ජයන්ති ඇතා කරඬුව වැඩම වීම දළදා මාලිගාවේදි

 

  • ඒ කාලෙ පාරක් හදන්න, ඒදණ්ඩක් දාන්න යොදා ගත්තෙත් අලි

 

 

අසියාවේ දිගම දළ ඇති මිල්ලන්ගොඩ ඇතා අයත්ව සිටි මිල්ලන්ගොඩ ලොකු මහතාට අයත් ජයන්ති නමැති ඇතාද පසුගිය ජුනි 29 වැනිදා මියගියේය. මෙම ඇතාද පෙරහර මංගල්‍ය වලට සහභාගි වෙමින් කරඩුව වැඩමවා ඇති අතර මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ පෙරහැරේ කරඩුවද කිහිප අවස්ථාවක් වැඩම කර ඇත. 


මිය යන විට වයස අවුරුදු 68 ක් පමණ වූ මෙම ඇතා. වයස අවුරුදු හතරේදි දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප්‍රසිද්ධ වෙන්දේසියකදි රුපියල් 5500 ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දැනට 95 වන වියේ පසු වෙන මිල්ලන්ගොඩ අප්පුහාමි මහතා (මිල්ලන්ගොඩ ලොකු මහත්තයා) විසින් මිලදි ගෙන ඇත. මෙම ඇතා ජයන්ති නම් වන අතර පොඩි රාජා ලෙසින්ද හඳුන්වයි. 1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඇතා මිලදි ගෙන තිබු නිසා ඈතාට ජයන්ති නම යොදා ඇත. 


ජයන්ති ඇතාගේ උස අඩි 9 කට ආසන්න විය. දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසකටම පෙරහර අවස්ථාවන් වලට සහභාගි වී ඇති මෙම හස්තියා 2016 වසරේද කිහිප වතාවක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සධාතුක කරඬුව වැඩමා ඇති අතර 2017 වසරේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩමවා ඇති බව මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා පවසයි. මීට පෙර මිල්ලන්ගොඩ ලොකු මහත්මයා ළග හැදී වැඩුණු 2011 වසරේ ආගෝස්තු 07 වැනිදා මිය ගිය මිල්ලන්ගොඩ හස්තියා අසියාවේ දිගම දළ ඇති හස්තියා වන අතර ශ්‍රී දළදා කරඩුවම කිහිප විටක්ම වැඩම වීමට පිං මහිමය ලබා තිබූ හස්තියෙකි. 


“අපේ තාත්තා මේ හස්තියා වෙන්දේසියෙන් අරන් තියෙන්නේ අලියෙක් කියලා හිතලා. නමුත් සතා ක්‍රමයෙන් ලොකු මහත් වෙද්දි ඇතෙක් බවට පත් වුණා ඒක අපේ පවුලේ වාසනාවක් ” යැයිද මිල්ලන්ගොඩ මහතා පවසයි. 


මුළු ලෝකයම දැන ගත්ත අසියාවේ දිගම දළ ඇති හස්තියා අපේ මිය ගිය රාජා. අපේ පරම්පරාවෙ අය අලි ඇතුන් එදා ඉඳන් ඇති දැඩි කළා. අපේ තාත්තාගේ තාත්තා නැත්නම් සීයාගෙන් තමයි මා දන්නා තරමින් අපිට අලි ඇතුන් සම්බන්ධ වෙන්නේ. සීයාගෙන් අලි ඇතුන් පරම්පරාවට ලැබුණාට තාත්තාගේ කාලයේ මේ අලි ඇතුන් විශාල වශයෙන් අපිට ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒකට මූලිකම හේතුව මාගේ පියා මේ අලි ශාස්ත්‍ර, නිල ශාස්ත්‍ර පිළිබඳ කරපු අධ්‍යයනය නිසා ඒ මගින් ලබා ගත්ත දැනුම හේතුවෙන් අපේ පරම්පරාවට අලි ඇතුන් වැඩි වුණේ. 

 

 


ඒ කාලයේ අලින් ලබා ගන්න ක්‍රම කිහිපයක් පමණයි තිබුණේ. පළමු ක්‍රමය තමයි අලින් ඇල්ලීමට බලපත්‍ර නිකුත් කිරීම දෙවැනි ක්‍රමය තමයි අලින් වෙන්දෙසි කිරීම, මිය ගිය පොඩි ඇතා සත්ව උද්‍යාන වෙන්දෙසියෙන් එක්දහස් නවසිය පනස් ගණන් වල මිළදි ගත්ත ඇතෙක් නැතිනම් රාජ්‍ය නායකයා විසින් අලින් විහාරස්ථාන සහ දේවාල වලට පූජා කරමින් තමයි අලි ඇතුන් ලබා දීම එවකට සිදු වුණේ. 


මිල්ලන්ගොඩ පොඩි ඇතාට ගොඩාක් දෙනෙක් දන්නේ නැති වුණාට එයාට කියන්නේ ජයන්ති කියලා මේ ඇතා ගෙන ආ කාලයේ බුද්ධ ජයන්ති කාලයේ ඒ නිසා ඈතාට තාත්තා කිව්වා ජයන්ති කියලා. නමුත් මෙ ඈතා ටිකක් දඟ කෙනෙක් මිය යන තෙක්ම දඟ බව නම් තිබුණා. පස්සේ කාලයේ ටිකෙන් ටික අඩු වුණා දළදා කරඬුව වැඩම වන හස්තින් අතළොස්ස අතර කෑගල්ලේ අපේ ඇතෙකුත් ඉන්නවා කියලා අපිට මේ හස්තියා හිටපු නිසා ලොකු සතුටක් දැනුණා යැයිද ආනන්ද මිල්ලන්ගොඩ මහතා පැවසීය. 


මිය ගිය ජයන්ති ඇතා පිළිබඳව අදහස් දැක්වූ මහින්ද මිල්ලන්ගොඩ මහතා මෙසේ පැවසීය. 


මේ ඇතාගේ වයසත් එක්ක දත් වල යම් යම් අපහසුතාවන්වලට ගොදුරු වුණා. ඊට පස්සේ කෑම කෑවාට ඒවා හරියට හැපිලා ජීරණ පද්ධතියට පහසුවක් වෙන විදිහට සිදු වුණේ නැහැ. මේ දේ ඕනෑම හස්තියෙක් වයසට යන විටදි දැකිය හැකි ලක්ෂණ නමුත් අපි බලා ගෙන හිටියේ නැහැ බෙහෙත් හේත් කළා. මිය ගිය දවසට කලින් අපි ජයන්ති ඇතාට සේලයින් බෝතල් විශාල ප්‍රමාණයක් දීලා ජීවිතය බේරා ගන්න උත්සාහ කළා. සේලයින් දුන්නාට පස්සේ මෙයා නැගිටින්න උත්සාහ කළා. නමුත් ඈතා අපේ අවසානාවකට මිය ගියා. 


අපි මේ සතුන් ඉතා ආදරයෙන් රැක බලා ගන්නවා හොඳ ගුණ ධර්ම ඔවුන් සතුව තිබෙනවා. අපේ තාත්තාටත් පුදුම විදිහේ ළෙන්ගතු කමක් මේ සතාගෙන් ලැබෙනවා. මිය ගිය ආසියාවේ දිගම දළ ඇති ඇතා වන අපි ගාව හිටපු හස්තියාත් ඒ වාගේම සතෙක් කොහොම හරි මේ වන විට ලොකු අලි ඇත් පරපුරක් හිටපු අපිට දැන් ඉතිරි වේලා ඉන්නේ කුවේණි කියන ඇතින්නයි, ගල්කුලමා සහ කොට්ටාවා කියන අලින් පමණයි. දැන් ඇත්තු සේරම මිය ගියා යැයිද පැවසීය. මිය ගිය ජයන්ති හස්තියාගේ අවසන් කටයුතු මහා සංඝරත්නයේ ආගමික කටයුතු වලින් පසුව සිදු කිරීමට 30 වැනිදා කටයුතු කරන බවද අප සමග පැවසීය. 
අලි ඇතුන් කිහිප දෙනෙකුටම උරුමකම් කියන මෙම නිවසේ ප්‍රධානියා හඳුන්වන්නේ 


මිල්ලන්ගොඩ අප්පුහාමි යන නාමයෙන්. දැනට 97 වියේ පසු වෙන ඒ මහතා උපන් වර්ෂය 1923 වසර ලෙස සඳහන්ය. දසක නවයකටත් වඩා දිගු ඉතිහාසයක් ඇති ඔහුට අලි ඇතුන් පිළිබඳ මතකයන් රැසකි. 


“ මාගේ අම්මා සේනානායක රාළලාගේ ඩිංගිරි, පියා මිල්ලන්ගොඩ කපුරාළලාගේ මුදියන්සේ මාගේ බිරිඳ අනුලා පොඩි මැණිකේ ඇය අවුරුදු 85 ක් පමණ ඉඳලා මිය ගියා. අපේ උපන් ගම මිල්ලන්ගොඩ ඒ දවස් වල මම ගියේ අරණායක පැත්තේ ගල් අතර තිබුණු පුංචි ඉස්කෝලයකට අපේ ගම පිහිටියේ මිල්ලන්ගොඩ ඉඳලා සැතපුම් තුනක් හතරක් දුරින් තමයි ඉස්කෝලේ තියෙන්නේ ඒ කාලේ ගම්බද පාසල් වැඩිපුර තිබුණේ නැහැ. මමත් ඉගෙන ගත්තේ 8 වසරට. අපිට පරම්පරා තුන හතරක ඉඳන් අලි ඉන්නවා. මම ඉපදෙනකොටත් අපේ ගෙදර අලි ඇතුන් සෑහෙන්න හිටියා. මම ඉපදුණු දවසෙත් අලියෙක් අරන් තිබුණා. මාගේ මතකයේ හැටියට ඌට ඒ දවසේ නම තියලා තිබුණේ රජා කියලා. ” 


“ඉස්සර අද වාගේ වාහන තිබුණේ නැහැ. යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහැ. ගමන් බිමන් ගියේ බඩු ඇද්දේ, ගං වල බොහෝමයක් කටයුතු කළේ අලින් ලවා. ඇළකින් එගොඩ වෙන්න ඒ දණ්ඩක් ඕනෑ වෙනකොට ඒකට ඒ දණ්ඩක් විදිහට ලොකු කොටයක් දාලා දෙන්නේ අලින් ලවා. ඒ වාගේම වතුර කඩක්කරයක් ළඟින් එතෙර වෙන්න ගල් පතුරක් දාලා මිනිස්සුන්ට යන්න හදලා දෙන්නේ අලියාගේ උදව්වෙන් මනුෂයකුගේ ගෙයක් දොරක් හදන්න, කුඹුරක් අස්සද්දලා ගල් වැටි අල්ලන්න, හේනක වැඩකට, පන්සල්වල වැඩ, මඟුල් ගෙවල් වල වැඩවලට පවා අලින්ගෙන් වැඩ ගත්තා. අද අපේ මහ ගෙදරට යන පාර වාගේම මිල්ලන්ගොඩ ප්‍රධාන පාරත් ඒ දවස් වල අපේ අලි දාපු ගල් වැටි නිසා අදත් කරදරයක් නැතිව වාහන යනවා. නමුත් මේ කිසි වැඩක් කළේ සල්ලි වලට නෙවෙයි. 


අපේ තාත්තා සමහර වේලාවට අපිට ඇහිලා තියනවා මිනිස්සුට කියනවා අලින්ගෙන් වැඩ ගත්තාහම එයලා “මොනවාද ලොකු මහත්තයා ගෙනත් දෙන්නේ” කියපුවාහම තාත්තා කියනවා අලියාට දම්වැලක් ගෙනත් දෙන්න කියලා. සමහර අයගේ වැඩ කටයුතු කරපුවාහම බත් පෙට්ටියක් ගෙනත් දෙනවා. ඇත්ගොව්වාටත් කෑමෙන් බිමෙන් හොඳට සලකනවා. සමහර ඇත්ගොව්වන්ට සමහර ගම් වල වැඩට අලි අරන් ගියාම ලොකු රා මුට්ටියක් ගෙනත් දෙනවාලු. 
නමුත් ඉස්සර ගොඩාක් වේලාවට සල්ලි වලට අලි වැඩ කළේ නැති වුනත් සමහර අවස්ථා වල මට මතකයි මිනිස්සු අපේ අලි රුපියල් 2 කටත් අරන් ගිහින් වැඩ ගත්තා යැයි මිල්ලන්ගොඩ ලොකු මහතා කීවේය. එතුමන් තම කතා බහෙදි අපූරු කථාවක් අප සමග කීවේය. 


මට මතකයි එක දවසක් මාගේ කකුලේ තුවාලයක් හැදිලා මම අලියා පිට නැගලා අරණායක රෝහලට බෙහෙත් දාන්න සුමාන ගණනක් ගියපු හැටි. අපේ මහ ගෙවල් තිබුණ බතලේගල පාමුලින් ගැවිලිපිටිය හරහා ඉස්පිරිතාලේට අලියාගේ කර පිටින් යනවා. ඉතින් මේ යන කොට සමහර මිනිස්සු මේක පුදුමයෙන් වාගේ බලා ඉන්නවා. 


පොඩි ළමයි අලියෙක් එනවා දකින කොට පාර අද්දරට වෙලා මග බලාගෙන ඉන්නවා මට මතකයි නැවත බෙහෙත් දාලා අලියා එක්ක යනකනුත් එයාලා බලා ඉන්නවා. ඒ කාලේ වප් මඟුල් කරනවා කියලා උත්සව පවත්වනවා මෙ හැම දෙයකට අලියා සංකේතවත් වුණා. ඒ නිසා ගමේ ගොඩේ කටයුතු බොහෝමයක් සිදු වුණේ අලියාගේ උපකාරයෙන්.

 

ජායාරූප හා සටහන මාවනැල්ල හෙම්මාතගම සමන් විජය බණ්ඩාර