රයිට් සහෝදරයන් ගුවන් යානය හදන්න වසර අටකට පෙර ඉන්දීය ජාතික බාපුජි තල්පාදේ අහසට ගියා

 

 

ලොව පළමු අහස් යානය එසේත් නැතිනම් ගුවන් යානය නිර්මාණය කළේ කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතී. කවුරුත් පොදුවේ පිළිගන්නා අන්දමට, ලොව පළමු ගුවන් යානය නිර්මාණය කළේත් එය සාර්ථක ලෙස පියාසර කිරීමට සැලැස්වූයේත් රයිට් සොහොයුරන් ය. ඇමෙරිකාවේ ඔහියෝ ජනපදයේ ඩේටන්හි පදිංචි නව නිපැයුම්කරුවන් වන ඕවිල් රයිට් සහ විල්බර් රයිට් ඔවුහු ය. 1903 දෙසැම්බර් 17 වැනිදා අහසට නැඟුණු එම යානය ‘රයිට් ෆ්ලයර්’ යනුවෙන් හඳුන්වා දී ඇත.   


මිනිසා අහසින් යෑමට සිහිනෙකින්වත් නොසිතූ අවදියක අහස් යානා සහ පියාඹන වස්තූන් ගැන වාර්තාවීම සැබැවින් පුදුමයකි. රාමායණයේ සඳහන් අන්දමට, රාවණා රජුගේ ‘දඬු මොණරය’ ඒ අතරින් කැපී පෙනෙයි. රාවණාගේ දඬු මොණරය නිර්මාණයට යොදා ගත් ‘පියසැරි තාක්ෂණය’ පාදක කර ගනිමින්, රයිට් සහෝදරයන් පළමු අහස් යානය නිපදවන්න අට වසරකට පෙර, ඉන්දීය ජාතික විද්වතකු වූ ශිව්කාර් බාපුජී තල්පාදේ, අහස් යානයක් නිර්මාණය කළ බව සඳහන් වෙයි.   


ලොව පළමු අහස් යානය ඉදිකළේ ඇමෙරිකානුවන් නොවෙයි, අපේ එකෙක් යැයි ඉන්දියානුවෝ ආඩම්බරයෙන් කතා කරති. ශිව්කාර් බාපුජී තල්පාදේගේ අහස් යානා වික්‍රමය ඇතුළත් බොලිවුඩ් සිනමා නිර්මාණයක් පවා බිහිවී ඇත.   


පසුගියද‌ා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්, ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේ විද්‍යා සමුළුව පැවැත්විණි. ඉන්දියාව අනාගතයේ සඳට යෑමටත්, තවත් අඟහරු මෙහෙයුම්වල නියැළීමත් සිදු කරනු ඇතැයි මෙහිදී අගමැති මෝදි පැවැසුවේ මහත් ආඩම්බරයෙනි. මේ වනවිටත් ඉන්දියාව සඳ ගවේෂණයට පමණක් නොව, අඟහරුගේ කක්ෂයේ රැඳී සිටිමින් අඟහරු ගවේෂණයට ද යානා යවා ඇත.   


මෙම වසරේ මහ මැතිවරණයට මුහුණු දීමට සූදානමින් සිටින අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැති එම විද්‍යා සමුළුවට ඉන්දියාවේ නන්දෙසින් විද්‍යාඥයන්, විද්වතුන් පමණක් නොව ඉතිහාසඥයෝ ද සහභාගී වූහ.   


මුලින්ම නිර්මාණය වූ අහස් යානය සම්බන්ධයෙන් පමණක් නොව, රාවණාගේ අහස් යානා ගැනත්, විද්‍යාඥ අයිසැක් නිව්ටන් සහ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සොයා ගැනීම් සහ න්‍යාය අභියෝගයට ලක් කිරීමත් මෙහිදී සිදුවිය. ඒ, පුරාණ වේද ග්‍රන්ථවලින් ලබාගත් තොරතුරු ඇසුරිනි. ඒ අනුව, හින්දු මිථ්‍යා විශ්වාස සහ ආගමික කරුණු මත පදනම් වූ න්‍යායයන් ඉන්දීය විද්‍යා කොන්ග්‍රසයේ න්‍යාය පත්‍රයට වැඩි වශයෙන් ඇතුළත් වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබුණු බව ද පැවැසෙයි.   

 

තල්පාදේ

 

 


පුරාණ හින්දු ජනයා මිනිස් සෛල සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකළ බවට ලේඛන සමුළුවට ඉදිරිපත් කර තිබුණි. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ෂණ තරංග සම්බන්ධයෙන් පවතින න්‍යාය වැරැදි බව පෙන්වා දෙමින්, පුරාණ හින්දුවරුන් ඒවා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සිද්ධාන්ත පෙන්වා දී, ගුරුත්වාකර්ෂණ තරංග ‘නරේන්ද්‍ර මෝදි තරංග’ යනුවෙන් නම් කළ යුතු බව ද තමිල්නාඩු විද්‍යාඥයෝ පිරිසක් සමුළුව අමතමින් පෙන්වා දුන්හ. සමුළුවට එක්වුණු ආචාර්ය කේ.ජේ. ක්‍රිෂ්ණන් කියා සිටියේ ගුරුත්ව විකර්ෂණ බලවේග තේරුම් ගැනීමට අයිසැක් නිව්ටන් අසමත් වූ අතර අයින්ස්ටයින්ගේ නියමයන් අප සැවොම නොමඟ යැවීමට හේතුවක් වී ඇති බවය.   


හින්දු ආගමික වීර කාව්‍යයක් වන රාමායණයේ සඳහන් වන රාවණා රජුට ගුවන් යානා වර්ග 24ක් අයත්ව තිබූ බවත්, ඒවා ගොඩබැස්වීමට ලංකාව ඇතුළු ගොඩබෑමේ ගුවන් පථ ජාලයක් පැවති බවත් ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උපකුලපති ජී. නාගේෂ්වර් රාඕ පෙන්වා දුන්නේය. රාවණා ගැන වන්නේ, ඉන්දීය වීර කාව්‍යයක් වන වාල්මිකිගේ රාමායණයේය. රාවණා රජු සීතා කුමරිය පැහැරගෙන එන්නේ ‘දඬු මොණරය’ නමැති අහස් යානයෙනි. රාමායණයේ දුෂ්ටයා රාවණා වුවත්, රාවණා සහ ඔහුගේ වැසියන් ඉතා බුද්ධිමත් පිරිසක් බව පිළිගන්නා ඇතැම් ඉන්දියානු විද්වත්හු ද වෙති.   


ලොව පළමු අහස් යානය නිර්මාණය කළේ යැයි පැවැසෙන ශිව්කාර් බාපුජී තල්පාදේ උපත ලැබුවේ 1864 වසරේ බොම්බේ නුවරදීය. අද බොම්බේ හැඳින්වෙන්නේ මුම්බායි යනුවෙනි. මහාරාෂ්ට ප්‍රාන්තයට අයත් මුම්බායි ඉන්දියාවේ වෙළෙඳ අගනුවරය. ශිව්කාර් බාපුජී තල්පාදේ උගතෙකි. විද්වතෙකි. නව නිර්මාණකරුවෙකි. වේදය සහ සංස්කෘත සාහිත්‍යය ගැන පඬිවරයෙකි. ඍෂිවරුන් විසින් ලියන ලද වේදය යන්ත්‍ර, මන්ත්‍ර සහ තන්ත්‍ර (ක්‍රියා) ආදී වශයෙන් කොටස් තුනකි. වේද ග්‍රන්ථ රචනා කරනු ලැබ ඇත්තේ සංස්කෘතවලිනි.   
තල්පාදේ, ප්‍රභූ පවුලක පුතකු ලෙස උපත ලැබුවේ බොම්බේ නුවර චිරා බසාර් පළාතේය. ශ්‍රී ජැම්තෙට්ජී ජීජේබොයි ලලිත කලා පාසලෙන් අධ්‍යාපනය ගගන තාක්ෂණ විද්‍යාව සම්බන්ධයෙන් ලැබීය. තල්පාදේ සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළේය. තල්පාදේගේ ගුරුවරයා චිරංජිලාල් වර්මා ය. ඔහු සැමවිටම සිටියේ තල්පාදේ ගැන පැහැදීමකිනි. දයානන්ද් සරස්වතීගේ පුරාණ ගගන විද්‍යාව සම්බන්ධයේ ලියූ පොත්පත් පරිශීලනය කරන්නැයි වර්මාගෙන් උපදෙස් ලැබී ඇත. එපමණක් නොව, රිග්වේදයේ සඳහන් මහාරිෂී භාරද්වාජගේ ‘පුෂ්පක රථය’ පිළිබඳ සටහන් පවා හදාරා ඇත.   


රාවණා රජු සහ රාවණා රජුට අයත් ගුවන් යානා තාක්ෂණය හා වර්තමාන භෞතික විද්‍යාව සම්බන්ධයෙන් කරුණු කාරණා සලකා බලද්දී, රාවණ රජුගේ දඬු මොණර යන්ත්‍රය කැපී පෙනෙයි. ඒ බව බොහෝ සාහිත්‍යමය මූලාශ්‍රවල පමණක් නොව, ජනප්‍රවාදවල ද සඳහන් වෙයි. පුරාණ අහස් යානා, එසේත් නැතිනම් ‘විමාන’ (ඉන්දීය මිත්‍යා කථාවලට අනුව අහස් යානා) සම්බන්ධයෙන්, භාරතයේ තාක්ෂණික ග්‍රන්ථ පවා ලියවී තිබේ. එයින් එකක් වන්නේ මෙම භාරද්වාජ ඍෂිවරයා ලියන ලද ‘පුෂ්පක රථය’ වෛමානික ශාස්ත්‍රයයි.   
වෛමානික ශාස්ත්‍රයේ රාවණා ගැන සඳහනක් නැත. රාවණාට තිබුණු පියසැරි යානා හෝ දඬුමොරණ යන්ත්‍රය පුෂ්පක රථයක් බව පිළිගැනෙයි. එහි වැඩිදුරටත් සඳහන් පරිදි අහසේ ගමන් කළ වස්තූන් එසේත් නැතිනම් යානාවලට බලය ලැබෙන්නේ මන්ත්‍ර හා තන්ත්‍රවලිනි. වෛමානික ශාස්ත්‍රයේ ඉන්ජිනේරු තාක්ෂණයට සම්බන්ධ එක් කොටසක් ද ඇත. එනම්, ආලෝක ධාරා හැසිරවීමට භාවිත කරන දර්පණ නිෂ්පාදනය ගැන ඇති සඳහන් කිරීමය. ආලෝක ධාරා හැසිරවීමට විශේෂිත මිශ්‍ර ලෝහ වර්ගයක් භාවිත කළේ යැයි සඳහන් වෙයි. මෙවැනි දර්පණ වර්ග 7ක් විමාන ලෙස හැඳින්වූ යානාවලට යොදා ගත් බව පැවැසෙයි.   

 

රයිට් සහෝදරයෝ

 


තල්පාදේ පළමු අහස් යානය නිර්මාණය කළේ යැයි පැවැසෙන්නේ 1864 වසරේදීය. ඒ වනවිට ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයකි. තල්පාදේ සැමගේ උසුළු විසුළු මැද, ගැරැහුම් මැද ලොව පළමු අහස් යානය නිර්මාණය කළේය. එම යානය ‘මාරුත්සාකා’ ලෙස නම් කරන ලදී. මෙය සංස්කෘත වදන් දෙකක එකතුවකි. ‘මාරුත්’ යනු මාරුතය හෙවත් සුළඟය. මෙහිදී අහස යන්න ද යොදා ගැනීමට හැකිය. ‘සාකා’ යනු ‘මිතුරා’ ය.   


ඒ අනුව, ‘මාරුත්සාකා’ යනු ‘මාරුතයේ මිතුරා’ යන්නය. 1985 වසරේ දී මරාති බසින් මුද්‍රණය වුණු ‘කේසාරි’ පුවත්පතේ ඩී.කේ. කංජිලාල් ලිපි පළ කර ඇත. ඒ, ‘පුරාණ ඉන්දියාවේ විමාන එසේත් නැතිනම් පුරාණ ඉන්දියාවේ පියැසරි යන්ත්‍ර යන මාතෘකාව යටතේය.   


කෙසේ නමුත් අහස් යානයක් නිර්මාණය කිරීමට අවශ්‍ය තාක්ෂණය හෝ දැනුම හෝ තල්පාදේට තිබුණේ ද යන්න බොහෝ දෙනාගේ සැකයට භාජන වී ඇත. තල්පාදේගේ එක් ශිෂ්‍යයකු වූ සාතාවෙලේකාර් තැබූ සටහනක සඳහන් වෙන්නේ, තල්පාදේ නිර්මාණය කළ අහස් යානය මිනිත්තු කිහිපයක් අහසේ පියාසර කළේ එය නැරැඹීමට පැමිණ සිටි සැවොම මවිතයට පත් කරමින් කියාය. එය අඩි 1500ක් ඉහළට ගියේ යැයි ද පවසා ඇත. අඩි 1500ක් ඉහළින් පියාසර කළ එම යානය පසුව බිමට කඩා වැටී ඇතැයි ද ඉතිහාස වාර්තාවල වැඩිදුරටත් සඳහන් වී තිබේ. 2015 වසරේ තිරගත වුණු ‘හවයිසාදා’ බොලිවුඩ් සිනමා නිර්මාණයට පාදක වන්නේ තල්පාදේගේ කතාවය. එහි තල්පාදේගේ චරිතයට පණ පොවන්නේ ආයුෂ්මාන් කුරානා ය.   

 


බී.බී.සී. ඉන්දීය පුවත් සේවා සහ විකිපීඩියා ඇසුරිනි.   

 

සටහන - ලුසිත ජයමාන්න