පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමෙන්...

 

“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා එවන ලද පූර්ව දැනුම්වත් කිරීමේ ලිපිය පිළිබඳව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වැඩි අවධානයක් යොමු කර නැතැයි” හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයකු වන කීර්ති ගජනායක මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. 


ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා එවන ලද ලිපියට එවකට පොලිස්පතිවරයා යොදා ඇත්තේ “For Necessary Action’’ යන්න කිසිසේත්ම ඊට නොයෙදිය යුතු සටහනක් බව ද කීර්ති ගජනායක මහතා සිය සාක්ෂියෙන් සඳහන් කළේය. 


වර්ෂ 2003 සිට 2011 කාලය තුළදී රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතා සිය සාක්ෂියෙන් මෙසේ ද ප්‍රකාශ කළේය. 


රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයකුගේ කාර්ය භාරය වන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ලද විශේෂ තොරතුරු පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමයි. මෙම තනතුරට ජනාධිපතිවරයා සමග සෘජුව සම්බන්ධ වීමට දුරකතන පහසුකම් සපයා තිබෙනවා. එවකට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතා විසින් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත එවන ලද ලිපියේ අන්තර්ගත වූ “අයිස් ඔන්ලි” යන වදනින් අදහස් වන්නේ අතිශයින් රහසිගත තොරතුරක් කිසියම් එක් පුද්ගලයෙකුගේ දැනගැනීම සඳහා පමණක් යොමු කිරීමේදී එවැනි සටහනක් යොදනවා. එවැනි ලිපියක් ලද තැනැත්තා එහි අන්තර්ගතය අවබෝධ කරගත් පසු එය තවත් කෙනෙකුගේ අවධානයට යොමු නොවන පරිදි විනාශ කිරීම අනිවාර්යයි. 


තම සේවාකාලය තුළ ‘අයිස් ඔන්ලි’ යනුවෙන් සඳහන් කරමින් ලිපි යොමු කළේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට පමණයි. මෙහි සඳහන් “For Necessary Action’’යන්න යෙදීම තම මතයට අනුව නම් මෙවැනි වටිනා බුද්ධි තොරතුරක් ඇතුළත් ලිපියකට මෙම වදන කිසිසේත්ම නොයෙදිය යුතුයි. මේ වචනය පොලීසිය තුළ භාවිත වන ඉතාම සරල වචනයක්. මේ වචනය තුළින් බුද්ධි තොරතුර අවතක්සේරු කිරීමකට ලක්ව තිබෙනවා. මෙවැනි ක්‍රියාවක් වෙනත් ඉහළ නිලධාරියයෙක් කළා නම් ඒක අදහන්න පුළුවන්. නමුත් පොලිස්පතිවරයා වැනි ඉහළ තනතුරකින් එවැන්නක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකියි. 


කොමිසම: මෙම ලේඛනයේ ඇතුළත් ඉහත සඳහන් තොරතුරු පිළිබඳව රහසිගතව පරීක්ෂණ සිදුකරමින් පවතී යන වාක්‍යය තුළ මුල් බුද්ධි තොරතුර අවතක්සේරුවකට ලක්ව ඇද්ද? 


සාක්ෂිකරු:- මෙම ලිපිය යොමු කරන අවස්ථාව වන විටත් මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීම, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම යන සිදුවීම්වලට සහ්රාන් ප්‍රමුඛ ත්‍රස්ත කණ්ඩායම් සම්බන්ධ බවට තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය සතුව තිබුණා. ප්‍රහාරයක් පිළිබඳව විදේශ බුද්ධි සේවයකින් කළ පූර්ව දැනුම්වත් කිරීමේදී වගේම නම් පවා ඇතුළත්ව තිබියදී රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් ඔහු සතුව පැවැති තොරතුරු සහ විදේශ බුද්ධි සේවයෙන් ලද තොරතුරු තර්කානුකූලව ගළපා ඉදිරිපත් කරලා නැහැ. එවැනි තර්කානුකූල ගැළපීමක් එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් එම ලිපියේ සිදුකර තිබුණා නම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට පැහැදිලි ඉඩකඩක් පැවතුණා.  


ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමා වෙත එවකට හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවට පසුබිම් වූ තොරතුරු දැනුම්දී තිබුණද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුවන බව දැනුම් නොදීම දෝෂ සහගත කරුණක් බව දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන්නේය. 


එහිදී සාක්ෂි ලබා දුන් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා මෙසේද ප්‍රකාශ කළේය. 


රජයේ නීතිඥ:- 2019 වසරේදී ජනාධිපති ආරක්ෂක අංශයේ ඔබ දැරූ තනතුර කුමක්ද? 


සාක්ෂිකරු:- ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙසයි මා කටයුතු කළේ. 


රජයේ නීතිඥ:- ඔබගේ ප්‍රධානත්වයෙන් බුද්ධි සේවාවන් සමඟ මාසිකව විශේෂ හමුවක් පවත්වනවාද? 


සාක්ෂිකරු:- රාජ්‍ය බුද්ධි සේවාවේ සාමාජිකයන්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් ඇතුළු මෙරට ක්‍රියාත්මක වන බුද්ධි සේවාවන් සියල්ලේ නිලධාරින් ඒකාබද්ධ කරගෙන මගේ ප්‍රධානත්වයෙන් රටේ තත්ත්වය පිළිබඳ විශේෂ රැස්වීමක් පවත්වනවා. විවිධ අංශවලට සම්බන්ධව කටයුතු කරන මට අවශ්‍ය යැයි හැඟෙන නිලධාරින් එම හමුවට කැඳවිය හැකියි. ජනාධිපතිවරයා යන එන ගමන්වලදී එතුමාගේ ආරක්ෂාව තහවුරු කිරීමට බුද්ධි තොරතුරු යොදාගෙන මෙම මාසික හමුව පවත්වන්නේ. 


රජයේ නීතිඥවරයා:- මෙම හමුවට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධ කරගන්නවාද? 


සාක්ෂිකරු:- නැහැ. සමහර අවස්ථාවලදී ගුවන් සහ යුද හමුදා බුද්ධි නිලධාරින් කැඳවා සාමූහික රැස්වීම් පවත්වනවා. 


රජයේ නීතිඥ:- මෙම මාසික හමුව සම්බන්ධයෙන් ඔබ සටහනක් තබනවාද? 


සාක්ෂිකරු:- මා කරන නිර්දේශ ගැන සටහන් තැබීමක් සිදු කරනවා. 


රජයේ නීතිඥ:- 2019 ජනවාරි 23 වැනිදා ආරක්ෂක සමාලෝචන රැස්වීමක් පැවැත්වූවාද? 


සාක්ෂිකරු:- ඔව්. ආරක්ෂක සමාලෝචන රැස්වීමක් පැවැත්වූවා. 


රජයේ නීතිඥ:- එම ආරක්ෂක සමාලෝචන රැස්වීමට සම්බන්ධ වූ රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් මුස්ලිම් අන්තවාදය ගැන කරුණු දැක්වීමක් සිදු කළාද? 


සාක්ෂිකරු:- ලේඛනගත සටහන්වලට අනුව 2019 ජනවාරි 23 වැනිදා මුස්ලිම් අන්තවාදය ගැන කරුණු සටහන් කිරීමක් සිදුකර නැහැ. 


රජයේ නීතිඥ:- එම දිනය වනවිට වව්නතිව් හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීම, මාවනැල්ලේදී බුද්ධ ප්‍රතිමාවලට හානි සිදුකිරීම සහ වනාතවිල්ලුවේදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීම සම්බන්ධයෙන් කිසිදු බුද්ධි තොරතුරක් සඳහන් කර නොමැතිද? 


සාක්ෂිකරු:- එවැනි තොරතුරු ඇතුළත් කිසිදු බුද්ධි තොරතුරක් ගැන මා සමග සඳහන් කර නැහැ. 


රජයේ නීතිඥ:- පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සිදු වූ දින ජනාධිපතිවරයා ලංකාවේ සිටියාද? 


සාක්ෂිකරු:- නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුවට පෞද්ගලික සංචාරයක් ගොස් තිබුණා. මා ඒ සංචාරයට සම්බන්ධ වුණේ නැහැ. මා සිටියේ ලංකාවේ. 
කොමිසම :- ඔබට ඉදිරිපත් වූ බුද්ධි තොරතුරුවල සහරාන් හෂීම් ගැන තවමත් තොරතුරු තිබේද? 

 

 


සාක්ෂිකරු:- තොරතුරු පමණක් සඳහන් කර තිබුණත් විශේෂයෙන් ඔහු ගැන මා දැනුම්වත් කර නැහැ. 


කොමිසම :- මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විදෙස්ගත වී සිටින අවස්ථාවේ හිටපු බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඔබට දුරකතන ඇමතුමක් ලබා දුන්නාද? 
සාක්ෂිකරු:- පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් 21 වැනිදාට පෙර ඔහු මගේ ජංගම දුරකතනයට දුරකතන ඇමතුමක් ගත් බව මට මතකයි. 


කොමිසම :- දුරකතන ඇමතුම ලබාගත් නිලන්ත ජයවර්ධන ඔබ සමග මොනවා ද පැවසුවේ? 


සාක්ෂිකරු:- ජනාධිපතිවරයා කවදාද සිංගප්පූරුවේ සිට ලංකාවට පැමිණෙන්නේ කියා මගෙන් ඇහුවා. 


කොමිසම:- ජනාධිපතිවරයා රටින් පිට සිටින බව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ දැනුම්වත් වී සිටියේ නැතිද? 


සාක්ෂිකරු:- නිලන්ත ජයවර්ධන මහතා ඒ ගැන දැනගෙන හිටියා. 


කොමිසම:- ජනාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා සිංගප්පූරුවේ සිටියදී බුද්ධි අංශ මගින් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වීමට නියමිත බවට තර්ජිත බුද්ධි තොරතුරු වාර්තාවක් ඔබට ලැබුණේ නැතිද? 


සාක්ෂිකරු:- මගේ මතකයේ හැටියට රටේ තත්ත්වය ගැන වාර්තාවක් ලබා ගත්තා. එහි බෝම්බ පිපිරීම් ගැන සඳහන් වී තිබුණේ නෑ. 


කොමිසම:- ජනාධිපතිවරයා විදේශ සංචාරයක සිටියදී ඔහුව ක්ෂණිකව සම්බන්ධ කරගත හැකි ක්‍රමවේදයක් තිබෙන බව බුද්ධි අංශ ප්‍රධානියා දන්නවාද? 


සාක්ෂිකරු:- ඔව්. දන්නවා 


කොමිසම:- පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන ඔබ කිසිවක් නොදැන සිටීම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ තදබල දෝෂයක් බව ඔබ දන්නවා නේද? ඇයි ඔබට ඒ ගැන දැන ගැනීමට නොලැබුණේ? 


සාක්ෂිකරු:- බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා මට ඒ ගැන දැනුම්දීමක් කළේ නැහැ. නිලන්ත ජයවර්ධන බෝම්බ ප්‍රහාරය ගැන දැනගෙන සිටියා නම් එය මා වෙත දැනුම්දිය යුතුව තිබුණා. 
කොමිසම:- පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය ගැන දැනගනිද්දී ඔබට මොකද වුණේ. 


සාක්ෂිකරු:- මා වික්ෂිප්ත වුණා. 


කොමිසම:- ජනාධිපතිවරයාගේ සිංගප්පූරු සංචාරය මුලින් අවලංගු වී තිබුණා නේද? 


සාක්ෂිකරු:- එහෙම සිද්ධියක් වුණා. මුලින් අවලංගු වී නැවත එතුමා ඒ ගමන යෑමට තීරණය කළා. 
කොමිසම:- ඇයි එලෙස වුණේ? 


සාක්ෂිකරු:- මා හිතන විදිහට එය එතුමාගේ පෞද්ගලික හේතුවක් විය හැකියි. ඒත් ඊට හේතුව කුමක්දැයි මා දන්නේ නැහැ. 


කොමිසම :- පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන්නේ ඔබද? 


සාක්ෂිකරු:- මා තමයි දැනුම් දුන්නේ. එය ඇසූ පසු එතුමා වික්ෂිප්ත වී නිශ්ශබ්දව ටික වේලාවක් හිටියා. සිද්ධිය පිළිබඳ වැඩි විස්තර පසුව පවසන බව මා එතුමාට දැනුම් දුන්නා. තමා ආරක්ෂක ලේකම්වරයා ඇමතිය යුතු බව එතුමා මට කිව්වා. 


කොමිසම:- දකුණු පළාත තුළ දැනට මුස්ලිම් අන්තවාදී ක්‍රියා සිදුවෙනවාද? 


සාක්ෂිකරු:- හම්බන්තොට ප්‍රදේශයේ සහරාන් පුහුණු කඳවුරක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ගාල්ල සහ මාතර මුස්ලිම් ජනයා පැතිරී සිටින නිසා ඒ ප්‍රදේශ ගැන විශේෂ අවධානයෙන් සිටිනවා. මේ ළඟදී දිනක මාතර ප්‍රදේශයේ දේවස්ථානයක් අසල සැකකටයුතු ලෙස සැරිසැරූ මඩකළපුව ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත්තා. 


විනිසුරු මණ්ඩලය:- ඉස්ලාම් ආගමික තරුණයන් මුස්ලිම් අන්තවාදයට නැඹුරුවීමේ ප්‍රවණතාවක් තිබේද? 


සාක්ෂිකරු:- අපි නිරන්තරයෙන් සොයාබැලීම් කරනවා. දැනට එලෙස නැහැ. 


රාජ්‍ය බුද්ධි සේවය විසින් මෙරට තුළ ක්‍රියාත්මක අයි එස් අයි එස් මතවාද ක්‍රියාකාරකම් පිළිබඳව ජනාධිපති ආරක්ෂක අංශය දැනුම්වත් කර තිබුණද කිසිදු අවස්ථාවක ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දැනුම්වත් කිරීමක් නොකළ බව ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරී එස්.ජී. සතරසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේය. 

 


ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉකුත් 2019 පෙබරවාරි මාසයේදී තක්සේරු කිරීමේ රැස්වීමක් පැවතියේදැයි මෙහිදී කොමිසම සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය. එහිදී සහකාර පොලිස් අධිකාරී සතරසිංහ මහතා සඳහන් කළේ එම වසරේ නිදහස් උත්සවයට ප්‍රථම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් ලබා ගත් බවය. 


ඉරානය සහ ඉරාකයේ අයි එස් අයි එස් සංවිධානය පසුබෑමකට ලක්වී ඇති හෙයින් තම සාමාජිකයන් මව් රටවලට යවා ප්‍රසිද්ධ උත්සවවලට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇති බවට එම තක්සේරු වාර්තාවේදී රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් නානායක්කාර මහතා සඳහන් කර තිබූ බව සාක්ෂිකරු මෙහිදී සඳහන් කළේය. 


එසේම අයි එස් අයි එස් සංවිධානවලින් එලෙස මව්රටවල් වෙත පිටත්කර හැරි පුද්ගලයන් දෙදෙනකු මෙරටට පැමිණ ඇති බවත් ඉන් එක් අයකු වැල්ලම්පිටිය ප්‍රදේශයේත් අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේත් සිටිනා බවට එම තක්සේරු වාර්තාවේ සඳහන් වූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය. 


වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් සාක්ෂිකරු මෙසේද ප්‍රකාශ කළේය. 


එම වසරේ පෙබරවාරි මස 15 වැනිදා තවත් රැස්වීමක් තිබුණා. එයට රාජ්‍ය බුද්ධි සේවය නියෝජනය කරමින් සහභාගී වූ පොලිස් අධිකාරී ජනක සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකාව තුළ සිටි අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරීන් 28 දෙනෙක් සිරියාවට පිටව ගොස් ඇති බවත් ඉන් තිදෙනෙක් ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බවත් දැනුම් දුන්නා. ඒ වගේම මෙරට අයි එස් මතවාද දරන්නන් 100කට වැඩි පිරිසක් සිටින බවත් ඔවුන් කොළඹ, මහනුවරින් සහ මඩකලපුව යන ප්‍රදේශවල ව්‍යාප්ත වී සිටින බවත් රාජ්‍ය බුද්ධි නිලධාරියා තමන්ව දැනුම්වත් කළා. එවකට ජනාධිපතිවරාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් මස 12 වැනිදා මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේ පැවැති රට වෙනුවෙන් එකට නැගිටිමු උත්සවයට සහභාගී වීමට නියමිත තිබුණා. ඒ නිසා රාජ්‍ය බුද්ධි සේවයෙන් රහස්‍ය තොරතුරු වාර්තාවක් කැඳවූවා. 


2019 අප්‍රේල් 01 දිනැති අදාළ ලිපිය අප්‍රේල් 10 වැනිදා ජනාධිපති ආරක්ෂක අංශයට ලැබුණා. එය රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසින් යොමු කර තිබුණා. අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක තර්ජනයක් ජනාධිපතිවරයාට නොමැති බවත් එසේ වුවද අයි එස් මතවාද දරන්නන්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසට එහි සටහන්ව තිබුණා. 


එසේම කාත්තන්කුඩි ප්‍රදේශයේ ක්‍රියාත්මක ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වන සහ්රාන් මෙරට නීති පද්ධතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් අන්‍යාගමිකයින් විවේචනය කිරීමේ ප්‍රකාශ සමාජ මධ්‍ය ජාල හරහා ප්‍රචාරය කරමින් ඇති අතර ඔහුට අනුගාමිකයින් විශාල පිරිසක් ඇති බවට ද එහි සඳහන් වුණා. 


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2019 අප්‍රේල් මස 18 වැනිදා පැවැති ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තක්සේරු කිරීමේ රැස්වීමේ දී කිසියම් හෝ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරක් විදේශ බුද්ධි අංශයකින් හෝ වෙනත් ක්‍රමයකින් ලැබී තිබූ බව රාජ්‍ය බුද්ධි සේවය ඔබව දැනුම්වත් කළාද? 


සාක්ෂිකරු: එම රැස්වීම නියෝජනය කරමින් පොලිස් අධිකාරී ජනක සෙනෙවිරත්න මහතා සහභාගී වුණා. ඔහු එවැනි ප්‍රහාරයක් ගැන හෝ එවැනි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරක් පිළිබඳව දැනුම්වත් කළේ නැහැ. කෙසේ වෙතත් කාත්තන්කුඩි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහ්රාන් නමැති පුද්ගලයෙකු අන්‍යාගමිකයන් ඝාතනය කළ යුතු බවට අනුගාමිකයින් දැනුම්වත් කරමින් සිටින බවට තොරතුරක් එම රැස්වීමේදී පොලිස් අධිකාරීවරයා දැනුම් දුන්නා. 


2018 වසරේ දෙසැම්බර් මස මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම සහ 2019 වර්ෂයේ ජනවාරි මස 16 වැනිදා වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිදුවීම අතර සම්බන්ධයක් අති බවක් රජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියා මෙම රැස්වීමේදී අනාවරණය කළේ නැහැ. ඒ වගේම හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ලේකම්වරයෙක් වූ තස්ලිම් නමැත්තෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දැරීමක් හෝ කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරා යාමක් පිළිබඳව හෝ කරුණු වාර්තා කළේ නැහැ. අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය එල්ල වන බවට වූ බුද්ධි තොරතුර රාජ්‍ය බුද්ධි සේවය විසින් ජනාධිපති ආරක්ෂක අංශයට වාර්තා නොකිරීම පැහැදිලි ලෙසම ඔවුන්ගේ රාජකාරිය පැහැර හැරීමක්. එය රාජ්‍ය නායකයාගේ ජීවිතය ද අනතුරේ හෙළීමක්. 


මෙම ජනාධිපති කොමිසමේ තවදුරටත් සාක්ෂි ලබාගැනීම සිදුවන අතර අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා (සභාපති), බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු යන විනිසුරු මඩුල්ලකගෙන් එය සමන්විත වෙයි. 

 

නිමන්ති රණසිංහ