ගස් කපා දමා සහ පුළුස්සා ඇති අයුරු

විනාශකළ කොටසේ ඇති උස ගස්

 

 

 

වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධීන් දැන් රටේ හැම තැනකින් ම පාහේ වාර්තාවෙයි. ජල හිඟයන්, නියඟයන් මෙන්ම වැසි කාලවල සිදුවෙන නායයාම්, ඉවුරු කඩාවැටීම් ගංවතුර තර්ජන ආදී විපත් වලට අතවනන්නේ වනාන්තර එළිපෙහෙළි කිරීම බව පරිසරවේදීහු පෙන්වා දෙති. 


වනාන්තර එළිපෙහෙළි කිරීමේ අරමුණු කිහිපයක් ඇති බව පෙනේ. පළමුවැන්න නම් පදිංචිය සඳහාය. දෙවැන්න වගා කිරීම සඳහාය. කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිංහරාජ වනාන්තරයට යාබද වළන්කන්ද සහ කුඩුමීරිය රක්‍ෂිතයට යාබදව පෞද්ගලික ඉඩමක පැරණි වනාන්තරයක් වූ (මෙහි මිනිස් වාසයක් හෝ මිනිස් ක්‍රියාකාරකම් සිදුවූ බවට ලක්‍ෂණ නොමැති බව ප්‍රදේශවාසීහු කියති) අක්කර දහයකට ආසන්න ප්‍රමාණයක රූස්ස ගස් රසායනික විෂ එන්නත් කර මරා දමා ඒ ගස් බිමහෙළා ඉඩමක් එළිපෙහෙළි කිරීමක් ගැන ගිය සතියේ මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි. 


එම අනාවරණයේ දී ඉඩම් අයිතිකරුවන් විසින් නීතිය තුට්ටුවකට මායිම් නොකර විෂ රසායන පානීය ජලයට ද මුසුවෙන ආකාරයට කරන විනාශය හමුවේ බලධාරීන් මුණිවත රකින බවට ද චෝදනා එල්ලවිය. මෙවැනි වන සංහාරයක් පිළිබඳව ලංකාවේ වාර්තා වෙන්නේ පළමු වතාවට බව ද දැනගන්නට ඇත. 


මේ ඉඩම් එළිපෙහෙළි කරන්නේ වල්ලාපට්ටා වෙනුවට වාණිජ වගාවක් වූ “අගාවුඩ්” නැමැති ගස් සිටුවීමට බව ද හෙළිවිය. කොළඹ ප්‍රදේශයේ පිහිටි “අගාවුඩ්” පැල සිටුවන සමාගමට කළින් අයත්ව තිබූ මෙම ඉඩම මේ වනවිට කොටස් හයකට කට්ටිකර පුද්ගලයන් කිහිපදෙනෙකුගේ නමට ඇති බවද තොරතුරු හෙළිවිය. 


මෙම එළිපෙහෙළි කරන ඉඩම් කොටස කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 198 ඩී, කුඩුමීරිය ග්‍රාම සේවා වසමට අයත් අවසාන ගම් සිතියමේ 948 ගඟලගමුව සිතියමේ ලොට් අංක 922, 924, 925, 937, 938 සහ 939 යන බිම් කොටස් බවට තොරතුරු හෙළි කර ගත හැකි විය. මෙම බිම් කොටස්වල එකතුව අක්කර 43ක පමණ ප්‍රමාණයක් බව සඳහන්ය. පුද්ගලයන් කිහිප දෙනෙක් අතර මීට වසර එකහමාරකට පමණ පෙර බෙදා වෙන්කර පිඹුරුපත් ද, ඔප්පුද සාදා ඇති බවට ද තොරතුරු අනාවරණය කරගත හැකි විය. ඔවුන් සියලු දෙනාම කුඩුමීරිය ගමේ පදිංචිකරුවන් නොවන බව ද හෙළි විය. 


මෙම ඉඩම කට්ටි කිරීමට පෙර අයිතිව තිබූ සදාහරිත ප්ලාන්ටේෂන් ලිමිටඩ් ආයතනය පැවසුවේ 2006 මාර්තු 02 දින ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ ගැසට් නිවේදනයට අනුව නිරවුල් කළ පුද්ගලික ඉඩමක් නිසා එය 2017 මාර්තු මාසයේ තම සමාගම විසින් මිලදී ගත් බවයි. මීට වසර එක හමාරකට පමණ පෙර මෙම අයිතිය දක්වමින් එකී ඉඩම්වල ඇති දැව බිම හෙළීමට කලවාන ප්‍රාදේශීය ලේකම්වරියගෙන් අවසර ඉල්ලා ඇති බව ප්‍රාදේශීය ලේකම් උදය කුමාරී මහත්මිය පැවසුවාය. 


එහෙත් ප්‍රාදේශීය ලේකම්වරිය ඊට අවසර දීමට තමන්ට බලයක් නැති බව පෙන්වා දෙමින් මධ්‍යම පරිසර අධිකාරියෙන් ඊට අවසර ගන්නා ලෙස දැනුවත් කර ඇත. එසේ දැනුම් දීමෙන් පසු එවැනි අවසරයක් මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාගත් බවට සඳහනක් නොමැත. ඒ වෙනුවට ඉඩම කිහිපදෙනෙක් අතරේ බෙදා ඇති බව නිගමනය වෙයි. 


ඉඩම මෙසේ බෙදීමට පෙර අයිතිය තිබූ කොළඹ 07, ඇල්ෆ්‍රඩ් පෙදෙසේ අංක 06 දරණ ස්ථානයේ සදාහරිත ප්ලාන්ටේෂන් ලිමිටඩ් නම් ආයතනයට කතා කළ අවස්ථාවේ එහි නීති නිලධාරිනිය වූ නීතිඥ එරංගා මහත්මිය පැවසුවේ මෙම ඉඩම 2017 මාර්තු මාසයේ තම සමාගම විසින් මිලදී ගත් බවයි. එය සිංහරාජ වනාන්තරයට සම්බන්‍ධ නැති බවත් 2006 මාර්තු 02 දින නිකුත්කළ ඉඩම් නිරවුල් කිරීමේ පනතට අදාළව එක් පුද්ගලයෙකුට අයිති ඉඩමක් බව ද කීවාය. 


එය අගාවුඩ් වගා කිරීමේ අරමුණින් මිල දී ගත්ත ද එම ඉඩම ඊට නුසුදුසු නිසා මිලදීගෙන මාසයකට පමණ පසුව කැබලි හයකට කඩා විකුණා දැමූ බවද කීවාය. ඒ නිසා මෙම වන සංහාරයට සදාහරිත ප්ලාන්ටේෂන් ලිමිටඩ් ආයතනය කිසිම ආකාරයකින් සම්බන්‍ධ නැති බවද නීතිඥ එරංගා මහත්මිය අවධාරණය කළාය. එසේම තම සමාගම සිංහරාජ වනාන්තරයට සම්බන්‍ධ රජයේ ඉඩමක් කිසිම අවස්ථාවක මිලදී නොගත් බවද ඇය අවධාරණය කළාය. 


පුද්ගලික වුවත් හෙක්ටයාර් එකකට වැඩි ඉඩමක පිහිටි ස්වභාවිත ගස් බිමහෙළා වෙනත් වගාවක් හෝ වෙනත් කාර්යයක් සිදුකරන්නේ නම් මධ්‍යම පරිසර අධිකාරියෙන් “පාරිසරික බලපෑම් අධ්‍යයන වාර්තාවක්” එම ඉඩම් හිමියා ලබාගත යුතුය. නමුත් නව ඉඩම් හිමියන් එය සිදු නොකර ඉඩමේ තිබූ මිල්ල, හොර, නා, වල්ලපට්ටා, හැඩවක, දුං, ඇටඹ, පීහිඹිය වැනි ගස් වර්ග ඇතුළු ගස් රැසක කඳන් යාන්ත්‍රිකව සිදුරු කර ඒ සිදුරු තුළට රසායනික ද්‍රව්‍යයක් ගල්වා ගස් මැරෙන්නට සලස්වා ඇති බව පැහැදිලිව දැක ගත හැකිය. රසායන ද්‍රව්‍ය සිදුර මගින් ගස තුළට ඇතුලුකර දින කිහිපයකින් එම ගස මැළවී කොළ හැළෙන්නට පටන් ගනී. 


ගම්වාසීහු මෙම අපරාධය දැක ඒ බව මුලින්ම වසමේ ග්‍රාම නිලධාරීවරයාට දන්වා තිබුණි. ඔහු විසින් ප්‍රාදේශීය ලේකම්වරියව ඒ සම්බන්ධයෙන් දැනුවත් කර තිබේ. මීටර් පහළොව විස්ස උස අවුරුදු සියය දෙසීය පැරණි ගස් මෙසේ විෂ එන්නත් කර මරා දමා ඒවා බිම හෙළීමත්, ඒ කැලෑවට ගිනිතැබීම තුළින් දැව බිම හෙළීමක් සිදුකර විශාල පරිසර හානියක් සිදුකර ඇත. මේ විනාශ කර ඇත්තේ ස්වභාවික කැලෑවක ලක්‍ෂණ පෙන්නුම් කරන ගස් බව කලවාන ප්‍රාදේශීය ලේකම්වරිය මධ්‍යම පරිසර අධිකාරිය ද දැනුවත් කර තිබේ. 


රත්නපුරේ සිට කලවානට ගොස් කලවානේ සිට බී 181 මාර්ගයේ වැද්දාගල කුඩව හන්දිය පසුකර මීටර් සියයක් පමණ ඉදිරියට ගියවිට පාරේ වම් පැත්තට ඇති කුඩුමීරියගල පාරේ කිලෝමීටර් අටහමාරක් නවයක් පමණ වූ දුෂ්කර මාර්ගය ගෙවා ගියවිට මේ කියන ඉඩම් කොටස හමුවෙයි. මීට අමතරව කලවාන වතුරාව මාර්ගයේ ගඟලගමුව හරහා ද යා හැකිය. එහෙත් එය අතිශය දුෂ්කරය. 


කුඩුමීරිය ගමේ ඉහත්තාවේ පිහිටි මේ ඉඩම් කොටස කාගේ දැයි ගම්මු නොදනිති. සැබැවින්ම එය පුද්ගලික ඉඩමක් යැයි කීව ද එහි ඇත්තේ මහා වනාන්තරයක ඇති ජෛව විවිධ ලක්‍ෂණයන් ය. 


එහි වූ ස්වභාවික ජලධාරාව බෙලඅත්තාදොළය. එයට කුරුඳුගල්දොළ යැයිද සමහරු කියයි. එය ඊට ඉහළ දොරකන්දවාඩිය දෙසින් ගලා එයි. කුඩා දොළපාරවල් ද ඊට එක්වෙයි. ඒ ජලය පිරිසිදු නොඉඳුල් ය. ගමේ ගෙවල්වලට මේ බෙලිඅත්තාදොළෙන් මෙන් ම ඒ අවට ඇති දැන් පුද්ගලික යැයි කියන ඉඩමේ පිහිටි ස්වභාවික දිය උල්පත් වලින් ද නළ යොදා පානයට ජලය ලබාගනී. කුඩුමීරිය ගමට පහළින් පිහිටි කිරල්දෙණිය, නල්ලගස්හේන යන ගම්වල ජනතාවගෙන් වැඩි දෙනෙක් බෙලිඅත්තාදොළ ජලය ද ප්‍රයෝජනයට ගනී. කිසිවෙකුගෙන් කරදරයක් හැරිහැරයක් නොමැතිව තිබූ මේ වනාන්තර කොටස කුඩුමීරිය රක්‍ෂිතයට අයත් යැයි ගම්මු සිතූහ. 


මාස කිහිපයකට පෙර පිරිසක් ගමට පැමිණ මෙම ප්‍රදේශය ඉඩම් මැන්න බව ගැමියන් කිහිප දෙනෙක් කීවෝය. එහෙත් ඔවුන් ඒ ගැන වැඩි තැකීමක් නොකළහ. මේ විනාශය ගමට පෙනුනේ සති කිහිපයකට පෙරදී බව මේ සම්බන්ධයෙන් පොලීසියට මුල්ම පැමිණිල්ල කළ බව පැවසූ පී. ජානක සමන්කුමාර මහතා පැවසුවේය. ඔහු කුඩුමීරිය ගමේ ක්‍රීඩා සමාජයේ භාණ්ඩාගාරිකවරයා ද වෙයි. ඔහු පවසන පරිදි ගමේ සියලු දෙනාම මේ වනසංහාරය හමුවේ එකාවන්ව ගොනුවී මේ විනාශය නවත්වා දෙන ලෙසත් වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටිති. 


“මේ කියන වනාන්තර කොටසට අපි යන්නේ වතුර ගන්න. නළවල මොනවාහරි දෙයක් වෙලා වතුර එන්නේ නැත්නම් බලන්න. ඒත් සති දෙකතුනකට ඉස්සර එකවරම අපිට පේන පැත්තෙන් ගස් මැරෙන්න පටන් ගත්තා. හරියට අකුණු ගැහුවා වගෙයි. මොකද වුණේ කියලා බලන්න අපි ඒ කැලෑවට ගියා. මිල්ල, හොර, නා, හැඩවක, දුං, ඇටඹ, පීහිඹිය, වල්ලාපට්ටා වගේ ගස්වල කොළ බිම වැටිලා. ගස්මුල බලද්දී අපට බදන්න බැරි ගස් පවා විදලා රසායනික ද්‍රව්‍යයක් යොදලා ඒ හිල්වලින් යම් ද්‍රව්‍ය වෑස්සිලා තිබුණා. ඒ රසායන ද්‍රව්‍ය තැවරුණු තැන්වල කූඹින් පවා මැරිලා හිටියා. කූඩැල්ලෙක් එතන දැම්මොත් ඌත් මැරෙන තරමට විෂක් තිබුණා. සමහර දිය උල්පත් ළඟ ගස්වලටත් මේ රසායන ද්‍රව්‍ය දාලා තිබුණා. කූඹි මැරිලා හිටපු නිසා උල්පත් වතුර බොන්න එපා කියලා අපි ගම්මු දැනුවත් කළා. ගමට නොපෙනෙන පැත්තේ කැලේට ගියාම මහ විශාල ගස් කපලා බිම දාලා ගිනිතියලා තිබුණා. අක්කර පහ හයක් ඒ විදියට ගිනිතියලා තිබුණා. වාඩි ගහගෙන කිහිප දෙනෙක් හිටිය.” 


“ගස්විදලා විෂ යොදලා තිබුණ ප්‍රමාණයත් අක්කර තුන හතරක් වෙන්න ඇති. මහ විනාශයක් වෙන හින්දා ගමේ අපි කලවාන පොලීසියට පසුගිය 29දා ගියා. මම පැමිණිල්ලක් දැම්මා. එතකොට මේ ගස් කපන අය වාඩියේ හිටියා. ප්‍රාදේශීය ලේකම් තුමියටත් කිව්වා. එතුමිය අවසර දුන්නේ නෑ කිව්වා. බෙලිඅත්තාදොළේ පුංචි මාලු මැරිලා හිටිය කියලා කිහිප දෙනෙක් කිව්ව හින්දා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක තුමාටත් අපි දැන්වූවා. වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මහත්තුරුන්ටත් කිව්වා. ඒ අය කිව්වා මේ ඉඩම් රක්‍ෂිත ඉඩම් නෙමෙයි පුද්ගලික ඒවා. ඒනිසා ඒ අයට යමක් කරන්න බලයක් නෑ කියලා. මධ්‍යම පරිසර අධිකාරියට දන්වන්න කියලා කිව්වා.” 
කොහොම නමුත් ඒ මිනිස්සු ඉඩමෙන් යනකම් පොලීසියවත් කවුරුවත් ආවේ නෑ. පොලීසිය අවේ පහුගිය 02දා. මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මහත්තයා ආවා. ඒ මහත්තයාට අපි කිව්වා වතුරේ විෂ තියනවද නැද්ද කියලා අපිට කියන්න කියලා. නමුත් ඒ අයගෙන් වත් අපිට සාධාරණයක් වුණේ නෑ.” ජානක සමන් කුමාර මහතා පැවසුවේය. ජානක සමන් කුමාර මහතා පවසන්නේ ගමේ සියලු දෙනාම ක්‍රීඩා සමාජය වටා ගොනුවී සභාපති නිලන්ත කුමාර හා ලේකම් සමන් පුෂ්පකුමාර යන මහතත්වරුන්ගේ ද අනුදැනුම මත වගකිවයුතු බලධාරීන් දැනුවත් කර ඇති බවයි. 


පසුගිය 01දා ශ්‍රීලංකා මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ නිලධාරීන් පිරිසක් කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ඇත්තේ “සංවේදී වනාන්තර ආරක්‍ෂා කරන්නේ කෙසේද?” යන්න සොයා බැලීමටය. කුඩුමීරිය ගමේ නියෝජිතයින් මේ ගැටලුව ඔවුන්ට දැනුම් දුන්නද ඔවුන් එය ගණන් නොගත් බවද ගම්වාසීහු කියති. 


කුඩුමීරිය ගමේ වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය තේ දළු ආදායමයි. වැසියන් බොහෝ දෙනෙක් කුඩා තේ වතු හිමියන්ය. ඔවුන්ගේ ඉඩම් සින්නක්කර ඔප්පු ඇති ඒවා බව ජානක සමන් කුමාර මහතා පැවසුවේය. තමන්ගේ ගමට ඉහළින් ඇති මේ දැව සංහාරය කර ඇති ඉඩම රක්‍ෂිතයට අයත් බව මෙතක් දැන හිටියත් ඒවා පුද්ගලික ඉඩම් බව වැඩි දෙනෙක් දන්නේ මේ සිදුවීමත් සමගය. 


 මේ සම්බන්ධයෙන් වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරියකුගෙන් විමසූ විට ඔහු ඒ සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. 


ඒ අනුව සිංහරාජ වනාන්තරයට මෙම ඉඩම් අයත් නැත. පුද්ගලික ඉඩම් වුවත් සදාහරිත වැසි වනාන්තරවල මෙන් පැරණි ගස්කොළන් වලින් යුක්තය. කලවානේ සිට බී 181 මාර්ගය ඔස්සේ වැද්දාගල, පොතුපිටිය, රඹුක, කජුගස්වත්ත, කෝපිකෑල්ල හරහා රක්වානට යද්දී වම්පස ඈතින් සිංහරාජ වනාන්තරය දිස්වෙයි. මේ එළිපෙහෙළි කර දැව හෙළා සහ ගිනිතබා ඇති ඉඩම් කොටස පිහිටා ඇත්තේ පාරේ වම් පසින් ය. සිංහරාජයට අයත් නොවුනද සිංහරාජය පරිවාරයේ පිහිටි ඒවාය. 


සෑම වසරකම මාර්තු හෝ අප්‍රේල් මාසවල මේ ප්‍රදේශයට එන සිංහරාජයේ වනඅලි දෙදෙනා දින කිහිපයක් මේ පරිසරයේ ද ගතකරයි. 


ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 01 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් මුල් අයිතිකරුවන් විසින් වෙන්කරගත් ඉඩම් කොටස් බව පෙනෙන්නට තිබේ. ඉහත කී පනත අනුව ශ්‍රී ලාංකික පුරවැසියෙකු සන්තකයේ කොතරම් ඉඩම් තිබුණද, අක්කර පනහක් ඔහුගේ අයිතියට තබාගෙන සෙසු ඉඩම් රජයට පවරා ගැනීම පනත අනුව සිදුවිය. රජයට පවරා ගන්නේ යැයි කීව ද පනතේ සඳහන් වන්නේ එම ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු වෙන බවයි. එකල මහජනතාව මෙම පනත ඉතා ප්‍රගතිශීලී පනතක් ලෙස පිළිගනු ලැබීය. 


ඒ අනුව ඉඩම් හිමියන් සතුව තිබූ ඉඩම්, එකී පනත මගින් පවරාගෙන ඉඩම් නොමැති අය අතරේ ඒවා බෙදාදීම සිදුවිය. පවරා ගනු ලැබූ ඉඩම් වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලින් අයිතිකරුවන්ට වන්දි ගෙවීය. ඒකාබද්ධ අරමුදල මහා භාණ්ඩාගාරයෙන් පාලනය වෙන නිසා ඉඩම් කොටස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට පවරනු ලැබුවද රජය සතු විය. 

 

බෙලිඅත්තා දොළ

 

 


සිංහරාජය අවට ඉඩම් බොහෝමයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත්ව ඇත්තේ මේ ආකාරයටය. 1972ට පෙර මේ ඉඩම් පෞද්ගලික ඒවා විය. ඒ ඉඩම් වගාවන් සිදු නොකළ වනාන්තර විය. සමහර ඉඩම් හිමියන්ට විවිධ ප්‍රදේශවලින් අක්කර පනහට වැඩියෙන් හිමිව තිබුණි. ඔවුන් වැඩි දෙනෙක් තමන්ට සන්තක කර ගතහැකි ඉඩම් අක්කර පනහ කොටස් වශයෙන් තමන්ට හිමි ඉඩම් විවිධ ප්‍රදේශවලින් අක්කර පනහ වෙන්කරගෙන ඉතිරිය රජයට පවරා දෙනු ලැබීය. 


රජයට පවරා ගත් ඉඩම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් වූ අතර ඒවා කට්ටිකර නිෂ්පාදන සහ රැකිරක්‍ෂා ඇති කිරීම මූලික කරගෙන පිටස්තර පුද්ගලයින්ට දෙනු ලැබීය. ඇතැම් ඉඩම් බද්දක් පිට අයිතිකරුවන්ටම නැවත පවරා දෙනු ලැබිණි. 


මෙම සිද්ධියට අදාළ ඉඩම් කොටස ද ඒ ආකාරයට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දුන් ඉඩම්වලින් පසුව අයිතකරුවන්ට ඉතුරු වූ ඒවා විය හැකිය. නමුත් සැබැවින්ම මේවා කිසිම ආකාරයක භූත්කි විඳි ඉඩම් නොවන්නට ද පුළුවන. මේවායේ ඇත්තේ සංවේදී පරිසර පද්ධතියක මූලික ලක්‍ෂණයන්ය. 1972 ඉඩම් සංවර්ධන පනතින් ඉඩම් හිමියන් විසින් තමන්ට අයිති අක්කර පනහ මැන හතර මායිම් දමා මිනින්දෝරුවරු මගින් පිඹුරුපත් සකසා ගත්තද එය ගැසට් මගින් ප්‍රදානය නොකළේ නම් වලංගු ද යන්න ගැටලුවක් බව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහු කියති. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් ඉඩමේ අයිතිය සම්බන්‍ධ ලිපි දුන්නාට නිසි අයිතිය සම්බන්ධයෙන් ගැටලු ඇති බව ද වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි. 


අක්කර පනහ තියාගෙන රජයට දුන් ඉතිරි ඉඩම් වලින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විවිධ පුද්ගලයන්ට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ මිනින්දෝරුවරු ලවා මැනුම්කර ඉඩම් කොටස් දුන්නද මුල් ඉඩම් පවරාගෙන ඇත්තේ නිසි මැනුමක් නොමැතිව පවරා ගැනීම නිසා ඒවා නැවත අලෙවියේදී යොදා ඇති මායිම් සම්බන්‍ධයෙන් ගැටලු මතුව තිබේ. 


මේ ව්‍යවසනය යට ඇත්තේ කුමන්ත්‍රණයක් බවට ගම්වැසියෝ චෝදනා කරති. මේ අකාරයට මහ වනාන්තරය විනාශකළ පිරිස දැන් පලා ගොසිනි. නමුත් ඔවුන් ගස් මරන්නට යෙදූ රසායන තවමත් ඒ බිම්වලය. වසර දෙතුන්සියයක් පැරණි මහා වෘක්ෂයක් දින කිහිපයකින් මරා දැමිය හැකි මේ විෂ රසායනය පරිසරයේ ජෛව විවිධත්වයට කර ඇත්තේ එසේ මෙසේ හානියක් නොවේ. 

 

 

සටහන - ඡායාරූප 
අජිත්ලාල් ශාන්තඋදය