මැතිවරණ පුවතක් නිසා හැත්තෑව දශකයේදී මහත් ආන්ලෝදනයක් ඇති විය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ පාර්ලිමේන්තුවේ ද රැව් දුන් එම පුවත පළවූයේ එවකට ටයිම්ස් ආයතනය යටතේ ප්‍රකාශයට පත්වූ (1976 ඔක්තෝබර් 8 වැනිදා) ලංකාදීප පුවත්පතේය. මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය ලෙස මෙවර මහා මැතිවරණය එක් දිනකද? දෙදිනකද? යනුවෙන් එය පළවිය. 


මෙම පුවත පළවීමෙන් පසු එවකට (ජාතික රාජ්‍ය සභාව) පාර්ලිමේන්තුවේදී ද ඒ පිළිබඳ වාදයක් ඇතිවිය. ඒ වනවිට මැතිවරණ කොමසාරිස්වරයා වූයේ ෆීලික්ස් ඩයස් අබේසිංහ මහතාය. අවසානයේ පුවත ලියූ ලේඛකයා කොමසාරිස්ට පිළිතුරු දීමට ඔහු හමුවීමට ද ගියේය. ඒ පිළිබඳව ගාල්ල මන්ත්‍රී ඩබ්ලිව් දහනායක මහතා ද පාර්ලිමේන්තු​ෙව්දී ප්‍රශ්න කළේය. එයට පිළිතුරු දීමට එවකට හිටපු මුදල් ඇමැති හා අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාට ද සිදුවිය. 


එවකට ලංකාදීප කාර්යාලය පිහිටා තිබුණේ කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තෙවැනි මහලේය. එහි පස්වැනි මහලේ මැතිවරණ පොලිස් ලේකම් කාර්යාලය පිහිටුවා තිබිණි. එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ ඒ මහේන්ද්‍රන් නම් පොලිස් අධිකාරීවරයෙකි. ලංකාදීප කර්තෘ මණ්ඩලයේ ලේඛකයකු මැතිවරණ ආරක්ෂක කටයුතු පිළිබඳව විමසීමට එම පොලිස් අධිකාරීවරයා හමුවිය. 


මැතිවරණ කටයුතු සඳහා යොදවන පොලිස් බළඇණිය සහ එම ක්‍රියාමාර්ගවලට යොදවන පොලිස් පිරිස ගැන ඔහු විමසා සිටියේය. ඒ සඳහා ඇති වැඩපිළිවෙළ පිළිබඳව පොලිස් අධිකාරීවරයා ලේඛකයාට හෙළි කළේය. එහිදී මැතිවරණය පිළිබඳව ඒ වනවිට උද්ගත වූ ප්‍රශ්නයක් ද පොලිස් අධිකාරීවරයා අනාවරණය කළේය. 


ඒ වනවිට විමර්ශනය වෙමින් තිබූ ප්‍රශ්නයක් ලෙස මැතිවරණය එක්දිනක පවත්වනවා ද දෙදිනක පවත්වනවා ද යන්න එම ගැටලු වී තිබිණි. ඒ අනුව සකස් කළ ප්‍රවෘත්තිය පසුදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය විය. පුවත දුන් පොලිස් නිලධාරියාගේ නමද එහි සඳහන්ව තිබිණි. එදා එය පළවූ අයුරින්ම මෙසේය. 


‘ඡන්ද පොළවල් 6500කට පොලිස් මුර සුදානම් කරයි’. 


‘මෙවර මහා මැතිවරණය එක දිනකද? දෙදිනකද?’ 


මීළඟ මහමැතිවරණය එක් දිනකින් අවසන් කරනවා ද නැතිනම් දින දෙකක් පවත්වනවා ද යන ප්‍රශ්නය දැනට උද්ගතවී ඇති බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් ගෙන නැති බවත් මැතිවරණ කටයුතු පිළිබඳ විශේෂ පොලිස් ආරක්ෂක සේවයේ පොලිස් අධිකාරී ඒ. ම​හේන්ද්‍රන් මහතා ඊයේ ලංකාදීපයට කීය. 


කෙසේ හෝ මෙවර මහ මැතිවරණයේදී ඡන්ද පොළවල් 6500ක් පමණ පැවැත්වීමට කටයුතු යොදන බවත් ශ්‍රී ලංකාවේ මෙතරම් විශාල ඡන්ද පොළවල් සංඛ්‍යාවක් ඇතිව මහමැතිවරණයක් පවත්වන එකම අවස්ථාව මෙය බවත් ඒ සියලු ඡන්ද පොළවල් සඳහා පොලිස් ආරක්ෂක නිලධාරීන් පත් කිරීමේ වැඩපිළිවෙළක් දැනටමත් සකස් කරමින් පවත්නා බවත් මහේන්ද්‍රන් මහතා කියයි. 


මහ මැතිවරණයේදී සේවය කිරීම සඳහා විශේෂ ආරක්ෂක කටයුතු වෙනුවෙන් වෙනමම අංශයක් ටයිම්ස් මන්දිරයේ පස්වන මහලේ ආරම්භ කොට ඇත. 


මෙම විශේෂ මැතිවරණ ආරක්ෂක සේවාව නියෝජ්‍ය පොලිස්පති ගාමිණි ජයසිංහ මහතා භාරයේ පවතී. පොලිස් අධිකාරී මහේන්ද්‍රන් මහතා ඒ මහතාට සහය වෙයි. මෙවර පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ආසන 160ක් සඳහා මන්ත්‍රීවරුන් 168 දෙනකු තෝරා පත්කර ගැනීමට නියමිතව තිබේ. 


මැතිවරණ ආරක්ෂක කටයුතුවලදී පොලිසිය මගින් ආරක්ෂක සේවාවන් තරකළ යුතු අවස්ථාවන් ගැන දැනටමත් උපදෙස් ලැබී තිබේ. එම අංශ වෙනම දක්වා ඇත. 
1. නාමයෝජනා පත්‍ර බාරදීම 2. මැතිවරණ රැස්වීම් පවත්වන කාලය තුළ ක්‍රියා කිරීම 3. ඡන්දය පවත්වන දින 4. ඡන්ද පොළවල සිට ඡන්ද පෙට්ටි ගෙන යාම 5. ඡන්දය ගණන් කිරීම 
මේ ආදී වශයෙන් විවිධ අංශවලට පොලිස් ආරක්ෂක නිලධාරීන් 10,000ක් පමණ යෙදවීමට පොලිසිය සූදානම් වෙයි. මෙම විශේෂ ​පොලිස් අාරක්ෂක සේවය සඳහා අවශ්‍ය සියලුම කටයුතු ගැන උපදෙස් මාලාවක් අඩංගු විස්තර පොතක් සකස් කිරීමට ද මැතිවරණ විශේෂ පොලිස් සේවය සූදානම් වෙයි යනුවෙන් එහි පළවිය. 


පුවත කියවූ මැතිවරණ කොමසාරිස්වරයා එහි නම සඳහන් වූ පොලිස් නිලධාරිවරයාට තදින්ම දොස් පැවරීය. ඒ වනවිට ලංකාදීප කතුවරයා වූයේ ගුණදාස ලියනගේ මහතාය. කොමසාරිස්ගේ චෝදනාවට කලබල වූ පොලිස් අධිකාරීවරයා ද ලියනගේ මහතාට කතාකර උද්ගතවී ඇති තත්ත්වය අනාවරණය කළේය. 


එ් වනවිට එම පුවත මහත් ආන්දෝලනයක් ඇති කර තිබිණි. මේ නිසා පොලිස් අධිකාරීවරයාත් කොමසාරිස්වරයාත් හමුවන ලෙස ලියනගේ මහතා ලේඛකයාට කීවේය. ලේඛකය​ා මුලින්ම හමුවූයේ පොලිස් අධිකාරීවරයාය. පුවත පිළිබඳ කොමසාරිස්වරයා තදින්ම දොස් පවරන බැව් ඔහු ලේඛකයාට කීවේය. පුවතේ කිසියම් වරදක් තිබේ යයි කොමසාරිස් ප්‍රකාශ කරන්නේ දැයි ලේඛකයා පොලිස් අධිකාරීවරයාගෙන් විමසීය. 


‘‘වැරැද්දක් ගැන කියන්නේ නෑ. ඒ ප්‍රවෘත්තිය දුන්නේ ඇයි කියල අහනවා’’ යැයි පොලිස් අධිකාරීවරයාගේ පිළිතුර විය. 


ප්‍රවෘත්තියේ වැරැද්දක් නැත්නම් ප්‍රශ්නයක් වන්නේ නැතැයි ලේඛකයා කරුණු ඉදිරිපත් කළේය. පොලිස් අධිකාරීවරයා එය පිළිගනු ලැබීය. ලේඛකයා ඊළඟට ගියේ මැතිවරණ කොමසාරිස් අබේසිංහ මහතා හමුවීමටය. ඔහු දුටු සැණින් අබේසිංහ මහතා තවත් කෝපයට පත්විය. ලේඛකයාට තදින්ම දොස් පැවරූ ඔහු එම පුවත මහත් ආන්දෝලනයකට ලක්වී ඇති බවත් පාර්ලිමේන්තුවේ ද එය රැව්දෙන බවත් කීවේය. මින් ඉදිරියට කිසිදු මැතිවරණ පුවතක් ඔහුගෙන් නොවිමසා නොලියන ලෙස ඔහු කියා සිටියේය. එවැනි පුවත් නිසා ඔහු දැඩි අපහසුතාවයට පත්වන බවද අබේසිංහ මහතාගේ මතය විය. ප්‍රශ්නය එයින් සමථයකට පත්වූ බැව් ලේඛකයා ගුණදාස ලියනගේ මහතාට දැන්වීය. 


මේ අතර එම පුවත කියවූ එවකට ගාල්ල මන්ත්‍රී ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා ද ඒ පිළිබඳව ප්‍රකාශයක් කළේය. එක් දිනකදී මැතිවරණයක් පැවැත්වීම ආරම්භ කළේ ඔහු යයි දහනායක මහතා කීවේය. 1976 ඔක්තෝබර් 13 වැනිදා ලංකාදීප ය එම පුවත පළකර තිබූ අයුරින් මෙසේය. 


‘එක්දින මැතිවරණය පටන් ගත්තේ මම’ දහනායක කියයි. 


මහා මැතිවරණය එක් දිනකදී පැවැත්වීමේ ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ තමා විසින් බවත් එම ක්‍රමයෙන් පිට පැන මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බලවත් පහරක් බවත් ගාල්ල මන්ත්‍රී ආචාර්ය විජයානන්ද දහනායක මහතා ප්‍රකාශ කරයි. 


මෙවර මැතිවරණ එක් දිනකද? දෙදිනකද? යන සිරස්තලයෙන් පසුගියදා ලංකාදීපයේ පළවූ ප්‍රවෘත්තිය පිළිබඳව කර ඇති එම ප්‍රකාශනයෙහි ගාල්ල මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කරයි. 


‘මෙවර මැතිවරණ එක දිනකද දෙදිනක ද, යන සිරස්තලය යටතේ ඔබ පුවත්පතේ පළවූ වාර්තාව කියවා මම තුෂ්නිම්භූත වීමි. දෙදිනකදී මැතිවරණය පැවැත්වුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයට උසුලන්නට බැරි පහරක් වෙනවා ඇත. එක්දින මැතිවරණය ශ්‍රී ලංකාවට දුන්නේ වෙන කිසිවකු නොව මමයි. 1959-60 කාලයේදී භාරකාර අගමැති වශයෙන් සිටි අවධියේදී මගේ නියමය අනුව එක දිනෙක මහා මැතිවරණය පවත්වන ලදී. ඒ ශ්‍රී ලංකාවේ එක්දින මැතිවරණයක් පැවැත්වූ පළමු වතාව විය. 


මැතිවරණ කොමසාරිස්වරයාට එක දිනකදී මැතිවරණ පවත්වන ලෙස මවිසින් අණ කරන ලද්දේ අන්‍ය අයෙකුගේ යෝජනාවක් අනුව නොව මගේ තනි මතය උඩයි. එම අවස්ථාවේදී එක් දවසක් තුළදී මහ මැතිවරණයක් පැවැත්වීමට බාධා රාශියක් තිබිණි. 


ඉන් එකක් නම් කලින් තිබූ මැතිවරණ කොට්ඨාස 100-150 දක්වා වැඩිවීමයි. ඊට පෙර තිබූ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාස 100ක ඡන්දය විමසුවේ දින කීපයකදීය. නමුත් මගේ අණ අනුව මැතිවරණ කොට්ඨාස 150ට එක් දිනක ඡන්දය විමසීමට තීරණය කළා. ඒ අවස්ථාවේදී තිබුණ දෙවන බාධාව නම් පළමු වතාවට රජයේ සේවකයන්ට තැපැල් මගින් ඡන්දය පාවිච්චි කිරීමට ඉඩ සලසා දීමයි. 


ඒ කරුණටත් විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය වූවා. තුන්වන බාධාව නම් ඡන්ද පොළවල්වලට අවශ්‍ය නිලධාරීන් සහ රැකවරණ මුළු දිවයිනේම එක් දිනකදී සපයා දීමයි. මේ සියලුම දුෂ්කරතා මඟහරවා ගෙන එක් දින මැතිවරණයක් ලබාදීමෙන් ජයග්‍රහණයක් ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදයටයි’ යනුවෙන් එහි සඳහන් විය. 


දෙමසක් පමණ ගතවිය. එම මැතිවරණය සඳහා කොපමණ ඡන්දදායකයන් පිරිසක් සිටින්නේද යන්න විමසීමට එම ලේඛකයාට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු මැතිවරණ කොමසාරිස්වරයා ඇමැතීමට උත්සාහ ගත්තේය. එහෙත් ඒ වනවිට කොමසාරිස්වරයා විදේශ ගතව සිටියේය. එහි උසස් නිලධාරියකු ලේඛකයාට අවශ්‍ය තොරතුරු ලබාදීමට ඉදිරිපත් විය. 


ඔහු කියා සිටියේ මැතිවරණය ඉක්මන් වුවහොත් ඒ වනවිට වයස සම්පූර්ණ වී සිටින විශාල පිරිසකට ඡන්දය අහිමි වන බවය. එයට හේතුවී තිබුණේ වයස සම්පූර්ණ වූ එම පිරිසගේ නම් ලැයිස්තු ප්‍රාදේශීය මට්ටමෙන් මැතිවරණ දෙපාර්තමේන්තු වෙත ලැබී නොමැති වීමය. 


ඒ අනුව එම ලේඛකයා සකස් කළ වාර්තාවක් ‘මැතිවරණය ඉක්මන් වුණොත් විශාල පිරිසකට ඡන්ද අහිමියි’ යනුවෙන් ප්‍රධාන පුවත යටතේ 1976 දෙසැම්බර් 03 වැනිදා ලංකාදීප පුවත්පතේ පළ කරනු ලැබීය. 


එය පළ වූයේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළ බැව් සඳහන් කරමිනි. 


එය පළවී දින කීපයකට පසු විදේශ ගතව සිටි කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණියේය. පළවී තිබූ එම පුවත ද දුටු අබේසිංහ මහතා නැවතත් කෝපයට පත්විය. මෙවැනි පුවත් නිසා තමා බලවත් අසීරුතාවට පත්වන බැව් කියමින් එවරද ඔහු කතුවරයාට චෝදනා කරන්නට විය. පුවත පිළිබඳව කිව යුතු කිසියම් දෙයක් ඇත්නම් ලිඛිතව එවන ලෙස ලියනගේ මහතා කොමසාරිස්වරයාට කීය. 


එයට පිළිතුරු ලිපියක් ලියා එවීමට කොමසාරිස් කටයුතු කළේය. කොමසාරිස්වරයා ඒ මගින් කියා සිටියේ තමා ඒ පිළිබඳව දෙපාර්තමේන්තු නිලධාරීගෙන් විමසූ බවත් දෙපාර්තමේන්තුවේ කිසිදු උසස් නිලධාරියකු ලේඛකයා සමඟ කතා නොකළ බවත් ඔහු අවධාරණය කළ බවය. පුවතේ කිසිදු වැරැද්දක් ඔහු හෙළි නොකළේය. කොමසාරිස්වරයා කර්තෘවරයා වෙත එවූ ලිපියත් කතුවරයා ලියූ සටහනත් ඒ අයුරින්ම මෙසේය. ‘ඡන්ද කොමසාරිස් තතු පහදයි’ යනුවෙන් එය පළ කරනු ලැබීය. 


“(දෙසැම්බර් 03 වැනිදා) ලංකාදීප පුවත්පතෙහි මුල් පිටුවේ මැතිවරණය ඉක්මන් වුණොත් විශාල පිරිසකට ඡන්දය අහිමියි යන මැයෙන් පළවී ඇති ප්‍රවෘත්තිය හා සම්බන්ධවයි. 
මෙම ප්‍රවෘත්තියේ මුල් කොටස මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට කී බවත් එහි සඳහන් වෙනත් මෙම කාර්යාලයේ කිසිම උසස් නිලධාරියෙක් ඔබේ වාර්තාකරුවන්ට මෙම තොරතුරු සපයා හෝ මේ සම්බන්ධයෙන් ඔවුන් සමඟ කතාකර හෝ නොමැති බව මෙම ප්‍රවෘත්තිය දුටු සැණින් මා කළ විමසීම්වලින් දැන ගතිමි. මා ද ශ්‍රී ලංකාවෙන් බැහැරව සිට ආපසු පැමිණියේ මේ නොබෝදා වන අතර මා ඔබේ කිසිම වාර්තාකරුවෙකු තවම හමුවී නැත. ඡන්දහිමි නාමලේඛන පිළියෙල කරනු ලබන්නේ තත්කාලයේ වලංගුව පවත්නා නෛතික විධිවිධාන අනුවය. 


මීළඟ මහමැතිවරණය පැවැත්වෙන්නේ එක් දිනකද? දෙදිනකද? යනුවෙන් මෙම ප්‍රවෘත්තියේ අග කොටස සම්බන්ධයෙන් පැවසිය යුතුව ඇත්තේ 1976 ඔක්තෝබර් මස 8 වැනි දින ඔබ පුවත්පතේ ඔබේ වාර්තාකාර තිස්ස ජයවර්ධන මහතා විසින් සපයන ලද මේ හා සමාන ප්‍රවෘත්තියක් හේතු කොටගෙන මෑතදී ගාල්ල මහජන මන්ත්‍රී ආචාර්ය දහනායක විසින් ජාතික රාජ්‍ය සභාවේදී මෙම කරුණ මතුකළ අවස්ථාවේ මුදල් ඇමැති හා අධිකරණ ඇමැති ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායක මහතා එකෙණෙහිම මේ පිළිබඳ නියම තත්ත්වය ජාතික රාජ්‍ය සභාවට පැහැදිලි කරදී ඇති බවය”. 


එයට පිළිතුරු ලෙස කතුවරයා ඉදිරිපත් කළ සටහන මෙසේය. 


කර්තෘගේ සටහන 


“මැතිවරණ කොමසාරිස් ඩයස් අබේසිංහ මහතා පුවත්පත් සමඟ ඉතා සුහද සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කරන නිලධාරියකු නිසා ඒ මහතා සමඟ අනවශ්‍ය වාද විවාද කිරීමට අපි බලාපොරොත්තු නොවෙමු. එහෙත් කාරණා දෙකක් සම්බන්ධයෙන් අපේ අදහස් ද පළ කළ යුතුව ඇත.


1. අපේ වාර්තාකරුට අවශ්‍ය වූයේ මැතිවරණ කොමසාරිස් ඩයස් අබේසිංහ මහතාට කතා කිරීමයි. එහෙත් ඔහු කතා කරන අවස්ථාවේ ඩයස් අබේසිංහ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ නැත. අපේ වාර්තාකරුට අවශ්‍ය විස්තර සපයාදීමට වෙනත් නිලධාරියෙක් කැමති විය. ඔහු දුන් තොරතුරු අපි පත්‍රයේ පළ කළෙමු. එම නිලධාරියා ‘උසස් ද පහත් ද’ යන්න නිගමනය කිරීම අපට අපහසු දෙයකි. මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ‘ලංකාදීප’යට විස්තර කී බව නම් සම්පූර්ණ සත්‍යයකි. 


කෙසේ හෝ වේවා ලංකාදීපයේ පළවූ වාර්තාව වැරදි බවක් කොමසාරිස්තුමාගේ ලියුමේ සඳහන්ව නැත. ප්‍රශ්නය වී ඇත්තේ උසස් නිලධාරියා ගැන පමණකි. 


 2. ගාල්ල මන්ත්‍රී ආචාර්ය විජයානන්ද දහනායක මහතා ජාතික රාජ්‍ය සභාවේදී මැතිවරණ ප්‍රශ්නය මතුකළ අවස්ථාවේදී මුදල් හා අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා පැහැදිලි කර දුන් ‘නියම තත්ත්වය’ පැහැදිලි ලෙස සඳහන් කළේ නම් පාඨකභවතුන්ට වඩාත් ප්‍රයෝජනවත් වන්නට තිබිණි යනුවෙන් පත්‍රයේ පළ කළේය. 

 

 

තිස්ස ජයවර්ධන