අභියෝග ජයගත් මිනිස්සු

ටෙස්ටා බේක්හවුස් අධිපති ටී.ඒ.ඩී. රංජිත්'

 

දියණිය බිරිඳ සහ පුතු සමග රංජිත්

 

 

‘‘එදා මේ රටේ පැවැති ත්‍රස්තවාදී යුද්ධය නිමාවූ දවසයි. එවකට සිටි ආරක්‍ෂක ලේකම්තුමා මට කතා කළා. එතුමාගේ සංකල්පයකට අනුව වහාම ක්‍රියාත්මක වූ මම එදා යුද්ධය නිම වූ විගස උතුරට ගියා. යුද්ධය නිමවූ පසු උතුරට ගිය පළමු සිංහල ව්‍යාපාරිකයා මා කිව්වොත් එය නිවැරදියි.   


එදා නන්දිකඩාල් කළපුවේ හිරවෙලා හිටපු අහිංසක ජනතාව අපේ වී​ෙරා්දාර හමුදාව බේරා ගෙන එළියට ගනිමින් සිටියේ. ඒ ජනතාවට කෑමට - බීමට දෙයක් තිබුණෙ නැහැ. කොළඹ සිට චොපර් එකකින් මම පාන් යැව්වා. ඊට පසුව උතුරේ මැණික් ෆාම් සිට බේකරි කෑම ලබා දීමේ වැඩ පිළිවෙළක් ඇති කළා. එහෙම කළේ කිසිඳු ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවකින් නොවෙයි.   


ආරක්‍ෂක ලේකම් ගෝඨාභය මහත්තයා ඒ ඉල්ලීම මගෙන් කළාම, මම බිය සැක නැතුව උතුරට ගියා. සෙට්ටිකුලම් නගරයේ සිට ඒ වැඩ පිළිවෙළ දියත් කළා. ලක්‍ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් එදා අවතැන් වෙලා හිටියේ. ඒ අයට ලොරි 11 කින් විතර කෑම බෙදා දීමේ කටයුතු සිදු කළා. ඉන්පසුව එල්ටීටීඊ එකට සම්බන්ධව සිටි අයට කඩ දාලා දුන්නා. එතකොට එයාලගෙම උප සංස්කෘතියක්, ජීවනෝපායක් හැදෙනවා. යහපත් ලෙස එයාලට නැගී සිටින්න අවස්ථාව සලසා දීම තමයි අපේ අරමුණ වුණේ.   


මේ වගේ අවබෝධතා නිසා එල්ටීටීඊ එකට සහාය දුන් ඒ ජනතාව පසුව සිංහල ජනතාව කෙරෙහි අැති කර ගත්තෙ ලොකු ​ගෞරවයක්. ඔවුන් නැවත ගම්බිම් බලා යද්දී, මට සත පහක්වත් ණය නැතුව ඔක්කොම මුදල් පියවලා ගියේ.   


එදා සෙට්ටිකුලමේ අක්කර දෙකක විතර භූමි ප්‍රදේශයක් මේ කටයුත්ත කරගෙන යෑමට අවකාශය ලබා දුන්නෙ එවකට එහි සිටි බිෂොප් තුමායි. එතුමා ගැනත් මතක් කළ යුතුමයි. අවතැන්ව සිටි ජනතාවට කෑම බෙදීම මා හට බාර කළාම ප්‍රභාකරන්ගෙ අම්මා සහ තාත්තාට කෑම ලබාදීමට වගේම තමිල් චෙල්වම්ගෙ බිරිඳ සහ දරු දෙදෙනාට කෑම බෙදාදීම කළෙත් මම. අද වගේ මට මතකයි තමිල් චෙල්වම්ගෙ බිරිඳ මගෙන් ඉල්ලීමක් කළ හැටි.   


‘‘පුළුවන්නම් ළමයි දෙන්නට ෂෝටීස් දෙන්න කිව්වා’’ එහෙම කියලා ඇය අතේ තිබුණු මුද්ද මට දුන්නා.   


‘‘මට ඔයාගෙ මුදුව ඕනෑ නැහැ. මම කෑම දෙන්නම්’’ කියලා දිනපතා එයාලට කෑම බෙදා දුන්නා.   


එදා ප්‍රභාකරන්ගෙ අම්මා සහ තාත්තාට කෑමට අමතරව මම විවිධ ද්‍රව්‍ය පවා ලබා දුන්නා. තමිල් චෙල්වම්ගෙ නෝනා සහ දරුවන්ට එදා අපි ඒ විදියට උදව් කළත්, ඇය මෑතක දී ජීනිවා ගිහින් කළ ප්‍රකාශ්‍ය ගැන මා දැඩි ලෙස කනගාටුවට පත්වෙනවා. දුන් දේ සුවඳයි කියලා කියනවනෙ. අපි එදා හමුදාව එක්ක එකතු​ෙවලා එයාලට සැලකුවේ මනුස්සකම පෙරදැරිව - අපි ඔක්කෝම ශ්‍රී ලාංකිකයෝ යන අදහසින්.’’   


මේ අතීත කතාව මෙලෙසින් පළමු වරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ඔහු ටී.ඒ.ඩී. රංජිත්ය. ඒ නාමයට වඩා වැඩිදෙනා අතර හුරු ඔහුගේ ‘‘ටෙස්ටා බේක් හවුස්’’ නාමයයි. ටෙස්ටා බේක් හවුස් අධිපති ලෙස ඔහු හඳුන්වා දීම වඩා සුදුසුය. මේ රංජිත් යනු සැබෑම ධෛර්යවන්ත මිනිසෙකු වෙයි. අභියෝග ජයගත් මිනිසුන් අතර ඔහුගේ කතාව වෙනස් මගක් ගත් එකකැයි අපි හඟිමු.   


‘‘කොළඹ බේක් හවුස්’’ යන නාමය පාඨක ඔබට අමුතුවෙන් හඳුන්වාදිය යුතු නොවේ. ඊට ඇත්තේ වසර 100 කට එහා වූ අතීතයකි. අතීතයේ දිනෙක පුංචි කොලු ගැටයකු තැම්බූ එළවළු සහිත කෑම ලබා ගැනීම සඳහා මේ බේක් හවුස් ආයතනයට ආවේය. ඔහු එසේ පැමිණියේ කොළඹ මහ රෝහලේ 44 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි පන්සලේ ලොකු හාමුදුරුවනට, එලෙසින් බේක් හවුස් එකෙන් ආහාර ලබා ගැනීම වෙනුවෙනි.   


එදා ඒ විදියට බේක් හවුස් එකට පැමිණි රංජිත් නමැති ඒ කොලු ගැටයා අනාගතයේ දිනෙක බේක් හවුස් පරිශ්‍රයේ කොටසක් මිල දී ගෙන එහි කොටස්කරුවකු වීම, යනු එක්තරා විදියක දෛවෝපගත සිදුවීමකි. ටවුන් හෝල් ඇස් වාට්ටුව ඉදිරිපිට අද ද ඉපැරණි බේක් හවුස් ආයතනය පවති. එහි කොටසක් හැඳින්වෙන්නේ ටෙස්ටා (Testa) බේක් හවුස් නමිනි. රංජිත්ගේ උරුමය වන්නේ මේ ටෙස්ටා බේක් හවුස් කොටසය.   


එය සීමා වී ඇත්තේ මෙතැනට පමණක් නොවේ. දිවයින පුරා ශාඛා කීපයක්ම තිබේ. ඔවුනගේ ප්‍රධාන ආයතන පරිශ්‍රය පිහිටා ඇත්තේ හයිලෙවල් පාර, බොරලුගොඩ, කොස්ගම සහ අවිස්සාවේල්ලට නුදුරු ප්‍රදේශ​ෙය්ය. අතීතයේ එක් සේවකයකුගෙන් පමණක් සමන්විතව ඇරඹි බේකරි කර්මාන්තය අද දිවයිනේ අංක එකේ ආයතනයක් බවට පත්වී සේවකයින් හයසීයයකට ආසන්න සංඛ්‍යාවක් මේ ටෙස්ටා බේක් හවුස් - ආයතනය සතුව රාජකාරිවල නියැළෙති.   


මෙරට ඇඟලුම් කර්මාන්ත ​ෙස්වයේ නියැළී සිටින පනස් දහසකට පමණ අහාර සපයනු ලබන්නේ මේ ටෙස්ටා බේක් හවුස් ආයතනය වෙතිනි. ඒ සා විශාල ගමනක් ගිය රංජිත් ස්වකීය අතීතය වත්මනට ගෙන ආයේ මෙලෙසිනි.   


මගේ ගම ​කොස්ගම, කහටපිටිය. ප​වුලේ ඔක්කෝම හය දෙනයි. ධර්මපාල විද්‍යාලයෙන් පාසල් ගමන පටන් ගත්තේ. අපේ අම්මා අහිමි වන විට මගේ වයස අවුරුදු 13 යි. අපි බොහොම සාමාන්‍ය පවුලක්. තාත්තා ​ෙබ්කරි අංශයේ වැඩ පොඩියට කරගෙන ගියා. අම්මගේ වියෝව එක්ක මගේ ජීවිතයේ සිදුවුණේ ලොකු වෙනසක්. අම්මගේ තුන්මාසෙ දානය දවසේ අල්ගම ශ්‍රී නාගරුක්කාරාමයේ නායක හාමුදුරුවෝ මහණ වෙන්න කියලා මට කිව්වා. උන්වහන්සේ අපේ පවුලේ ඥාති​ෙයක්. ඒත් එදා මම ඒ ඉල්ලීමට අකමැත්ත ප්‍රකාශ කළා.   


පසුව ධර්මපාල විද්‍යාලයෙන් ඉවත්වී ඊළඟට ගියේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට. (ඩඩ්ලි සේනානායක විද්‍යාලය). මහණ නොවුවත්, අපේ නායක හිමියන්ගේ පන්සලේ ඉඳලා තමයි පාසල් ගියේ. එතැන් සිට පුරා වසර අටක් විතර ගත කළේ පන්සලේ. සාමාන්‍ය පෙළින් පසුව තාත්තාගෙ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කියලා කිව්වා. මේ අතරෙදිමයි ලොකු හාමුදුරුවෝ ගිලන් වුණේ. ​   

 

එදා තමිල් චෙල්වම්ගේ බිරිඳ සහ දියණිය සමග අවතැන් කඳවුරේදී...

 

 


කොළඹ මහ ​ෙරා්හලේ 44 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී උන්වහන්සේට එළවළු කෝසස් එක ගන්න දිනපතා පයින්ම බේක් හවුස් එකට ආවා. එදා මේ විදියට මෙතැන කවදාහරි බේකරියක් කරනවාය කියන අදහස හීනෙකින්වත් හිතපු නැති දෙයක්.’’   


රංජිත් ස්වකීය ජීවිතයේ කතාව එලෙසින් ගෙන හැර පෑවේය. එදා හීනෙන්වත් නොසිතූ අදහස පසු කළෙක සැබෑවක් වුණේ කො​හොමද? අපි ඔහුගෙන් විමසීමු.   
‘‘මුලින්ම මම කළේ තාත්තාගෙ වැඩවලට උදව් කළ එකයි. එතැනදි ලොකු අත්දැකීමක් ලැබ​ුවේ. මුලින්ම බේකරිය කරගෙන ගියේ බොරලුගොඩ ප්‍රදේශයේ තැනක් කුලියට අරගෙන. රුපියල් 250 ක් මාසිකව කුලිය ගෙව්වා. එක් සේවකයෙක් විතරයි හිටියෙ. ඒ දවස්වල වාහන කිසිවක් අපට තිබුණෙ නැහැ. සමහරදාට පා පැදියෙන් ගිහින් පාන් බෙදීම පවා කළේ මම. උදේට කඩවලට පාන් බෙදලා හවසට සල්ලි ගන්න ගියා. සමහර අවස්ථාවලදී සල්ලි ගැනීම හරිම අපහසු වූ බව කියන්න පුළුවනි. ඒ නිසා පාන් පිටි මිලදී ගැනීමේ කටයුතු පවා අමාරුවෙන් කරගෙන ගියේ.   


මොන දුෂ්කරතා ආවත් පන්සලෙන් ලැබූ ආභාසය සහ හික්මීම මෙන්ම විනය නිසා මට තිබුණෙ ලොකු අධිෂ්ඨානයක්. ‘‘මේ ගමන ජයග්‍රහණය කරන තෙක් නොනවතිමි.’’ යන අදිටන ඇතිව කටයුතු කළා. ධර්මානුකූලව හැදුණු නිසා කිසි විටෙකත් කිපී කටයුතු කළේ නැහැ. මිනිස්සු එක්ක ඉතා සුහදව කටයුතු කළා.   


නිවුණු. පිරුණු, කුලුනු ගුණය රංජිත් උපතින්ම උරුම කරගෙන ආ ගුණාංග යැයි සඳහන් කළ හැකිය.   


‘‘මම පාන්දර තුනට - හතරට විතර හැමදාම අවදිවීම සිදු කළා.’’   


එදා එලෙසින් ඇරඹි පුරුද්ද අද ද රංජිත් සතුය. අද ද ඔහු පාන්දර හතරට අවදි වන්නේය. අවදී වී හිමිදිරියේම කාර්යාලයට ගොස් තම ආයතනය සේවා ලබා දෙන සියලු ආයතනවලට ඇමතුම් දී තම සේවාවේ සහ ආහාරපානවල ප්‍රමිතිය ගැන දත්ත ලබා ගන්නේය. අද ටෙස්ටා බේක්හවුස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනයක් බවට පත්වූයේ ඔහුගේ මේ පුද්ගලික ගුණාංග නිසාම නොවේ. රුපියල් 250ක මාසික කුලියට තැනක් ලබාගෙන බේකරි ක්ෂේත්‍රයේ ගමනක් ඇරඹූ රංජිත්ගේ මේ ව්‍යාපාර ජාලයේ හැරවුම් ලක්‍ෂ්‍ය ඇති වුණේ කොහොමද?   


‘‘දිවංගත ජනපති ආර්. ප්‍රේමදාස මැතිඳුන් එදා ඇඟලුම් කර්මාන්ත 2000ක් විතර ආරම්භ කළා. මගේ මේ ගමන වෙනස් වුණේ එතැනින්. මුල්ම ආරම්භය වුණේ ​ෙෆ්වරිට් ගාමන්ට්ස්. ළමුන් 350කට විතර එදා අපි ආහාර - පාන සැපයීම කළා. ඒ මගින් අපි හොඳ නමක් දිනා ගත්තා. ​ෙෆ්වරිට් ගාමන්ට්හි අධිපති කුමාර් මිර්චන්ඩානි මහතාව මේ මොහොතේ මා සිහිපත් කළ යුතුයි.   


එතුමා එයාගෙ අනෙකුත් ඇඟලුම් ආයතනවලටත් මගේ සේවය ලබා දෙන්න කීවා. කටුනායක, රත්මලාන, හංවැල්ල, අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශවල පිහිටි ඇඟලුම් ආයතන සඳහා අපි ආහාරපාන සැපයීම සිදු කළා. ඒ ආරම්භය අපට යෝධ පිම්මක් වුණා.  


මේ විදියට ව්‍යාපාරයට ආදායම් ගලා එද්දී, කොස්ගම ප්‍රදේශයේ අක්කර එකහමාරක ඉඩමක් මහජන බැංකුවේ ණයක් අර​ෙගන මිලදී ගත්තා. අද අපේ ප්‍රධාන නිෂ්පාදන පද්ධතිය පිහිටා තිබෙන්නෙ මෙතැනයි. අද වන විට ඇඟලුම් ක්ෂේත්‍රයේ ළමුන් 50,000 කට විතර ආසන්න ප්‍රමාණයකට ආහාරපාන සැපයීම සිදු කරනවා. බ්‍රැන්ඩික්ස් සමූහය, ඔර්ට්, මාස් හෝල්ඩින්ග්ස්, ජේ.පී. ගාමන්ට්ස් ඇතුළු දිවයිනේ ප්‍රකට සමාගම් සමූහයකට අපගේ ටෙස්ටා ආහාර - පාන ලබාදීම සිදුවෙනවා.’’   
රංජිත්ගේ ටෙස්ටා බේක්හවුස් ව්‍යාපාරය සතු සේවක සංඛ්‍යාව අද 600 කට ආසන්නය. එදා පා පැදියෙන් ව්‍යාපාර ජීවිතය ඇරඹී මේ දිරිය මිනිසා අද ගමන් කරන්නේ, සුපිරි "V-8" රථයේය. ශ්‍රී ලංකා වරායට බේකරි ආහාර පාන සපයන්නේ ​ෙමම ටෙස්ටා ආයතනයෙනි. එදා පා පැදීය පමණක් ප්‍රවාහන රථය වූ ටෙස්ටා සතුව ඇති බෙදා හැරීමේ රථ සංඛ්‍යාව 25 කට ආසන්නය. මේ කතාව ආරම්භයේදී ඔහු එදා උතුරට ගොස් කළ ක්‍රියාන්විතය ගැන අපි කරුණු විස්තර කළෙමු. එදා එලෙසින් උතුරට යාමට බිය වූයේ නැතිද? අපි රංජිත්ගෙන් විමසීමු.   


‘‘එතකොට යුද්ධය නිමවෙලා හරියටම සතියයි. ගෙදර බිරිඳ සහ ළමයි දෙන්නා පවා කිව්වේ යන්න එපා කියලයි. හැබැයි ඉදිරියට තැබූ පය පසුපසට ගන්න මට ඕනෑ වුණේ නැහැ. ඒ වගේම මේ කාර්යයේ දී මට අවශ්‍ය වුණේ රටට මගෙනුත් සේවයක් ලබා දීමටයි. ජීවිත​යට ඕනෑ දෙයක් වෙද්දෙන් කියලා හිතාගෙන තමයි එදා උතුරට ගියේ.   
එහෙම ගිහින් ලාභයක් ගැන නොතකා බොහෝම සද්භාවයෙන් ඒ කටයුත්තට දායක වුණා. බේකරි ආහාරපානවලට අමතරව මට හැකි විදියට අවතැන්ව සිටි මිනිසුන්ට විවිධ ද්‍රව්‍ය ගෙනිහින් දුන්නා. වතාවක (2009) ශිෂ්‍යත්වයට පෙනී සිටි උතුරේ 5000කට කිරි වීදුරුවක් සහ මාළු පාන් එකක් නොමිලේ ලබා දුන්නා.   


උතුරේ බිෂොප්තුමා මට දුරකථනයෙන් ඒ් වෙලාවේ කතා කළා.   


‘‘උඹලා වගේ මිනිස්සු තමයි මේ රට එකමුතු කරන්න ඉන්නට ඕනෑ’’ කියලා කිව්වා.

   
එවැනි දේ නිසා මම මගේ රටට තව තවත් ආදරය කරන්න පටන් ගත්තා. උතුරේ මිනිස්සු ටෙස්ටා (Testa) නාමයට ආදරේ කරන්නෙ අපි ඔවුනට ආදරය කළ නිසයි. අදටත් කිළිනොච්චියේ සිටින එකම සිංහල ව්‍යාපාරිකයා මමයි. මඩු වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සඳහා මන්නාරම පරයානකුලම්හි අපේ ආයතනයක් පිහිටුවා තිබෙනවා.’’   
මෙසේ පවසන රංජිත් යනු විටෙක දේශපාලනඥයකුට එහා ගිය සේවයක් කළ චරිතයකැයි සඳහන් කළ හැකිය. සාධාරණව උපයන අතරේ දන්දීමට ද තමා බෙහෙවින් රිසි යැයි ඔහු සඳහන් කරයි.   


‘‘වසර 20 ක් තිස්සේ දහම් පාසල් ළමුන් සඳහා කිරි වීඳුරුවක්, බනිස් එකක් ලබාදීම නොකඩවා සිදු කරනවා. දහම් පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 3500 කට විතර අපි ඒ පුණ්‍යකර්මය සිදු කරනවා. ලෙනවර රජමහා විහාරය, කළුඅග්ගල ශ්‍රී සුදර්මාරාමය, කනම්පැල්ල විහාරය, කොස්ගම විහාරය, බොරලුගොඩ විහාරය, පුවක්පිටිය රංවල දේවාලය ඇතුළු දහම් පාසල් ගොන්නක් ඊට ඇතුළත්.   


ධනය ලැබෙන තරමට දනටද - පිනටද හිතැති ළැදියාව තමාට ලැබුණේ පන්සලෙන් යැයි ඔහු නිතර සපථ කරයි. එමෙන්ම තම බිරිඳ ගැනද ඉහළින් ගුණ වර්ණනා කරයි.   
‘‘එදා තෝලංගමුව පාසලෙන් අස්වෙලා ඩිප්ලෝමාවක් කරන්න බහු තාක්‍ෂණික ආයතනයකට ගියා. ඇය මට මුණ ගැසුණෙ එතැනදීයි. නිකං පන්සලක හිටපු කොල්ලෙකුට තම දියණිය දීමට එයාලගෙ වැඩිහිටියෝ අකමැති වුණා. ඒ අකමැත්ත මම අභියෝගයක් කර ගත්තා. කවදාහරි මම තැනකට ඇවිත් ඇය විවාහ කර ගන්නවා යන අරමුණක් ඇති කර ගත්තා. මේ අදිටන මේ ජයග්‍රහණයේ එක් මාවතක්. මගේ ජීවිතයට වාසනාව ගෙනදීමේ අංක එක ඇය කිව්වොත් හරි. ඇය රැකියාව ලෙස පටන් ගත්තෙ ගුරු වෘත්තියයි.’’  
ආදරණීය බිරිඳ ගැන ඉහළින් කතා කරන රංජිත්, අද ද ඇය ස්වකීය ගුරු වෘත්තියෙ​් නියැළෙන බව කියයි.  


‘‘එයා ඒක කරන්නෙ සමාජ සත්කාරයක් ලෙසයි. ලැබෙන පඩිය වාහනයට සහ රියැදුරුට ගෙවනවා. හැබැයි එයා ළමයින්ට උගන්වලා ලබන සතුට තමයි ඇයගේ ඉහළම වින්දනය.’’   
රංජිත්ගේ බිරිඳ​ෙග් යහපත් කෙරුවාව ගැන අාඩම්බරයෙන් ඔහු පවසන්නේ එලෙසිනි. අද මේ දෙපළට පුතකු සහ දියණියක සතුය. පුතා බේකරි අංශයේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී විශේෂඥ අධ්‍යාපනය ලබා තිබේ. දියණිය නීතිඥවරියකි. අැය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සරසවියේ නීති පීඨයේ විශිෂ්ට අංශයේ (A- Grade) ලෙස සමත්වූ බව රංජිත් සඳහන් කරයි.  


‘‘ඇයගේ හැකියාව නිසාම මුළු ඔස්ට්‍රේලියාවෙම ඕනෑම උසාවියක කතා කිරීමේ බලපත්‍රය ඇයට ලැබී තිබෙනවා. ඇය දැන් කටයුතු කරන්නෙ එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනිය ලෙසයි. ඇය විවාහ වෙලා පදිංචිව සිටින්නෙ ඔස්ට්‍රේලියාවේ.’’  


ජීවිත​ය අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව ජයගත් පියෙකු හට දරුවන්ගේ ඒ ජයග්‍රහණය අප්‍රමාණ සතුටට කරුණකි. ඔහුගේ පුතු අද මේ ව්‍යාපාර ජාලයේ නියමුවකු ලෙස කටයුතු කරයි. එමෙන්ම වයස අවුරුදු 94 ක් වන රංජිත්ගේ පියා අද ද තම ආයතනයට පැමිණ මේ කටයුතු ගැන සොයා බලන බව රංජිත් ගෞවරයෙන් පවසයි.  
‘‘තාත්තාගේ පැමිණීම අදටත් මට මහා ආලෝකයක්.’’   

 

රංජිත් සේවක පිරිසට මැදිව

 

 


රංජිත් සුසුමක් ඉහළට ගෙන පහත ​ෙහළුවේ, ජීවිතයේ සැහැල්ලු බව කියා පාමිනි. මේ තාක් දුර පැමිණි ජීවිතය ජය ගැනීමට විශේෂිත වූ දේ කුමක්ද? මේ රංජිත් ඊට දුන් පිළිතුරය.  


‘‘වෙන කිසිම දෙයක් නොවෙයි උත්සාහය සහ උනන්දුව නිසා, අද දවසේ වැඩ අදට මිස හෙටට කල්දාන සිරිතක් මට නැහැ. ඉස්සර මම පන්සලේ පඩිය උඩ වා​ඩිවෙලා සිටියදී, ප්‍රභූවරු සුපිරි රථවලින් පන්සලට ආවා.   


‘‘අනේ දෙයියනේ කවද ද අපට මෙහෙම යන්න ලැබෙන්නෙ’’ කියලා එවිට මම කල්පනා කළා. හැබැයි මම එය සිතිවිල්ලකට විතරක් සීමා කළේ නැහැ. අරමුණක් ඇතිව ජීවිතය ගෙවන්න තීරණය කළා.   


පසු නොබසින උත්සාහය සහ කැපවීම වගේම අවංකවීම මගේ ජීවිතයේ ආභරණ ලෙස හඳුන්වන්න පුළුවනි. ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවය කරන්නෙ අහිංසක දුප්පත් ළමයි. ඒ ළමුනට මම මගේ දරුවන්ට වගේ ආදරෙයි. ඉතා හොඳ ප්‍රමිතියෙන් යුතු ආහාරපාන ඔවුනට ලබාදීම අප ආයතනයේ පරමාර්ථයයි.’’  


අපේ සටහනකට පමණක් සීමා නොවූ පොතක් ලිවීමට තරම් කරුණු ඇති මිනිසකුගේ කතාව අවසනට පැමිණ සිටිමු.  


‘‘රංජිත් ඔබට ඔබ ගැන හැඟෙන්නෙ කොහොමද?’ මේ හමුවට සමුදීමට පෙර අපි ඔහුගෙන් විමසීමු.   


‘‘ටෙස්ටා (Testa) කිව්වාම අද ලංකාවම දන්නවා. ඉතින් මම හිතන්නෙ මම දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. සද්ගුණවත් චරිතයක් කිව්වොත් හරි. ආපස්සට හැරී බලද්දී කියන්න බැරි සතුටක් මට තියෙන්නෙ. ඒක ඇත්තටම වචනවලට පෙරළන්න බැහැ.’’   


ජීවිත ජයග්‍රහණයේ තුටු කඳුළු පිරි දිලිසෙන දෑසින් රංජිත් ටෙස්ටා කතාව රස කර - ගුණකර, ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රකාශ කළේ එලෙසිනි. 

 

 

 

සටහන
සඳුන් ගමගේ