වළපල්ලට ගිය රටවල්

 

මා අද හඳුන්වා දෙන්නේ දකුණු ඇමෙරිකාවේ පිහිටි කොලොම්බියා ජනරජයයි. (Republic of Colombia) විශාලත්වය අතින් ලෝකයේ 25 වැනි ස්ථානය හිමිවී ඇත්තේ මේ රටටය. ක්‍රිස්ටෝපර් කොලොම්බස් සොයාගත් රටකි. ඔහුගේ නම යොදා ඇති එකම රටය. මේ රටේ අගමැති වරයෙක් නැත. සිටිනුයේ ජනාධිපතිවරයෙකු සහ උප ජනාධිපතිවරයෙකි. එහෙයින් මෙහි ජනපති අගමැති පොරයක් නැත. ලංකාවේ නම් ජනපති අගමැති අතර ඇති පොරය මහා විහිළුවක් බවට පත්වී තිබේ.   


කොලොම්බියාව කැරිබියන් මුහුද සහ පැසිපික් සාගරයට මැදිව පිහිටා ඇත. ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගෙන හරියටම අවුරුදු 200කි. ඇමේසන් වනාන්තරයෙන් කොටසක්ද මේ රටට ඇතුළත්ය. පැනමාව වැනිසියුලාව බ්‍රසීලය ඉක්වදෝරය සහ පේරු යාබද රටවල්ය. නිතර ගිනිකඳු පිපිරීම් හා භූමිකම්පා සිදුවන රටකි. විශාලත්වය ව.කි.මී. 1141748 ක් හෙවත් ව.සැ 440831 කි. ජනාධිපති අයිවන් ඩියුක් මාර්කීස්’ය. උප ජනාධිපති මාර්ටා ලුසියා රමිරේස්ය. ජනගහණය කෝටි 5කට ආසන්නය. (4,82,58498) පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 166කි. සෙනෙට් සභාවක්ද ඇත. එහි ආසන සංඛ්‍යාව 102කි. රජය වැඩිපුරම වියදම් කරනුයේ ආරක්ෂිත කටයුතු සඳහාය. ත්‍රිවිධ හමුදා භට පිරිස් සංඛ්‍යාව ලක්ෂ 5කට වැඩිය. කෝටි 5කට ආරක්ෂාව දීමට යැයි කියා යුද අවි ගනුදෙනු වලින් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කන දේශපාළුවන් සිටින රටකි.   


බ්‍රසීලය හා මැක්සිකෝව හැරුණු විට ලතින් ඇමෙරිකානු රට වලින් ජනගහණය වැඩිම රට කොලොම්බියාවය. ලෝකයේ සරණාගතයින් වැඩි වශයෙන්ම සිටින රටවලින් මුල් තැනක් හිමි වී ඇත්තේ මේ රාජ්‍යයටය. ඇමෙරිකාවට පැන ගැනීමේ මූලික අරමුණු කොටගෙන වළ පල්ලට ගිය ලතින් ඇමෙරිකාවේ බොහෝ රටවලින් මෙහි පැමිණ සිටින සරණාගතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 49 කට වැඩිය. මුළු ලෝකයටම මත් කුඩු බෙදා හරින මූලස්ථානය මේ කියන කොලොම්බියාවයි.   


යුද්ධය වවාගෙන කෑ හැටි 

 
අගනුවර බොගෝටාය. 1933 දී බොගෝටා නගරයේ ජනගහනය ලක්ෂ තුනකි. අද එහි ජනගහනය ලක්ෂ 30 දක්වා වැඩිවී තිබේ. කොස්ටරීකා නිකරගුවා හොන්ඩුරාස් ජමෙයිකා ඩොමිනිකන් හයිටි යන රට වලින් පැමිණි අයගෙන්ද අගනුවර පිරී පවතී. ජනගහන වර්ධනය අධිකවීමද මේ රට ප්‍රපාතයට ඇදවැටීමට මූලික හේතුවක් වී තිබේ.   


ස්පාඤ්ඤයෙන් මිදුණත් තවමත් භාවිත කරනුයේ ස්පාඤ්ඤ භාෂාවයි. මේ රටේ මුළු ජනගහනයෙන් සියයට 34කට වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළේ. වසර 50ක් තිස්සේ ත්‍රස්තවාදී ගැටුම් පැවති රටකි. 1985 සිට මේ දක්වා ත්‍රස්ත ගැටුම් හේතු කොටගෙන අවතැන් වූවන්ගේ සංඛ්‍යාව මිලියන 5.9 කට වැඩිය. එනම් ලක්ෂ 59කි. එම ගැටුම් වලින් නිවාස අහිමි වූවන්ගේ සංඛ්‍යාව 6,62146 කට වැඩි බව සංඛ්‍යා ලේඛන දක්වයි. මියගිය සංඛ්‍යාව ලක්ෂ 2කට වැඩිය. කොලොම්බියාවන් පාලකයින් විසින් යුද්ධය වවා ගෙන කෑ රටකි.   
ජනගහනයෙන් එක් කෝටි විසි හත් ලක්ෂයකට වැඩි පිරිසකගේ දෛනික ආදායම ඩොලර් 2කට වඩා අඩුය. ගම්බද ප්‍රදේශ වල ලක්ෂ 70කට වැඩි පිරිසක් ඉතා දුෂ්කර දිවි ගෙවයි. නොදියුණු පළාත් 15 ඇති නිවාස වලින් සියයට 81කට පමණ විදුලිය පානීය ජලය ආදී පහසුකම් නැත. රැකියා විරහිත තරුණ තරුණියෝ ලක්ෂ 20කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ඇබ්බැහි වී සිටිති.   


අවුරුදු 8ත් 15ත් අතර දරු දැරියන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් විවිධ කම්කරු රැකියාවන්හි කඳුළු වගුරුවමින් නිරත වෙන අයුරු හද කම්පා කරවන්නකි. මෙහි ඇති අවතැන් කඳවුරුවල දුක් සුසුම් නංවමින් දිවි ගෙවන අයගෙන් සියයට 48ක් පමණ අවුරුදු 5ත් 16ත් අතර දරු දැරියන්ය. කාලයක් තිස්සේ ත්‍රස්තවාදී කල්ලි වලට බලහත්කාරයෙන් දරු දැරියන් බඳවා ගත් රටකි. මෙය සිරියාව හැරුණ විට වැඩිම අනාථයින් සිටින රාජ්‍යයයි.   


දේශපාලකයින්ගේ සූසැටමායම් හතරවරං සහ සමයං   


ෆාර්ක් නමැති ත්‍රස්ත කල්ලිය කොලොම්බියාවේ ආරම්භ කර ඇත්තේ 1964 වර්ෂයේදීය.   


එම ත්‍රස්ත කල්ලිය කොලොම්බියාවට කළ විනාශය අති විශාලය. 2017 ඔක්තෝම්බර් මාසයේදී මෙම ත්‍රස්තවාදී කල්ලිය මර්දනය කරනු ලැබීය. එම ත්‍රස්ත ක්‍රියා දඩමීමා කරගෙන කොලොම්බියාවේ විටින් විට බලයට පත්වූ පාලකයින් විසින් තම විරුද්ධවාදීන් මර්දනය කිරීමට නින්දිත ක්‍රියාමාර්ග රාශියක් ගෙන ඇති බව සඳහන් කළ යුතුමය. මාධ්‍ය වාර්තා දක්වන්නේ අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 1,11,000 කට අධික බවය. මේ රටේද සිටින්නේ සූසැට මායම්වල නිරත වෙමින් හතර වරං ගසමින් සමයං නටන පාලකයින්ය. 

 
ලෝකය වැනසූ කොලොම්බියාවේ කුඩු රජා   


ඇමෙරිකාවට මහා හිසරදයක් වී ඇති රට කොලොම්බියාවය. ඇමෙරිකාවේ කෝටි සංඛ්‍යාත ජනතාවගේ මොළගෙඩි අවුල් කිරීම සඳහා තවමත් වැඩිපුරම මත්ද්‍රව්‍ය ගලා යන්නේ මේ රටෙන්ය. මුළු ලෝකයේ කුඩු රජා වශයෙන් නමක් දිනාගෙන සිටියේ කොලොම්බියාවේ පබ්ලෝ එස්කොබාර්ය. (Pablo Escobar) කොලොම්බියාව ප්‍රමුඛ ලතින් ඇමෙරිකාවේ බොහෝ රටවල දේශපාලකයින්ට බලය ලබා ගැනීම සඳහා කුඩු සල්ලි පොම්ප කළේ ඔහුය. කොකේන් ප්‍රමුඛ මත්ද්‍රව්‍ය වලින් ඔහු දිනකට ලැබූ ආදායම ඩොලර් මිලියන 70කට වැඩිය.   


ඔහු කොලොම්බියාවේ පාලකයින් අල්ලේ නැටවූයේ මත්කුඩු සල්ලි වලිනි. තමාට එරෙහි නඩු විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් 19 දෙනෙකු ඝාතනය කළත් පාලකයින් ඔහු රැක ගත්තේ ඉතා නින්දා සහගත අයුරිනි. කොලොම්බියාවේ හිටපු ජනාධිපතිවරුන් වූ අල්පොන්සෝ එල්. මිචෙල්සන් අර්නේස්ටෝ සම්පර් සහ ඇල්වරෝ උරිබ් මේ කුඩු රජාට අතදුන් අයුරු ලොවට හෙළිකළේ අභීත මාධ්‍ය වේදිනියක් වූ වර්ජිනියා වැලෙජෝය. (Virginia Vallejo) ඇයට මරණ තර්ජන එල්ල වීම නිසා 2010 ජුනි 3 දා ඇමෙරිකාව ඇයට දේශපාලන රැකවරණය ලබා දුන්නේය. මේ කුඩු රජා 1989 දී කොලොම්බියාවේ ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ ලුවිස් කාර්ලෝස් ගැලන් ඝාතනය කළේය. එම ජනාධිපති අපේක්ෂකයා රටේ මත්ද්‍රව්‍ය උවදුර සහමුලින් තුරන් කරන බව ජනතාවට පොරොන්දු වීම ඊට මූලික හේතුවයි. වළපල්ලට ගිය කොලොම්බියාව පිළිබඳ ලිපියට මේ කෙටි විස්තරය ඇතුළත් කළේ ලෝකයේ විවිධ රටවල දේශපාලනය සහ දේශයන් විනාශ කරන කුඩු ජාවාරම එකට බැඳී ඇති අයුරු පෙන්වා දීමටය.   


ජනතාවට කොකා පෙන්වන කොලොම්බියාවේ නීතිය   


වසර කීපයකට පෙර ලෝකයේ කුඩු රජා වූ පබ්ලෝ එස්කොබාර් කොලොම්බියාවේදීම මරා දමනු ලැබීය. ඔහු මියයන විට ඔහු සතුව තිබූ ධනය ඩොලර් බිලියන 58කි. ඔහු ඒ වන විට ලෝකයේ අංක එකේ පොහොසතා වී සිටියේ බොහෝ රටවල තිරිසන් පාලකයින්ගේ ආධාරයෙනි. ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අතහිත දුන් කොලොම්බියාවේ ත්‍රිිවිධ හමුදාවන්හි ඉහළම ජනරාල් හා කර්නල්වරුන් රාශියකට අවුරුදු 35ක් දක්වා සිර දඬුවම් නියම වූවත් එහි දේශපාලකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය. කොලොම්බියාවේ හැටිත් මෙහෙමය.   


ෆාර්ක් හෙවත් Revolutionary Armed Forces of Colombia නමැති ත්‍රස්ත කල්ලිය මර්දනය කරනු ලැබුවත් කොලොම්බියාවේ පාලකයින්ට එරට මත්ද්‍රව්‍ය ජාවාරම් තවමත් මර්දනය කර ගැනීමට නොහැකි වී ඇත. පාලකයින්ගේ අසාර්ථකත්වය නිසා පිරිහුණු රටකි. මෙහිද බුද්ධිමතුන් හා තරුණ තරුණියන් රට අතහැර යාම ශීඝ්‍රයෙන් සිදුවේ. ඊට හේතුව ඔවුන්ට රට තුළ සුදුසු රැකියා විරල වීමයි. මෙහි පාලකයින් රටේ ශ්‍රම බලකායට නොගැළපෙන ආකාරයෙන් ආර්ථිකය හැසිරවීම නිසා රට අරාජික වී තිබේ.   


හොරකම් කළ හිටපු ජනපති   


පාසල් ළමයින්ට ආහාර වේලක් ලබාදීම සඳහා රජය වෙන්කළ මුදල් ගසා කෑ දේශපාලකයින් පිළිබඳ මාතෘකාව කොලොම්බියා ජනාධිපතිවරණයේ ප්‍රධාන මාධ්‍ය වාර්තාවක දීර්ඝ වශයෙන් පළ වී තිබුණි. 2018 අගෝස්තු 27 දා එන්.බී.සී. (NBC) මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ කොලොම්බියාවේ බලයට පත්වූ දේශපාලකයින්ද සිදුකළ හොරකම් වලට විරෝධය පෑමක් වශයෙන් ජනපතිවරණයේදී මිලියන 25ක් පමණ වූ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවය. එරට සිටි පාලකයින් සිදු කළ ඩොලර් බිලියන 14ක් පමණවූ වංචාවන් පිළිබඳ විස්තරයක්ද ඊට ඇතුළත් විය. කොලොම්බියාවද දේශපාලකයින්ට එක නීතියකුත් පොදු ජනතාවට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන රටකි.   


2017 අප්‍රේල් 1 දා ද කොන්වසේෂන් මාධ්‍ය ජාලය මෙහි හිටපු ජනපති ජුවාන් මැනුවෙල් රජයේ මුදල් අවභාවිත කළ අයුරු විස්තරාත්මකව හෙළි කළේය. මෙහි හිටපු නීතිපති (ඇටර්නි ජනරාල්) ලුවිස් ගුස්ටාවෝ මොරෙනෝ 2017 ජුනි මස අත්අඩංගුවට ගැනීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් 3 දෙනෙකු නෙරපා හැරීම යන සිද්ධි වලින් මේ රටේ අධිකරණය දූෂණයට පත් වී ඇති අයුරු වඩාත් පැහැදිලි වේ. 2018 අගොස්තු මස ප්‍රකාශයට පත් ඇමිනස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවක සඳහන් වෙන්නේ කොලොම්බියාවේ පරිපාලන නිලධාරීන් වඩාත් දූෂිත බවය. කොලොම්බියාවේ දේශපාලකයින්ට හොරකම් කිරීමට පාර කපා දෙන්නේ “ඇතැම්” පරිපාලන නිලධාරීන්ය. 2016 සිට 2018 දක්වා මෙහි විවිධ වංචාවන්ට සම්බන්ධ පොලිස් නිලධාරීන් 2300ක් සේවයෙන් නෙරපා හරින ලදී.   


කොලොම්බියානු හිටපු ජනාධිපතිවරයා තම ප්‍රධාන ගෝලයා මාර්ගයෙන් මත්කුඩු ජාවාරම්කරුවන් ගෙන් මුදල් ලබා ගත් අයුරු විස්තරාත්මකව හෙළි කළේ නිව්​ෙ‌‌යා්ර්ක් ටයිම්ස් (New York Times) පත්‍රයයි. කොලොම්බියාවේ හිටපු ප්‍රවාහන ඇමැතිවරයා ගේබ්‍රියල් ගාර්ෂියා මොරාලෙස්ය. මහා මාර්ග ඉදිකිරීමේ ඩොලර් බිලියන 1.5 ක කොන්ත්‍රාත්තුව ඔඩ්බ්‍රෙඩ් නමැති විදේශ ආයතනයට ලබාදී ඔහු ඩොලර් මිලියන 6.5ක කොමිස් ලබාගත් අයුරු 2018 නොවැ. 17 ද එකොනොමිස්ට් වාර්තාවක පළ විය. එම කොමිස් මුදලින් භාගයක් හිටපු ජනාධිපති ජුවාන් මැනුවේගේ සාක්කුවට වැටුණු අයුරුද එම වාර්තාවෙහි සඳහන් විය. ලතින් ඇමෙරිකාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ තත්ත්වය මෙහෙමයි.   


අල්ලස් ගත් අල්ලස් ලොක්කා   


මෙහි අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ ප්‍රධානියා අලජෙන්ඩ්‍රා ලියෝන්ස් මස්කොස් කොලොම්බියා පේසෝ මිලියන 100ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට උසාවියේදී පිළිගැනීමේ පුවත 2018 අගොස්තු 17 දා මාධ්‍යන්හි පළවිය. කොලොම්බියාවේ හිටපු අගවිනිසුරු ප්‍රැන්සිස්කෝ ගෝමස් දේශපාලකයින්ට එරෙහි නඩු වාෂ්ප කිරීම සඳහා දේශපාලකයින්ගෙන් අල්ලස් ලබා ගැනීම නිසා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ද මෙම මාධ්‍ය වාර්තවාන්ට ඇතුළත් විය.   


2017 ඔක් 20 දා මාධ්‍යයන් වාර්තා කළේ කොලොම්බියාවේ දේශපාලකයින් අතර භායානකම හා දූෂිතම පුද්ගලයා හිටපු ජනාධිපති අල්වරෝ උරිබ් බවයි. 2002 සිට 2010 දක්වා ජනාධිපති ධුරය දරමින් ඔහු රටට සිදුකළ හානිය එම මාධ්‍ය වාර්තාවන්හි සඳහන් විය. 2019 ජනවාරි 12 දා හවානා ටයිම්ස් පත්‍රයේ වාර්තාවක පළ වූයේ කොලොම්බියාවේ නීතිපති නෙස්ටර් හම්බර්ටෝ මාර්ටිනෙස්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් එරට ජනතාව බොගෝටා අගනුවර උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරඹා ඇති බවය. ඔහු දේශපාලකයින් රජයේ කොන්ත්‍රාත් කරන ව්‍යාපාරිකයින් හා විදේශ කොම්පැනි සමඟ සමීප සබඳතා පවත්වමින් ඔවුන්ගෙන් පගාව ගෙන මුදල් විශුද්ධිකරණ සහ දූෂණ නඩු යටපත් කරන බව උද්ඝෝෂණකරුවන් ගේ චෝදනාවයි.   


හොරකම් කළ ජනපති මල්ලි   


ලොව බොහෝ වළපල්ලට ගිය රටවල දූෂිත දේශපාලකයින්ට හා හොරකම් කරන පගාව ගන්නා රජයේ නිලධාරීන්ට එරෙහිව මෙවැනි ජනතා පිබිදීමක් හටගෙන ඇති බව දක්නට ලැබේ. කොලොම්බියාවේ හිටපු අභ්‍යන්තර කටයුතු හා සමාජසේවා ඇමැතිවරයාට දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් වසර 6ක සිර දඬුවමක් නියම වූ විට සිදුවූ දෙයක් හොරකම් කළ කෘෂිකර්ම ඇමැති හා ප්‍රවාහන ඇමැතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ අයුරුත්, මාධ්‍යයන් හෙළි කළේය. හිටපු ජනාධිපති අල්වරෝ උර්බිගේ මල්ලී වූ සන්නියාගෝ උර්බි ප්‍රමුඛ ඔහුගේ පවුලේ ඥාතීන් පිරිස රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවමින් සිදු කළ හොරමැරකම් සම්බන්ධයෙන් 2016 වර්ෂයේදී ඔවුන් අත්අඩංගුවට ගනුලැබූවත් ඉන්පසු එම පරීක්ෂණවලට සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් නොදනී. මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඔවුන් දුටුවිට නීතියේ දෙවඟන අහක බලාගත් බවය.

 

 

 සිරී හීන්පැල්ල
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි