ඔක්ජොකුල් ග්ලැසියරයේ මළගමට සහභාගී වෙමින්

 

 

 

හරිතාගාර වායුවල බලපෑමෙන් දිනෙන් දින උග්‍ර වෙන දේශගුණ විපර්යාසය හේතුවෙන් ලෝකයේ ග්ලැසියරවලට අසුබ කාලයක් උදා වී ඇත.


අයිස්ලන්තයේ බටහිර දෙස පිහිටි විශාලම ග්ලැසියරයක් වන ඔක්ජොකුල් ග්ලැසියරය දේශගුණ විපර්යාසය හේතුවෙන් ලෝකයට අහිමි වූ පළමු ග්ලැසියරයයි. එහි අවසන් ගමන සනිටුහන් කිරීමට දේශගුණ විපර්යාසය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කරන විද්‍යාඥයන් ඇතුළු සියයකට අධික පිරිසක් විසින් පසුගිය 18 වැනි දා අයිස්ලන්තයේදී මළගමක් සංවිධානය කර තිබිණි. මේ අවස්ථාවට අයිස්ලන්තයේ අගමැතිනි කැට්රින් යාකොබ්සාර්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂනර්වරිය වශයෙන් කටයුතු කරන මේරි රොබින්සන්, දේශීය පර් යේෂකයෝ සහ එක්සත් ජනපදයේ සිට ව්‍යාපෘතියට සම්බන්ධ වූ පිරිසක් ද සහභාගී වූහ.


වාර්තාගත ලෙස උණුසුම ඉහළ ගිය ජූලි මාසයේ දී ඔක්ජොකුල් ග්ලැසියරය පිහිටි තැන අද වෙන විට ඉතිරිව තිබෙන විශාල ගලක ඔවුහු ලෝකඩ ඵලකයක් සවි කළහ. එහි සඳහන් වෙන්නේ මෙවැන්නකි.


අනාගතයට ලියුමක්


“අපට අහිමි වී ගිය පළමු දූපත් ග්ලැසියරය ඔක් ග්ලැසියරයයි. ඊළඟ වසර 200 වන විට අප දන්නා සියලු ග්ලැසියර මෙම ඉරණමට මුහුණ දෙනු ඇත. අප මෙම සමරු ඵලකය පිහිටුවන්නේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද ? හා කළ යුත්තේ කුමක්ද ? යන්න අප දන්නා බව සිහිපත් කිරීමටය. අප එය කළාද, නැතිද, යන්න දන්නේ ඔබයි. ” යනුවෙන් එහි සඳහන්ය.


“අයිස්ලන්තයේ සිටින අපට පමණක් නොව, ලෝකයේ සියලු දෙනාට කරන සිහිපත් කිරීමක් ලෙස මෙය හැඳින්වීමට මා කැමතිය. අප මෙහිදී අත් විඳින්නේ දේශගුණ විපර්යාසයේ එක් මුහුණුවරක් පමණයි.” අයිස්ලන්ත අගමැතිනි කැට්රින් ඒ අවස්ථාවේ දී ප්‍රකාශ කළාය.


සිය බිරිඳ හා සත් හැවිරිදි දියණිය සමඟ මෙම අවස්ථාවට පැමිණ සිටි බර්ලින් විශ්වවිද්‍යාලයේ වායු ගතික විද්‍යා මහාචාර්යවරයෙකු වන ජුලියන් වීස්ගේ අදහස නම්, ග්ලැසියරයක් අහිමි වීම යනු දකින්නට හැකි දෙයක් වන නමුත් දේශගුණ විපර්යාසය යනු පහසුවෙන් ඇසට දැකිය හැකි දෙයක් නොවන බවයි.


“මිනිසාට සාපේක්ෂව දේශගුණ විපර්යාසය ඉතා මන්දගාමී ක්‍රියාවලියකැ’යි හැඟුණත්, භූ විද්‍යාත්මක වශයෙන් මේ වෙනස්කම් ඉතා වේගයෙන් සිදුවෙමින් පවතිනවා....... ” ඔහු ප්‍රකාශ කරයි.


ටෙක්සාස්හි රයිස් විශ්වවිද්‍යාලයේ සහය මහාචාර්යවරයෙකු වන රයිස් හෝව් ඒ අමුතු මළගම ගැන දරන්නේ මෙවැනි අදහසකි.


“දේශගුණ විපර්යාසය නිසා ලෝකයට අහිමි වූ ග්ලැසියරයකට මෙවන් සිහිවටනයක් ලබා දුන්නේ පළමු වරටයි. මෙසේ කිරීමෙන් අපට අවශ්‍ය දිය වී ගිය පළමු ග්ලැසියරය හා ලෝකයෙන් නැති වී යන හෝ ලෝකයට අහිමි වී යන දේවල් පිළිබඳව සිහිපත් කිරීමටයි. ඒ දේවල් පිළිබඳව අපට කිසිසේත්ම ආඩම්බර විය නොහැකියි.”


අයිස්ලන්තයේ භූමියෙන් සියයට 11ක් පමණ වැසී තිබෙන්නේ අයිස් වැස්මෙනි. දැනට එහි තිබෙන 400කට අධික ග්ලැසියර වසර 2200 වෙන විට මුළුමනින්ම අතුරුදන් වෙනු ඇතැයි විද්‍යාඥයෝ බිය පළ කරති.

ග්ලැසියරය ක්ෂය වී ගිය ආකාරය පෙන්වන ඡායාරූපයක්

 


ඔක්ජොකුල් ග්ලැසියරය තවදුරටත් ග්ලැසියරයක් නොවන බව වසර 2014දී විද්‍යාඥයෝ සඳහන් කළහ. තවදුරටත් ගමන් නොකර එක තැන නතරව තිබෙන ග්ලැසියරයක් යනු මළ ග්ලැසියරයකි. වසර 1901දී ග්ලැසියරයේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 38ක් විය. 1945 වෙන විට එය වර්ග කිලෝමීටර් පහක් දක්වා අඩු වී තිබූ අතර වසර 2005 ඉක්මී වැඩි කාලයක් යන්නට මත්තෙන් අයිස් තලාව ක්ෂය වී ගියේය. අද වෙන විට එය කිසිදු ග්ලැසියර ආවරණයක් නොමැති පැරණි හා අක්‍රීය ගිනිකන්දකි.


“ඔක් ග්ලැසියරය නැතිවීම ගැන අප අවධානය යොමු කළ යුතුයි. ග්ලැසියර කියන්නේ මේ මිහි මත තිබෙන පිරිසුදුම ජල ගබඩා. ඒ මිදුණු ගබඩාවල වසර දහස් ගණනාවක පෘථිවි වායුගෝලය පිළිබඳව සාක්ෂි තැන්පත් වී තිබෙනවා. ඒ වගේම ග්ලැසියර් කියන්නේ සංස්කෘතිකමය වශයෙනුත් වැදගත්කමක් තිබෙන දෙයක්. මේ ගැටලුව තිබෙන්නේ අයිස්ලන්තයට පමණක් නොවෙයි, වායුගෝලය උණුසුම් වීම නිසා ලෝකයේ අනෙක් ග්ලැසියර්වලටත් මේ ගැටලුව ඇති වී තිබෙනවා. ආසියාවේ හිමාල කඳුවැටිය ඇතුළු කඳු ග්ලැසියර් සියල්ල වේගයෙන් දියවෙමින් පවතින නිසා කලාපයේ ජනතාවගේ ජල සැපයුම වේගයෙන් අහිමි වෙමින් පවතිනවා. ඇන්ටාක්ටිකාවේ අයිස් ටොන් බිලියන 252ක් වසරකට නැති වී යනවා. මේ සිදුවෙමින් පවතින විනාශය නැවැත්වීමට අප වහාම ක්‍රියාත්මක විය යුතු යැයි” ද සයිමන් හෝව් පැවසීය.


සමරු ඵලක ඉදිකෙරෙනුයේ මළවුන් සඳහා නොව, ජීවත් වන්නවුන් සඳහා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


සමකයට ආසන්න වසර පුරාම ඒකාකාරී දේශගුණයක් සහිත, අව්ව වැස්ස යන සංසිද්ධි දෙකම අඩු වැඩි වශයෙන් එක සේ අත්විඳින්නට ලැබෙන අපට නොදැනුණත්, ලෝකයේ උත්තර ධ්‍රැවයේ හා දක්ෂිණ ධ්‍රැවයේ හෙවත් ලෝකයේ උතුරේ හා දකුණේ භූමි ප්‍රමාණයෙන් වැඩි කොටසක් ග්ලැසියරවලින් වැසී ඇති බැවින් ග්ලැසියර හැදීමත්, නැතිවීමත් අපට වඩා ඒ රටවලට බලපායි. එහෙත් අපට එය දැනෙන්නේ වෙනස් ආකාරයකිනි. ලෝකයේ ග්ලැසියර දියවීමේ විපාකය දූපතක් වන අපේ රටට ලැබෙන්නේ එය සාගරයෙන් යටවීමෙනි. තවත් වසර ගණනාවක් ගත වෙන විට මාලදිවයින වැනි දූපත් සම්පූර්ණයෙන්ම යටවීමට නියමිතය.


පරිසරය පද්ධතියක් බැවින් එහි එක් තැනක ඇතිවන කිසියම් දෝෂයක් සමස්ත පද්ධතියටම අහිතකර ලෙස බලපායි.


හරිතාගාර වායු විමෝචනය, ගෝලීය උෂ්ණත්වය, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම හා දේශගුණ විපර්යාසය යන සියල්ල එකිනෙකට සම්බන්ධය.


කාබන් ඩයොක්සයිඞ්, මීතේන්, ඕසෝන්, නයිට්‍රස් ඔක්සයිඞ් හා කලෝරොෆ්ලූරොකාබන් හෙවත් සී.එෆ්.සී යන වායු සහ ජල වාෂ්ප හරිතාගාර වායු වේ. ඒවායින් සිදුවෙන්නේ පෘථිවි වායුගෝලයට ඇතුළුවන හිරු කිරණවලින් පියවි ඇසට නොපෙනෙන අධොරක්ත කිරණ ආදී විකිරණ උරාගෙන, යළි පරාවර්තනය වීමට නොදී රඳවා ගැනීමයි. පෘථිවි වායුගෝලය හා පෘථිවි මතුපිට උණුසුම් පවත්වා ගන්නේ එම ක්‍රියාවලියෙනි. හරිතාගාර වායු නොතිබුණා නම්, පෘථිවිය වාසය කිරීමට නොහැකි තරම් සීතල ග්‍රහලෝකයක් වෙනු ඇත.
පොසිල ඉන්ධන හෙවත් තෙල්, ගල් අඟුරු හා ස්වාභාවික වායු දහනය කිරීම, භූමිය එළි පෙහෙළි කිරීම හා කෘෂිකර්මාන්තය හේතුවෙන් මෙන්ම මහද්වීපික තැටිවල ක්‍රියාකාරිත්වය, ගිනිකඳු පිපිරීම ආදී ස්වාභාවික ක්‍රියා නිසාද වායුගෝලයට මෙම හරිතාගාර වායු නිකුත් වේ.


ඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩි වීම නරක් වන්නා සේ, දැන් සිදුවී තිබෙන්නේ හරිතාගාර වායු ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වීම නිසා පෘථිවිය අවශ්‍ය පමණට වඩා උණුසුම් වීමයි. මෙසේ උණුසුම වැඩි වෙන විට ලෝකයේ ගංගා මුහුදුවලට අඛණ්ඩව ජලය සපයන මූලයක් වන, ගොඩබිම් මතින් ඉතා සෙමින් ගමන් කරන අයිස් තලා හෝ අයිස් ගංගා නමැති ග්ලැසිරය දියවීම දරුණු වන්නට පටන් ගනී.

 

 සමරු ඵලකය

 

 

 

වා මිදුණු ජල ගබඩාවක් ලෙසද සැලකිය හැකිය. ලෝකයේ උතුරේ හා දකුණේ වැඩි වශයෙන් ඇති මෙම අයිස් ගබඩා දිය වෙන විට ඒ ජලය ලෝකයේ මුහුදු ගංගා ඇළ දොළ ආදියට එකතු වේ. මුහුදු ආදියෙහි දැනට පවතින ජල මට්ටම ඉහළ යන විට එයින් ගොඩබිම යටවෙන්නට පටන් ගන්නා අතර අප වැනි දූපත්වාසීන්ට යන එන මං නැති වේ. එය ගෝලීය උෂ්ණත්වය අපේ රටට එල්ල කරන දරුණුම බලපෑම්වලින් එකකි.


මෙම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම යනු සුළුවෙන් තැකිය යුතු ගැටලුවක් නොවේ. පරිසරය වෙනස්වීම හේතුවෙන් වර්තමානයේ දී සීතල දේශගුණයක් සහිත පැති උණුසුම් ස්වභාවයක් ගැනීම, දැනට කාන්තාර පිහිටි ස්ථානවල වනාන්තර හටගනී.


දශක ගණනාවක් මිදී තිබුණු අයිස් තලා දියවීම නිසා එම රටවල මෙතෙක් කල් නොතිබූ ගංගා දිය ඇලි ආදිය සෑදී ඇත. මිදුණු ජල සංචිත දිය වී යන්නට පටන් ගැනීමත් සමඟ මුහුදු මට්ටම ඉහළ යාම නිසා කුණාටු ආදිය බහුලව ඇති වේ. නියඟය හා දැඩි වර්ෂාව ඇතුළු කාලගුණ සංසිද්ධි තීව්‍ර වශයෙන් සිදුවීම ද කාලගුණ විපර්යාසයේ අහිතකර බලපෑම්ය.
ලෝක ඉතිහාසයේ වැඩිම වායුගෝලීය කාබන්ඩයොක්සයිඞ් ප්‍රතිශතය වාර්තා වූයේ 2019දීය.


කාර්මික විප්ලවයේ ආරම්භය සමඟ මහා පරිමාණ කර්මාන්තශාලා බිහිවීම නිසා මහා පරිමාණ ව්‍යාපාර ද ඇති විය. මිනිසා එතෙක් කල් පරිසරයෙන් සොයාගත් සම්පත්වලින් නිපදවා ගන්නා ලද උපකරණ වෙනුවට කෘත්‍රීම අමුද්‍රව්‍යවලින් නිෂ්පාදන කරන්නටත්, ස්වාභාවික අමුද්‍රව්‍යවලින් යන්ත්‍රානුසාරයෙන් නිපැයුම් කරන්නටද වූ බැවින් එම යන්ත්‍ර ක්‍රියාකිරීමට භාවිත කළ ඉන්ධන දහනයෙන් විශාල වශයෙන් පරිසරයට කාබන්ඩයොක්සයිඩ් එකතු විය. වායුගෝලයට වැඩිපුර කාබන්ඩයොක්සයිඞ් එකතු වෙන්නේ ධනවත් ආර්ථිකයක් ඇති, කර්මාන්ත බහුල ඇමරිකාව, චීනය වැනි රටවලිනි. ධනවත් රටවල් කරන වරදට වුවද විපාක ලැබෙන විට සියල්ලන්ටම එක සේ විපාක විඳින්නට සිදුවේ.

 

 

(අන්තර්ජාලය ඇසුරිනි)
නිසංසලා දිසානායක