ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්  ටිල්වින් සිල්වා

 

වර්තමාන දේශපාලනය සහ අනාගත දේශපාලන හැසිරීම පිළිබඳ මේ කතාබහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟයි.


කට්ටිය බලාගෙන හිටියෙ ජවිපෙ ආණ්ඩුවට එරෙහිව ගෙනාපු විශ්වාසභංගය දිහා...


ඒක තීරණය වුණේ මේ ආණ්ඩුවට සැබෑ ලෙසම විරුද්ධ පාර්ලිමේන්තුවෙ ඉන්න පුද්ගලයින්ගේ ප්‍රමාණය මත. අපි, අපේ වගකීම ඉටුකළා. මේ ආණ්ඩුවෙ විශ්වාසය භංගවෙලා ඉවරයි. ඒක නිසා තමයි අපි විශ්වාසභංගයක් ගෙනාවේ. ඒක දිනවන්න අපි උපරිමයෙන් කටයුතු කළා. පාර්ලිමේන්තුවේදි පහුගිය කාලය පුරා ආණ්ඩුවට බැණ බැණ ඉඳපු අය මේකෙදි කොතනද ඉන්නේ කියලා කාටත් බලාගන්න පුළුවන් වුණා. ඒ අය ඒ අයගෙ වගකීම ඒ අය හිතන ආකාරයට වෙන්න ඇති ඉටු කළේ.


විශ්වාසභංගය පිළිබඳ විවාදයේදී බොහෝ දෙනා කිව්වේ මේක ජේවීපී එකේ තවත් පොලිටිකල් ගේම් එකක් වගේ අදහසක්.


ඕක තමයි අපේ රටේ තියෙන දේශපාලන අවස්ථාවාදයේ ස්වභාවය. අපිට ආණ්ඩුවත් එක්ක බේරගන්න පුද්ගලික ප්‍රශ්න නෑ. ඔය අපිට අවලාද ගහන අය වෙලාවකට කියනව අපිට යූඑන්පීය එක්ක ඩීල් තියෙනවා කියලා.


දැන් අපි ඉතා පැහැදිලි හේතු මත යූඑන්පී ආණ්ඩුවට විශ්වාසභංග යෝජනාව ගෙනාවට පස්සේ ඒක මඟ අරින්න සහ ඒකෙන් බේරෙන්න රටේ නැති විකාර කියවනවා. පාස්කු දින ප්‍රහාරයේ වගකීම පැහැරහැරීම කියන නිශ්චිත කාරණය මුල් කරගෙනයි අපි මේක ගෙනාවේ. ඒකට තවත් කරුණු එකතුවෙලා තියෙනවා. පහුගිය කාලේ තමන් ආණ්ඩු විරෝධීය කියලා කියාගෙන කෑ ගහපු අය මේ විශ්වාසභංගය ජේවීපී එකේ වැඩක්ය කියලා ලිස්සලා ගිහින් ආණ්ඩුව රකින්න තමයි උත්සාහ කළේ. ආණ්ඩු විරෝධී කියන පිරිස වැඩි හරියක් දෙනා මේ විවාදයේදී පහරදුන්නේ ජේවීපී එකට. දැන් හරි පැහැදිලියි මේ ආණ්ඩුව රකින්න උත්සාහ කළේ කවුද කියලා.


දයාසිරි ජයසේකරලා වගේ අය කියන්නේ ජේවීපී එක වැඩ කරපු විදිය අප්සෙට් නිසා තමයි සහරාන්ලට බෝම්බ ගහන්න ඉඩක් ලැබුණේ වගේ කතාවක්.


යූඑන්පී එක අපිට ගහන එක ගැන අපිට හිතාගන්න පුළුවන්. මොකද අපි යූඑන්පී ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවම එයාල අපිට ගහනවා තමයි. ඒත් දිගටම ආණ්ඩුව ගෙදර යවන්න ඕනැ කිය කිය පම්පෝරි ගහපු උදවිය ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගය ගෙනාවම මේ තරම් කලබල වුණේ ඇයි කියලා හොයන්න ඕනෑ. මේකෙන් ඒ අයගෙ බොරුව පැහැදිලි වුණා. මෙතෙනදි ඒ අයට තවදුරටත් කකුල් දෙක දෙපැත්තෙ තියාගෙන ඉන්න බැරි වුණා. පහුගිය කාලෙ පුරාම බොරුවට ආණ්ඩු විරෝධයක් පෙන්නමින් ඇත්තටම ආණ්ඩුව එක්ක ගනුදෙනු කරපු අයට මේකෙදි පෙන්නන්න සිද්ධ වුණා තමන් ඉන්නෙ කොතැනද කියලා. ඒ කේන්තිය ඔවුනට ජේවීපී එකත් එක්ක තියෙනවා.
අපි මේ බෝම්බ ප්‍රහාරවලට වගකියන්න ඕනෑ වගේ කතා කියන අය හරියට කැකිල්ලෙ රජ්ජුරුවො වගේ අය. ජනාධිපතිවරයත් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් මේකට සෘජුවම වගකියන්න ඕන. ඒකෙ කතා දෙකක් නෑ. ඒ බෝම්බ පහර එල්ල කිරීම වළක්වා ගන්න බැරිවුණු නිසා.


ජනාධිපති ප්‍රධාන ආණ්ඩුවට මේක වළක්වගන්න තිබුණා. මේකට අපි ගාවන්න උත්සාහ කරන අය උත්සාහ කරන්නේ සහරාන්වත් බේරලා මෛත්‍රිවත් බේරලා රනිල්වත් බේරලා තමනුත් අත පිහිද‌ාගන්න. ඒ අතින් බැලුවම මේ අය ඉන්නෙත් සහරාන්ගෙ පැත්තේ. දයාසිරි ජයසේකරලගෙ ප්‍රශ්නෙ අපට තේරෙනවා. එයාලා දැන් මේ දේශපාලනයේ අතරමංවෙච්ච අය. කොටින්ම යනඑනමං නැතිවෙච්ච අය. මේ අයගෙ අවස්ථාවාදී දේශපාලන භූමිකාව මේ විශ්වාසභංගය නිසා හෙළිදරව් වෙලා ඉවරයි. ඒ නිසා එයාලා අපිට පහරදීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ.


ලක්ෂ්මන් කිරිඇල්ල එහෙම කිව්වෙ පාස්කු දින ප්‍රහාරයේ සියලු වගකීම අගමැති සහ ආණ්ඩුවට විතරක් ද‌ාල ජනාධිපති බේරන්න ජවිපෙ උත්සාහ ගත්ත කියලා.


ජනාධිපතිවරයා නෙවෙයි ආණ්ඩුවේ නායකයා. ආණ්ඩුවේ නායකයා අගමැතිවරයා. ලක්ෂ්මන් කිරිඇල්ලට කියන්න වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල එන්න කියලා. ජනාධිපතිවරයට ගේනව නම් ගේන්න ඕනෑ දෝෂාභියෝගයක්. මේ ජනපතිට තව ඉන්න තියෙන්නේ මාස තුන හතරයි. ආණ්ඩුවට තව අවුරුදු එක හමාරක් විතර තියෙනවා. ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවේ ඒ නිසා. මේ ප්‍රහාරයට පැහැදිලිවම ජනාධිපතිවරයා වගකිවයුතුයි කියලා අපි හැම තැනම කියල තියෙන්නේ. ඒ ගැන විවාදයක් නෑ. මෙතනදි මේ ප්‍රහාරයේ වගකීම අනිත් මිනිහගෙ ඇඟේ ගහල බේරෙන්න තමයි ජනාධිපතිත් අගමැතිත් අනිත් අයත් හැමෝම උත්සාහ කරන්නේ. ලක්ෂ්මන් කිරිඇල්ල හොඳටම දන්නවා විශ්වාසභංගයට ජනාධිපතිව නම් කරන්න බැරි බව. ඒකවත් දන්නෙ නැතුවද පාර්ලිමේන්තුවෙ සභානායකකම් කරන්නේ?


පාස්කු දින ප්‍රහාරයේ වගකීම මේ යන විදියට ගිහින් කැකිල්ලේ රජුගෙ නඩු තීන්දුව වගේ පැත්තකම ඉන්න කෙනෙකුගේ ඇඟේ ගහන්න බැරි නැහැ.


ඒ වගේ තත්ත්වයක් තමයි නිර්මාණය වෙමින් තියෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්නේ බලය තියෙන අය. චූදිතයොත් ඒගොල්ලො. නඩු අහන්නෙත් ඒගොල්ලො. තමන්ට විරුද්ධ චෝදනාවලට මේ අයට දඬුවම් ලැබෙයි කියල හිතන්න අමාරුයි. මේකට එරෙහිව සමාජ මතයක් හැදිය යුතුයි. අපි විශ්වාසභංගයක් ගෙනාවෙත් ඒ සඳහා තමයි. මේ සිදුවීම පිළිබඳ පාර්ලිමේන්තුවෙ හැම දෙනාම දැනගෙන හිටියා කියලත් කියනවා. ඒත් ජේ.වී.පී. එකේ මන්ත්‍රීවරු හයදෙනා මේ ගැන දැනගෙන හිටියෙ නෑ කියලා අපි වගකීමෙන් කියනවා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවෙන් දෙන ආරක්ෂකයො ලබාගන්නේ නෑ ජේ.වී.පී. ඒකේ අය. ඒක නිසා ඔය තොරතුරු ඒ අයට ලැබෙන්න විදිහක් නෑ. ඒ හය දෙනා ඇරෙන්න අනිත් සියලු දෙනාටම මේ තොරතුරු ලැබෙන්න ඇති. ඒ නිසා ඒ අයට ඒ වගකීමෙන් ගැලවෙන්න බෑ.


මේ ගැන හොයන තේරීම් කාරක සභාවෙ හැසිරීම ගැන මොකක්ද අදහස?


තේරීම් කාරක සභාවක් පත්කරපු එකට අපි එකඟයි. ඒත් ඒකෙ වාඩිවෙච්ච සමහර අය දකිද්දි පොඩි අපුල ගතියක් තියෙනවා. රවි කරුණානායකල වගේ අයත් එතන වාඩිවෙලා ප්‍රශ්න අහනකොට ඒකෙ පොඩි අප්‍රසන්නකමක් තියෙන බව ඇත්ත. මොකද සී.අයි.ඩී. එකෙන් රවීව ප්‍රශ්න කරනවා. රවී තේරීම් කාරක සභාවට එන අයව ප්‍රශ්න කරනවා. ඒකෙ පොඩි විහිළුකාර ස්වභාවයක් තියෙනවනේ. ඕකම අතීතයෙත් වුණා. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගෙන් විමල් විරවංශලා ප්‍රශ්න කරද්දිත් ඔය අපුලම අපට දැනුණා. ඔය වගේ දේවල් ඇරෙන්න තේරීම් කාරක සභාව පිළිබඳ ලොකු විවේචන නෑ. මේ හරහා බොහෝ තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් වුණා.


ජනතා විමුක්ති පෙරමුණේ ‘පාද සටන’ සද්දෙ ද‌ාපු තරමට නැගල ගියා ද?


ඇත්තටම හිතුවටත් වඩා සාර්ථකයි. විශාල ජනසහභාගිත්වයක් තිබුණා. බොහෝ දෙනාගෙ සහයෝගය මේ සඳහා ලැබුණා. මේ වගේ දේකදි බොහෝ දුරට දකින්න නොලැබෙන තරමේ විනයක් අපි රැක්කා. ඒක තමයි විශේෂත්වය. වෙනත් දේශපාලන පක්ෂයකට ඒක හිතන්නවත් බෑ. පාරවල් පුරා අපි ගමන් කළේ නෑ. ජනතාවට හිරිහැරවීම අවම කරන්න අපි ලොකු උත්සාහයක් ගත්ත.


මේ පා ගමනට ආපු කවුරුවත් තැබෑරුම් ළඟ පොරකෑවේ නෑ. බීලා වැටිලා හිටියෙ නෑ. කුණුහරුප කිව්වෙ නෑ. ඇඳුම් ගලෝගෙන අසෝබන විදියට හැසිරුණේ නෑ. ලයිට් කණුවල එල්ලුණේ නෑ. අරමුණක් සහ විනයක් සහිතව ආපු පා ගමනක් මේක. මේක ලොකු බලපෑමක් කළා කියල අපි හිතනවා.


මේ ආණ්ඩුව ඇවිත් ටික දවසකින්ම ජේවීපී එක කිව්වා ආණ්ඩුව ගෙදර යවන්න පාරට බහින්න සූද‌ානම් කියලා. ඒත් ඒකට අවුරුදු හතරක් විතර ගත්තේ ඇයි?


අපි මීට කලින් විවිධ ප්‍රශ්න අරබයා පාරට බැස්සා. ගොවියන්ගෙ ප්‍රශ්නෙට, සයිටම් ප්‍රශ්නෙට, බඩුමිල වැඩිවීමේ ප්‍රශ්නෙට, හම්බන්තොට වරාය විකුණන්න හදද්දී, කොළඹ වරාය විකුණන්න හදද්දී කියන ආදී ප්‍රශ්නවලදී අපි පාරට බැස්සා. දැන් අපි පාරට බැස්සේ ආණ්ඩුව එළවන්න. මේක තමයි ආණ්ඩුව එළවන්න වෙලාව. තවදුරටත් මේ ආණ්ඩුව ඕන නෑ. ඒ තරමට ආණ්ඩුව වැරදි වැඩ කරලා තියෙනවා. අපි මේක එක පා ගමනකින් නතර කරන්නේ නෑ. තව උද්ඝෝෂණ මාලාවක් ඉදිරියේදී සංවිධානය කරලා තියෙන්නේ. ආණ්ඩුව ගෙදර යවන තුරු අපි මේ සටන ගෙනියනවා.


ජනාධිපති අපේක්ෂක මූණු දවසින් දවස කරළියට එනවා. කෝ ජේවීපී එකේ අපේක්ෂකයගේ මූණ?


අපි පහුගිය කාලෙම කටයුතු කළේ ජනාධිපතිවරණයක් එන එක වළක්වන්න. ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තමයි අපි විසිවෙනි සංශෝධනය ගෙනාවේ. හැබැයි අනෙක් පක්ෂ මේක මඟ ඇරලා කට්ටි පනිමින් ඉන්නවා. ඒ නිසා අපිට වළක්වගන්න බැරුව මුලින් එන්නේ ජනාධිපතිවරණයක් නම් අපි ලෑස්තියි ඒකට මුහුණ දෙන්න. අපි තනිව නෙවෙයි එකතු කළ හැකි සියලු බලවේග එකතුවෙන් ගොඩනැගෙන පුළුල් ජනතා බලවේගයක් එක්ක අපි ඒකට මුහුණ දෙනවා.


අපේක්ෂකයා අනුර දිසානායක නෙවෙයිද?


ඒ ගැන තාම අවසන් තීන්දුවක් අරගෙන නෑ. අපිත් එක්ක එකතුවෙන සියලු කණ්ඩායම් එක්ක සාකච්ඡා කරලා තමයි ඒ තීන්දුව ගන්නේ. අපිට ද‌ාන්න පුළුවන් ප්‍රබලම චරිතය අපි ද‌ානවා.


ඒ ප්‍රබල චරිතය හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ද?


නෑ. එහෙම කෙනෙක් තාම තීන්දු කරලා නෑ. නමක් තාම නෑ. ඉදිරියේදී නම ප්‍රකාශයට පත්වෙයි.


ඔය ආපහු එන්නෙත් පොදු අපේක්ෂකයෙක් වගේ කෙනෙක්ද?


පොදු අපේක්ෂකයා කියන වචන ගැළපෙන්නේ නෑ. අපි හදන මහජන බලවේගය නියෝජනය කරන අය අතරින් ප්‍රබල චරිතයක් තමයි මේ සඳහා නම් වෙන්නේ.


ගෝඨාභය රාජපක්ෂත් දැන් දැන් සීන් එකට එන්ටර් වෙනව වගේ නේද?


ඒත් ඒ කඳවුරේ ප්‍රධානියා වෙච්ච මහින්ද රාජපක්ෂ තාම ඒක හරියට කියන්නේ නෑ. ඒ ඇයි කියල හිතන්නත් වෙනවා. එයා තාමත් ඒ ගැන කෙළින් කියන්න කැමැති නැත්නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න බැරි නෑ. අනික ගෝඨාභය එනවා, එනවා කිව්වට දැන් මේ එන්න හදන්නෙ ලෙඩෙක්නේ. හදවත් සැත්කමක් කරපු කෙනෙක්. විවේක සුවයෙන් ඉන්න ඕනෑ කෙනෙක්. රටක් ගොඩනගන්න එහෙම හදවත් රෝගියෙක් ඉදිරිපත්වීම රටට කොහොම බලපාවිද කියලත් හිතන්න වෙනවා. ඒ කොහොම වුණත් ඔය කඳවුරෙන් එන්නේ ගෝඨාභය රාජපක්ෂ ද, බැසිල් රාජපක්ෂ ද, චමල් රාජපක්ෂ ද, ශිරන්ති රාජපක්ෂ ද වෙන කවුරුවත්ද කියන එක අද‌ාළ නැති කාරණයක්.

 

 

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි