ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


පියදාස අති පණ්ඩිතයෙකි. නිසි අධ්‍යාපනයක් නොලද හෙතෙම තමා තරම් උගතෙක්, බුද්ධිමතෙක් නැතැයි සිතා සිටින්නෙකි. නොදන්නා දෙයක් නැත. කළ නොහැකි දෙයක් නැතැයි සිතා නන්දොඩවයි. කතා කරන විට තම මතය තහවුරු කිරීමට උත්සාහ ගනී. ඔහුගේ නූගත්කම මෝඩකම කොතෙක් දැයි වැටහෙන්නේ ඊට සවන් දුන් බුද්ධිමතුන්ටය.   


යතුරු පැදියේ නැගී එහෙ මෙහ යන්නේ වීරයෙකු පරිද්දෙනි. ඔහු හේනට යන පාර අසල නිවසක සිටින සුනඛයෙකු යතුරු පැදියේ හඬ හොඳට හඳුනයි. ශබ්දය ඇසුණු විගස පාරට දිව එන සුනඛයා බුරමින් යතුරු පැදිය පසුපස බෙහෝ දුර එළවා යයි. එහි විශේෂයක් වන්නේ වෙනත් යතුරු පැදිකරුවන් පසුපස එසේ එළවා ගෙන නොයාමයි. දිනක් මෙසේ එළවා ගෙන පැමිණි බල්ලාට වේගවත් පා පහරක් එල්ල කළේය. එහෙත් ඉන් බල්ලාගේ චරියාව වෙනස් නොවීය. බල්ලාගේ ​ෙකා්පය තවත් උග්‍ර වූ නිසාදෝ හඹා යාම තවත් වැඩි විය.   


පියදාස නිවැසියන් සමග පටලැවිනි. වචන හුවමාරුව නතර වූයේ එහෙනම් උඹලට බල්ල පාරට එන එක නවත්වන්න බැහැ. හොඳයි මං බලා ගන්නම් කියා එතැනින් මාරු වී යාමෙනි.   


පියදාස වැව ළඟ මාළුවෙළෙන්දාගෙන් මිරිදිය මසුන් ඇමිණූ මාළු වැලක් මිලට ගත්තේය. පොල් ඉරටුවේ අමුණා තිබූ මාළුන්ගෙන් එක් මාළුවෙක් මුදා ගත්තේය. මාළුවාගේ බඩ පළා බෑගයේ තිබූ කෘමි නාශක (පණු කැට) මාළුවාගේ උදරයට ඇතුළු කළේය. එය අතින් එල්ලා ගෙන යතුරු පැදියේ නැගී යන්ට ගියේය. වෙනදා මෙන් බල්ලා බුරාගෙන ආවේය. මාළුවා බිම අතහැරියේය. මාළුවා කටින් ගත් බල්ලා දිව ගියේය. ටික දිනක් ඒ මගින් නොගියේය.   


සිද්ධියෙන් සතියකට පමණ පසු පියදාස පුරුදු මාර්ගයේ එමින් සිටියේය. එවිට බල්ලා බුරා ගෙන නොපැමිණියේය. පොලු මුගුරු රැගත් පිරිසක් පියදාස පසු පස එළවා එනු පෙනුනි. බල්ලට වස දීලා මරාපු වසලයා තෝ අද බාවනවා. ඔවුන්ගේ රළු වදන් පියදාසගේ සවන් පත්හි යවුල් සේ ගැටුණි. යතුරු පැදියේ වේගය වැඩි කළ ඔහු එතැනින් වහා නික්ම ගියේය.   
කාලය ගෙවී ගියෙය්. දිනක් සැඳෑ කාලයේ වත්ත පහළ සිට පියදාස නිවස වෙත එමින් සිටියේය. පසුපසින් බලු පැටියෙක් එයි. පියදාසගේ පාදයක් ලෙව කෑවේය. එම පාදයෙන්ම බලු පැටියාට පහරක් ගැසීය. ඉන් පාදයේ සුළු සීරීමක් විය. පුරුදු පරිදි රාත්‍රිය ගෙවී ගියේය. තවත් දින දෙක තුනකට පසු උණ සෑදිනි. ඇඟේ පතේ අමාරුව රිදුම් දීම බලවත් විය. බිරිඳගේ පෙරැත්තය නිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ගෙදර පැමිණි​ෙය්ය. එහෙත් ඉන් සුවයක් නොලදින් රෝහලේ නතර විය. වෛද්‍යවරු විවිධ පරීක්ෂණ සිදු කළහ. අන් රෝගීන්ගෙන් වෙන් කර වෙනම කාමරයක රැඳවීය. ඔහු බලන්නට යාම අන් අයට තහනම් කළේය. රෝගය උග්‍ර වූ පියදාස සදහටම නෙත් පියා ගත්තේය. ඔහුට ජලභීතිකා රෝගය වැළඳී තිබූ නිසා අවසන් කටයුතු සිදුකළ යුතු ආරක්ෂිත ක්‍රමයන් ගැන ද ඥාතීන් දැනුම්වත් කිරීමට වෛද්‍යවරු උත්සුක වූහ.   


කළ පව්කම් මොලොවදීම සනාථ කරමින් බල්ලෙකු මැරූ පියදාස බල්ලෙකු නිසා එසේ මරණයට පත් විය.   

 



අංගොඩ කුඩාබුත්ගමුව එම්. ඒ. සෝමසිරි මහතා ලියා එවූ කතාවකි මේ.   

සතුනට වද හිංසා කොට වද විඳ මියයයි


බස්නාහාර පළාතට අයත් ප්‍රදේශයක වාසය කළ ඔහු විදුලි කාර්මික ශිල්පියෙකි. හෙතෙම රුවන් නමින් හඳුන්වමු. එතෙර රැකියාවක යෙදී තම පස් අවුරුදු සේවා කාලය නිම කළ රුවන් යළි මව්බිම වෙත පැමිණියේ අතමිට සරු පුද්ගලයෙකු වශයෙනි. තමාගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම ඔහුගේ මූලික අරමුණ වී පැවැති අතර සැලකිය යුතු මුදලක් ද එහිදී හෙතෙම උපයාගෙන තිබිණි.   


බස් රථයක් මිලදී ගනු ලැබුවේ ඒ අනුවය. මගී ප්‍රවාහනය උදෙසා එය යොදවන ලද අතර මව්පිය දෙපළ ඇතුළු හිතවත් සැමගේ ආශිර්වාදය ද ඒ සඳහා ලැබිණ. රුවන් එය කෙතරම් සාර්ථකව පවත්වාගෙන ගියාද කියතොත් වසර කිහිපයක් ගත වීමට ද මත්තෙන් බස් රථ තුනකම හිමිකරුවා බවට පත්වූයේය.   


එසේම අසල්වැසියනට ද උදව් උපකාර කිරීමට මැළි නොවූ අතර සුපුරුදු නිරහංකාර ගති පැවතුම් නොවෙනස්ව එලෙසම ඔහු තුළ තිබිණි. අමුත්තක් නොමැතිවම කාලය ඉදිරියට ඇදී ගියේය. එතෙරදී දැන හඳුනා ගත් ශ්‍රී ලාංකික මිතුරෙකු දිනක් හදිසියේ ඔහු සොයා ආවේය. ඒ තෑගි බෝග ආදිය ද රැගෙනය. මධ්‍යසාර අඩංගු බෝතලයක් ද ඒ තුළ තිබිණ.   
මිතු දම වැඩිදියුණු කර ගැනීම පිණිස එය පානය කරමු යැයි ඔහු යෝජනා කළේය. එහෙත් රුවන් එය තරයේ ප්‍රතික්ෂේප කොට මිතුරා ට ද දොස් නැගුවේය. ආගන්තුක මිතුරා ඉන් පසුබට නොවූ අතර නැවත නැවත ද ඒ පිළිබඳව ඇවටිලි කර සිටියේය. ඔහුගේ බලපෑම් හමුවේ අසරණ වූ රුවන් අනතුරුව මධුවිත තොල ගෑමට එක් වූයේය.   


ආගන්තුක මිතුරා ඉන් නතර නොවීය. ඇතැම් දිනවලදී නාඳුනන වෙනත් තරුණයන් කැඳවාගෙන ඒමට පුරුදුව සිටියේය. එසේම ඔවුන් පිළිගැනීම පිණිස රුවන් ද සැදී පැහැදී සිටියේ සැකයකින් තොරවය. එහි ප්‍රතිඵලයක් වශයෙන් හෙතෙම කෙමෙන් කෙමෙන් සුරාවට යොමු වූයේය. තම පුතු මෙම විපතින් මුදවා ගැනීමට මව්පියන් නොගත් උත්සාහයක් නැති තරම්ය. ඔහු පිළිබඳ පැතුම් සියල්ල දෑස් අබියසදීම බොඳ වී ගියේ මව් පියන් දුකට හෙළමිනි. මත් පැනට ඇළුම් කළ රුවන් ඇතම් විට අහර නොගෙනම නින්දට පිවිසුන අතර සුනඛයන් හා බළලුන් විසින් නොයක් විට එම ආහාර ඩැහැගෙන යන අවස්ථා ද දැක ගත හැකි විය.   


දිනක් පිසීම සඳහා සූදානම් කර තිබූ මස් වර්ගයක කොටසක් සුනඛයෙකු විසින් ගිල දමන අයුරු රුවන් දුටුවේය. වහාම මුගුරක් අතට ගත් හෙතෙම ඉන් සුනඛයාට පහර දුන්නේ දැඩි කෝපයෙන් යුතුවය. ඉන් නොනැවතී පෙට්රල් ද සිරුරට දැමූ අතර මහත් වේදනාවෙන් කෑ ගසමින් එකී සුනඛයා පැන දිව්වේය.   


මෙම සිදු වීමෙන් පසුවද සුනඛයන් හා බළලුන් කිහිප දෙනෙකුටම එලෙස ප්‍රහාරයට ලක්ව කෙඳිරිලි හඬ නඟමින් ඔබ මොබ දිවයන අයුරු ඇතැම් විට දක්නට ලැබිණ. මිතුරන්ගේ සහය ද ඒ සඳහා නොඅඩුවම ලැබුණ බව අසල්වැසියන්ට ද රහසක් නොවීය. ටික කලක් ගත වූවා පමණි.   


මව්පියන් මෙයින් කැළඹීමට පත්ව ව්‍යාපාරයට අදාළ සටහන් පොත් ආදිය පරීක්ෂා කර බැලුවෝය. බස් රථවල ආදායම් ඇතැම් සේවකයන් වංචනිකව අත් පත්කරගෙන ඇති බව පැහැදිලි විය. එසේම මිතුරන් යැයි කියා ගත් පිරිස විශාල වශයෙන් ණයට මුදල් ලබා ගෙන ඇතත් ඒ කිසිවක් ආපසු ගෙවා නැති බවද වැටහිණ. මේ කරුණු පිළිබඳව ඔවුහු බෙහෙවින් කණස්සල්ලට පත්ව සිටියහ.   


එ් වන විට රුවන් උදරාබාධයකින් පෙළෙන්නට වූයේය. දෑත් උදරය මත තබාගෙන වරින් වර වේදනාවෙන් විලාප දෙන්නට ද පටන් ගත්තේය. මව්පියන් තව දුරටත් බලා ​නොසිට හෙතෙම ළඟම පිහිටි රෝහල වෙත ගෙන ගියහ.   


​ෙකාතෙක් ප්‍රතිකාර කළ නුමුදු සුවයක් නොලද අතර, වේදනාවෙහි ද අඩුවක් නොවීය. පෙර සේම වේදනාත්මකව කෑ ගසමින් සයනින් නැගිටයාමට ද තැත් කළේය. පසුව වෛද්‍යවරුන් පවසා සිටි ආකාරයටම තෙදිනක් ගත වීමට මත්තෙන් ඔහු දුක්ඛිත විලාසයෙන් මොලොව හැර ගියේය. ඒ අහිංසක මවුපියන් අසරණ භාවයට පත් කරවමිනි.   
පාප මිතුරන් ඇසුරු කොට සුරාවෙන් මත්ව අහිංසක සතුනට වධ හිංසා පැමිණවීමෙන් ඔහු විසින් අත්කර ගත්තේ මහා පාපයකි. එහෙයින් කල් නොයවාම රුවන්ට එහි විපාක විඳින්නට ලැබුණු බව එය සිදු වූ ආකාරය දෙස බලන විට පැහැදිලිව පෙනී යන්නේය.

 



දෙගුරුන්ට වද දුන් නරුම පුතෙක්  

අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවකි.   


වේදනාවන් ගැන කිය කියා කෑ ගැසීම රෝහලක සිටින රෝගීන් බොහෝ විට කරන දෙයකි. වේදනා නාශක පෙති හෝ ඉන්ජෙක්ෂන් ලබා දී රෝගියාට සහනයක් ලබා දීමත් වේදනාවට හේතුව සොයා පිළියම් කිරීමක් රෝහලකදී සිදු වෙයි.   


ගුණපාල (නියම නම නොවේ.) බඩ දනවෝ බඩ දනවෝ කියා නිතර කෑ ගැසීමත් වේදනා නාශක පෙතිවලට සහනයක් නොලැබීමත්, බඩේ දැවිල්ලට හේතුව කුමක් දැයි සොයා කළ පරීක්ෂණවලින් එයට හේතුව සොයා ගැනීමට නොහැකි වීමත් නිසා ඔහු වෛද්‍යවරුන්ට විශේෂ රෝගියෙකු විය. ආහාරයක් දුන් විට එය ගිලීමට නොහැකි වීම නිසා බටයක ආධාරයෙන් දියර ආහාර ලබා දීමට සිදු විය. ඖෂධවලින් නිදිගන්වා නොමැති සෑම විටකම ඔහු වේදනාවෙන් කෑ ගැසුවත් ඔහු සිටියේ වියරු ගතියකිනි.   


තමා වටේම යකුන් සිටින බවත් උන් තමා ආහාරයට ගැනීමට සැරසෙන බවත් කියා ඔහු නිතරම කෑ ගැසුවේය. ​ෙමය මානසික රෝගයක් විය හැකි යයි සිතා මනෝ වෛද්‍යවරයාට ද ඔහු යොමු කළ අතර එම මානසික ප්‍රතිකාරවලින් ද ඵලක් නොවීය.   


සති දෙකක් පමණ රෝහලේ සිටියදී ඔහු නිතරම සිටියේ ඖෂධවලින් නිදි ගන්වා නිහඬ කරවීමෙනි. ඔහු බැලීමටවත් කිසිවෙකු නොපැමිණි නිසා ඔහු ගැන විස්තරයක් සොයා ගැනීමට ද අපහසු විය. දිනක් ඔහු බැලීමට තරමත් වයස් ගත මහත්මයෙක් පැමිණි​යේය. පාරම්පරික වෛද්‍යරයෙකු වූ ඔහු තරමක දැන උගත්කමක් ඇත්තෙකු බවත් දැන ගැනීමට ලැබුණ නිසා ඔහු ගැන සම්පූර්ණ විස්තරයක් ලබා දෙන ලෙස මා කළ ඉල්ලීම ඔහු ඉටු කළේ ඉතා කැමැත්තෙනි.   


මම මේ ගුණපාල බලන්නම ආපු ගමනක් නොවෙයි. බෙහෙත් බඩු ටිකක් ගන්න ආපු ගමන් මේ මිනිහත් බලල යන්නයි ආවේ. මේකා ගමටම එපා වෙච්ච එකෙක්. අම්මා තාත්තත් මැරිලා පවුලක් වෙලත් නැහැ. පිට ගමකින් ආපු පවුලක් නිසා වෙන නෑදෑයෝ ගැන අපි දන්නෙත් නැහැ. ගුණපාලගේ තාත්තයි අම්මයි අපේ ගමට ආවේ පිට ගමකින්. ගමේ කැලයක් සුද්ද කරගෙන පොඩි පැලක් අටව ගෙන ගොවිතැන් බත් කරගෙනයි ජීවත් වුණේ. මිනිහට ගොවිතැන් හරි ගියා. මුළු දවසෙම හේනේ කුඹුරේ වැඩ කළා. කම්මැලි නැහැ, හොඳ මනුස්සයා. මිනිහගෙ පවුල ඒ කියන්නේ ගෑනු එක්කෙනත් මිනිහ වගේමයි. කම්මැලි නැහැ. කාටත් උදව් කරගෙන ජීවත් වුණා. මේ දෙන්නට මුලින්ම ලැබිච්ච ළමය තමයි ගුණපාල. ඊට පස්සේ ළමයි ලැබුණෙත් නැහැ. ගුණපාලයා ඉස්කෝලේ ගියෙත් නැහැ. ඉලන්දාරියෙක් වුණාවත් වැඩක් පළක් කළේ නැහැ. අම්ම තාත්තා හම්බ කරපු දේ කකා හිටියේ. ගමේ රස්තියාදු වෙවී හවසට කසිප්පු ගහන්නත් පුරුදු වුණා. දුප්පත් මිනිස්සුනේ. එච්චර හොඳට කන්නත් නැහැ. කෑම රස නැහැ කිය කියා හැමදාම අම්මට ගහනවා. මාළු අල්ලගෙන ආවේ නැත්නම් තාත්තට ගහනවා. ඒ දෙන්නා වයසට ගිහින් අබල දුබල වුණාම මූ කන්න දෙයක් දුන්නෙත් නැහැ. අහල පහල මිනිස්සු තමයි ඒ දෙන්නට කන්න අඳින්න දුන්නේ. කවුරු හරි කෑම ගෙනාවොත් මූ එ්කත් උදුරගෙන කනවා. ඉතින් ගේන කට්ටිය ඒ දෙන්නට කවල ඉවරවෙලයි යන්නේ. සමහර දාට මේ දෙන්නා බඩගින්නෙත් ඉන්නවා. ඇයි ගමේ මිනිස්සුන්ට අමතක වෙනවනේ මේ දෙන්න ගැන. මෙහෙම ඉඳලා දුක් විඳලම ඒ ජෝඩුව මැරිලා ගියා. ගුණපාලයා තාත්තාගේ කුඹුරු ඉඩකඩම් විකුණ විකුණා කෑවා. පස්සේ දවසක් ලේ වමනෙ දාලා සිහිය නැති වෙලා ගමේ මිනිස්සු ඉස්පිරිතාලෙට ගෙනැත් දැම්මා. මහ උන් දෙන්නාට දුන් වද වේදනා තමයි ඔය විඳවන්නේ. ඒ දෙන්නා අවුරුදු ගණනක්ම ජීවිතේ අවසාන කොටස ගත කළේ හැඬූ කඳුළින්, බඩගින්නේ. ඒ මදිවට මුගෙන් ගුටි කකා.   


ඒ මහතා ආගම දහම ගැනත් කළ පව් පළ දෙන හැටිත් දීර්ඝ විස්තරයක් සහිතව කියා සිටියේය. ගුණපාල බඩ දනවා කියන්නේ අම්මා තාත්තා බඩගින්නේ තිබ්බ නිසා. ඒ කියමන සත්‍ය බව මටද වැටහුණි. බඩ දැවිල්ලට ලබා දුන් කිසිදු ඖෂධයක් ඔහුට සහනයක් නොගෙනාවේ එහෙයින් විය හැකි යයි මට සිතුණි.   


දිනෙන් දින දුර්වල වූ ගුණපාල රෝහල් ගත වී මාසයකට පමණ පසු මිය ගියේය. යකුන් තමා ආහාරයට ගැනීමට බලා සිටින බව කියමින් ඔහු කෑ ගැසුවේ ඊළඟ ආත්මය පිළිබඳ ගති නිමිති පහළ වීම නිසා විය හැක. මවටත් පියාටත් හිරිහැර කරමින් කුසගින්නේ තබමින් දුක්ඛිත අවසානයක් ළඟා කර දුන් ගුණපාල ද ජීවිතය අවසන් කළේ ඊට නොදෙවෙනි අන්දමටය.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

 

සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්