මෙරට ජනගහනයට සමානුපාතික ලෙස රෝහල් ස්ථාපිතවී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාවලින් හෙළිවන බව අප පුවත්පත ඉකුත්දා අනාවරණය කළේය.

පළමුව අවධාරණය කළ යුතු කරුණක් තිබේ. මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාස හා සෞඛ්‍යය ප්‍රධාන වේ. ‘‘රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් මොකද වෙන්නේ?’’ කියන කාරණය වටහා ගැනීම අසීරු නැත. “ආරෝග්‍යා පරමාලාභා” යන්නෙන් කියැවෙන්නේද එයයි. එහෙයින් රටක සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ඉතා ප්‍රශස්ත තලයක තිබිය යුතුය. ලාංකික සෑම පුරවැසියකුටම සමසේ බෙදී යායුතුය. පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යන කී නොකී සැම දනව්වකටම එකසේ පහසුකම් සැලසිය යුතුය. එසේ නම් ජනගහනය අනුව ඒ ඒ ගමට රෝහල් පහසුකම් සමානුපාතික ලෙස ස්ථාපිත විය යුතුය.

ආසියාවේ ආශ්චර්යය කරා අප ගමන් කරමින් සිටියේත් මාස 60න් අලුත් රටක් නිර්මාණය කරමින් සිටින්නේත් ඉහතින් දක්වා ඇති පරිදි සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ බරපතළ විසමතා පවතිද්දීය. මෙම විසමතා එලෙසින්ම පවතිද්දී සංකල්පවලට පෑ හැකි ප්‍රාතිහාර්යයක් නැත.

අප පුවත්පතට අනුව අම්පාර දිස්ත්‍රික්කයට අයත් කල්මුණේ ප්‍රදේශයේ පමණක් මූලික රෝහල් 6ක් ස්ථාපිත කර තිබේ. එහෙත් මාතර දිස්ත්‍රික්කයටම ඇත්තේ මූලික රෝහල් දෙකක් පමණි. කල්මුණේ ප්‍රදේශයේ ජනගහනය හතළිස් දහසකි. මාතර දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්‍ෂ 9කි. හතළිස් දහසක් සිටින කල්මුණේ ප්‍රදේශයට මූලික රෝහල් 6ක් ස්ථාපිත වනවිට ලක්‍ෂ 9ක් ජනතාව සිටින මාතර දිස්ත්‍රික්කයට මූලික රෝහල් දෙකක් ස්ථාපිත කිරීමෙන් විෂමතාව ඉතා පැහැදිලිය.

වතු රෝහල්, ග්‍රාමීය රෝහල්, මූලික රෝහල්, ශික්‍ෂණ රෝහල් හා දිස්ත්‍රික් රෝහල් වශයෙන් රෝහල් වර්ග ගණනාවකි. ඒ ඒ රෝහල්වල ඇති පහසුකම් සේවා ආදියට අනුව එම වර්ග කිරීම් කරනු ලැබේ. රෝගියකුට පහසුවෙන් ළඟාවීමට හැකිවීම, ජනගහනයේ සමානුපාතික බව ආදී නිර්ණායක මෙහිදී සැලකිල්ලට ගනී. කල්මුනේ ප්‍රදේශයට මූලික රෝහල් 6ක් ස්ථාපිතවනවිට මාතර දිස්ත්‍රික්කයටම මූලික රෝහල් 2ක් පමණක් ස්ථාපිත කිරීමෙන් සෞඛ්‍ය බලධාරීන් මාතර දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් දක්වා ඇති ආකල්පය පිළිබඳව ප්‍රශ්නයක් ඇතිවෙයි. මෙහි ප්‍රශ්නය වන්නේ කල්මුණේද මාතර ද යන්න නොව, ජනගහනය සාධකයක් ලෙස ගෙන රෝහල් ස්ථාපිත කිරීමට බලධාරීන් කටයුතු කිරීමෙන් ජනයාට සිදුවන අසාධාරණය සම්බන්ධයෙනි. 

බදුල්ල දිස්ත්‍රික්කයටම ලැබී ඇත්තේ  මූලික රෝහල් තුනකි. එහි ජනගහනය ලක්‍ෂ 9කි. මොණරාගල දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්‍ෂ 5ක් වන අතර ස්ථාපිත කර ඇති මූලික රෝහල් ගණන තුනකි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය ලක්‍ෂ 16කි. එම ලක්‍ෂ 16 සඳහාම ස්ථාපිත කර ඇති මූලික රෝහල් ගණන පහකි. රත්නපුර දිස්ත්‍රික්කයේ මූලික රෝහල් හතරක් ස්ථාපිත කර ඇති අතර එම දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්‍ෂ 10කි.

තවත් දිස්ත්‍රික්කවලින් උදාහරණ ගත හැකිය. එහෙත් උපුටා දක්වා ඇති උදාහරණවලින් හතළිස් දහසක් සිටින කල්මුණේට මූලික රෝහල් 6ක් ස්ථාපිත කිරීමේ විෂමතාව ඉඳුරාම ප්‍රත්‍යක්‍ෂ වේ. මෙතරම් විෂමතාවක් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට අදාළව පැවැතිය හැකිද යන්න ද විමසිය යුතුය. අප ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වූ වැඩබලන සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා ප්‍රකාශ කර තිබුණේ යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ ප්‍රහාරවලින් තුවාල ලැබූ හමුදා සෙබළුන්ට හා සාමාන්‍ය ජනතාවට ප්‍රතිකාර කිරිමේ අරමුෙණන් නැගෙනහිර පළාතේ රෝහල් සංවර්ධනය කෙරුණු බවය. ඔහු තවත් හේතු දක්වා තිබිණි.

කල්මුණේ ප්‍රදේශයට මූලික රෝහල් 6ක් ලැබීමට ආසන්න හේතුව යුද්ධයවී නම් මෙරට වැඩිම රෝහල් ප්‍රමාණයක් ස්ථාපිතවී තිබිය යුත්තේ උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේත්, උතුරුමැද පළාතේත්ය. එහෙයින් යුද සාධකය ඉදිරිපිටට දැමීම විෂමතාව වසන් කිරීමට ගන්නා අසාර්ථක උත්සාහයකි. 

දේශපාලනය සම්බන්ධයෙන් යම් පමණක අවබෝධයක් ඇති ඕනෑම අයකු පිළිගන්නා කාරණයක් තිබේ. එනම් යම් ප්‍රදේශයක් සංවර්ධනය වන්නේ එම පළාතේ සිටින දේශපාලන බලවතාගේ ශක්තිය මත බවය.

සමහර දේශපාලනඥයෝ තමන්ගේ බළපුළුවන්කාරකම් ප්‍රසිද්ධියේම කියති. අතීතයට පමණක් නොව මෙකල ද එය එසේමය. ඇතැම් පළාත්වලට දරාගත නොහැකි තරමේ සංවර්ධන ව්‍යාපෘතිද තිබේ. ජනතාවට සෙතක් නොවන ප්‍රයෝජනයක් නොවන සංවර්ධන ව්‍යාපෘති කුමක් සඳහාද? බොහෝ ව්‍යාපෘති තම ප්‍රතිරූප නංවා ගැනීම සඳහා බවට සැකයක් නැත.

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුත්තේ කිසියම් දියුණු විද්‍යාත්මක සැලැස්මකට ප්‍රමිතියකට යටත්වය. එහෙත් අප රටේ එවැන්නක් දක්නට නැත. මේ සම්බන්ධ වගකීමක් රාජ්‍ය නිලධාරීන්ටද තිබේ. දේශපාලනඥයන්ගේ මනදොළ සැපිරීම සඳහා ඔහු සතුටුවන ආකාරයට සියල්ලටම එහෙයි නොකියා මහජනයාගේ මුදල් යොදවා මහජනයා වෙනුවෙන්ම ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති විධිමත් ලෙස සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමය, සිදු නොවන්නේත් එයම නම් රටපුරා කල්මුණේ වැනි ප්‍රදේශ බිහිවීම වැළක්විය නොහැකිය.