රැගෙන ඊට ආසන්නයේ ඇති එම බෙහෙත ලබාගත් ෆාමසියට ගොඩවුණේ එහි සේවය කරන අයට දෙහි කපමිනි. ”ඔහේල හැදුවේ මේ මනුස්සයගේ ඇහැ කණ කරන්නද? මේ කනට දාන බෙහෙතක්නේ දීලා තියෙන්නේ” යැයි පවසා ඔවුනට අවවාදකොට නියම බෙහෙත තමන්ම තෝරාගෙන එම ෆාමසියෙන් පිටව ගියේය.