විද්වත් හමුව

‘සීනි අපේ ජන ජීවිතයට අත්‍යවශ්‍යම අංගයක් වී තිබේ. සීනි සඳහා වෙනම අමාත්‍යවරයකු බිහිවීමෙන්ම ‘සීනි’ අපට කෙතරම් අත්‍යවශ්‍යදැයි තේරුම් ගත හැකිය. 


 සීනි ගැන කියුම් අපේ ජන වහරට එක්ව ඇත්තේ රජ යුගයේ සිටය. ‘අන්දරේ සීනි කෑ හැටි’, ‘අනුන්ගේ සීනි කිරන්න එපා.’, ‘සීනි ද‌ාල වෙඩි තියන්නේ කූඹි කාලා මැරෙන්න’ ආදී කියුම් ඉන් කිහිපයකි. අද වැඩිපුරම ආනයනය කරන සීනි මෙරටදීම නිෂ්පාදනය කරන හැටි ගැන අප කළ සංවාදයකි මේ. 


ප්‍රශ්නය:- මෙරට සීනි අවශ්‍යතාව ඔබ දකින අන්දමට පැහැදිලිවම දේශීයව නිෂ්පාදනය කළ හැකිද? 


පිළිතුර:- අධිකව භාවිත කිරීම නිරෝගී ජීවන පැවැත්මකට යහපත් නොවුණත් සීනි සඳහා අධික වෙළෙඳපොළ ඉල්ලුමක් දකින්නට පුළුවන්. සීනි අද ලංකාවේ බහුලව භාවිත වන වෙළෙඳ ද්‍රව්‍යයක්. 


 ශ්‍රී ලංකාවට අඛණ්ඩව සීනි ආනයනය කරනවා. වාර්ෂිකව ඒ වෙනුවෙන් පිටරටට ඇදෙන මුදල අතිවිශාලයි. බලයට පත්වන ආණ්ඩුවේ ඕනම ඇමැතිවරයකු මුලින්ම කියන්නේ ශ්‍රී ලංකාව සීනි වලින් ස්වයංපෝෂිත කරන බවයි. ස්වයංපෝෂිත වනු තබා සමස්ත දේශීය අවශ්‍යතාවයෙන් 08% ක ප්‍රමාණයක් වත් දේශීයව නිපදවා ගන්නට වත්මනෙහි අප සමත්ව නැහැ. 


ප්‍රශ්නය:- දැනට ආනයනය කරන සීනි ප්‍රමාණය හුදෙක් දේශීය නිෂ්පාදිතය සමඟ සැසඳීමේදී කවර මට්ටමක පවතීද? 


පිළිතුර:- වසරකට ආනයනය කරන සිනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 7 ක්. ඒත් දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 57,000 පමණ බවට ඇස්තමේන්තු කොට තිබෙනවා. ප්‍රතිශතාත්මකව දේශීය නිෂ්පාදනය 8% කට ආසන්නයි. ආනයනික ප්‍රතිශතය 92% කට ආසන්නයි. 


ප්‍රශ්නය:- මේ දත්ත මත දේශීයව සීනි නිපදවීම දැවැන්ත අභියෝයක්. එසේ නම් දේශීයව සීනිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ අභියෝගය ජයගත හැකි ඉලක්කයක් විය හැකිද? 


පිළිතුර:- පැහැදිලිවම ලංකාවේ සීනි නිෂ්පාදනය ස්වයංපෝෂිත තත්ත්වයට ගේන්නට පුළුවන්. අවශ්‍ය කැපවීම ප්‍රධානයි. ඉඩකඩම්, නවීනතම යන්ත්‍ර සූත්‍ර සඳහා සීනි නිෂ්පාදනයේදී අධික ප්‍රාග්ධනයක් වැය කිරීමට සිදුවනවා. නමුත් එම ආයෝජනය දිගුකාලීන සීනි ආනයනය සඳහා යට කරන්න යන දැවැන්ත පිරිවැයත් සමඟ සංසන්දනය කිරීමේදී කෙටිකාලීනව උපයෝගිතාවයක් ලද හැකි ආයෝජනයක්. ඊටත් වඩා ඉන් ලද හැකි රැකියා අවස්ථා බොහෝයි. 


ප්‍රශ්නය:- සීනි නිෂ්පාදනය සම්බන්ධයෙන් දේශීයව පුහුණු ශ්‍රමය. තාක්ෂණික දැනුම වත්මනෙහි මෙරට තුළ සොයාගත හැකිද? 


පිළිතුර:- පැහැදිලිවම ඔය කියන සම්පත් දේශීයව දැනටමත් තියෙනවා. අවශ්‍ය සීනි නිෂ්පාදනයේදී දැනට ලෝකයේ භාවිත වන දියුණුම තාක්ෂණික උපකරණ ආනයනය සඳහා පිරිවැය පමණයි. 


 ප්‍රශ්නය:- ලංකාවේ සීනි ගැන ඇමැති ධුරයක් පවා තිබුණා. මාදුළුවාවේ සෝභිත හිමියන් වරක් පවසා සිටියා සීනි වලටත් වෙනම අමාත්‍ය ධුරයක් පත්කරනවා නම් අමාත්‍ය ධුර බෙදන්න හොඳම අමාත්‍යාංශය ධීවර අමාත්‍යාංශය බව. තෝරුන්ට එක ඇමැති ධුරයක්ද, සාලයන්ට තව ඇමැති ධුරයක්ද, ඇටවල්ලන්ට තවත් ඇමැති ධුරයක් ලෙසද උන්වහන්සේ සීනි ඇමැති ධුරය අවඥාවට ලක් කළා. මෙහෙව් සීනි අමාත්‍යවරයා දේශීය සීනි සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද? 


පිළිතුර:- දේශීය සීනි නියාමනය කිරීම සඳහා අවශ්‍ය බලය සහිත ආයතනයක් පිහිටුවීම ජාතික අවශ්‍යතාවයක්. මෙවැනි ආයතනයක් මගින් උක් වගාව සඳහා වෙන්කර ඇති ඉඩම් උක් වගාව සඳහාම යොදවනවාදැයි නිරීක්ෂණය කළ හැකියි. 2016 වසරේදී බිහිවූ සීනි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වැදගත්. ඒක ජාතික අවශ්‍යතාවයක් ලෙස ගිනිය හැකියි. 


ප්‍රශ්නය:- ආනයනික සීනි සඳහා දැනට අයකරන තීරු බදු ප්‍රමාණය කෙබඳුද? 


පිළිතුර:- සුදු සීනි කිලෝවක් සඳහා රු. 31 ක්ද, දුඹුරු සීනි කිලෝවක් සඳහා රු. 33 ක්ද තීරු බද්දක් අයකරනු ලබනවා. දේශීය සීනි බදු රහිතයි. නමුත් ඇල්කොහොල් නිෂ්පාදනයේදී අධික බද්දක් අය කරනවා. 


 ප්‍රශ්නය:- ලෝක වෙළෙඳ පොළේ සීනි මිලත්, දේශීය සීනි කිලෝවක නිෂ්පාදන මිලත් සංසංදනාත්මකව කෙබඳුද? 


 පිළිතුර:- දේශීයව සීනි නිෂ්පාදනයට යොද‌ා ගන්නා යන්ත්‍රෝපකරණ බොහොමයක් පැරණියි. ඒ නිසා උක් මෙට්‍රික් ටොන් එකකින් අඹරා ලද හැකි ඵලද‌ායිතාවයක අවම මට්ටමකයි පවතින්නේ. (Sugar Re-coverage) ඒ නිසා ඒකකයක නිෂ්පාදන වියදම වැඩියි. සෙවණගල සීනි කිලෝවකට නිෂ්පාදන වියදම රුපියල් 100 කට ආසන්නයි. පැලවත්ත ඊටත් වැඩියි. 


ප්‍රශ්නය:- ඔබ දේශීය සීනි පිරිවැය වැඩි බව කිව්වත් 2018.01.24 දින පුවත්පත් වාර්තා කර තිබූ ආකාරයට ලංකා සීනි සමාගම පෙර වසරේ ලබා තිබූ ලාභය කෝටි 117 කි. සීනි නිෂ්පාදනය ලෙස හුදෙක් අප හැඳින්වුවද මෙම කර්මාන්තය ආශ්‍රිතව බද්ධ වූ වෙනත් ආද‌ායම් මාර්ග තිබෙනවාද? 


පිළිතුර:- පැහැදිලිවම සීනි නිෂ්පාදනය හුදකලා කර්මාන්තයක් නොවේ. ඊට බද්ධ වූ අතුරු නිෂ්පාදන තුළින් සීනිවලට වඩා ආද‌ායමක් ගන්න පුළුවන්. මුලින්ම සීනි සඳහා උක් යුෂ ගන්නවා. ඉන්පසු අතුරු ඵලයක් වන ඇල්කොහොල් හැදීමට මොලැසස් (Molasses) යොද‌ා ගන්නවා. ඉතුරුවන රොඩ්ඩ විදුලිබලයට යොද‌ා ගන්නවා. 


මේ රොඩ්ඩ බලශක්ති ප්‍රභවයක් මුළුමනින්ම උක් ඇල්කොහොල් නිෂ්පාදනයට යොද‌ා ගත්තොත් දැවැන්ත ආද‌ායමක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අධික බදු මුදලක් රජය අයකරනවා. සීනිවලට වැඩි ආද‌ායමක් By-product වලින් ගන්න පුළුවන්. ලෝකයේ බොහෝ රටවල උක් රොඩ්ඩ යොද‌ාගෙන විදුලි බලය නිපදවනවා. ලංකාවේ සීනි කර්මාන්තශාලා වලත් මේවා විදුලිබලය නිෂ්පාදනයට යොද‌ා ගන්නවා. 


ප්‍රශ්නය:- ලංකා සීනි සමාගම 2017 දී කෝටි 114 ක ලාභයක් ලබත්දී සෙවණගල ඉස්කාගාර දෛනික ආද‌ායම ටොන් 850 සිට ටොන් 1550 දක්වාත්, පැලවත්ත ඉස්කාගාර දෛනික ඇඹරුම ධාරිතාව ටොන් 2000 සිට 3000 දක්වාත් වැඩි විමෙන් පෙනී යන්නේ සීනිවලට වඩා අතුරු නිෂ්පාදනවලින් වඩාත් ඵලදායිතාවක් ලැබිය හැකි බව නොවේද? 


පිළිතුර:- පැහැදිලිවම මම කලින් සඳහන් කළ කරුණ වූයේත් එම කරුණයි. 


ප්‍රශ්නය:- මෙහෙව් ලාභ ලබන සීනි කර්මාන්තය 1986 දී ඇරඹූ පැලවත්ත සීනි සමාගමේ බ්‍රිතාන්‍ය බ්‍ුකර්ටේට් සමාගම පලාගියේ ඇයි? 


පිළිතුර:- එම සමාගමේ 49% ක කොටස් රජය සතු වූ අතර පෞද්ගලික සමාගමට සතුවූයේ කොටස් 51% ක්. මේ ආයෝජකයා 1994 දී ඉවත් වුණා. 


 ප්‍රශ්නය:- දැනට ලංකාවේ දේශීයව සීනි නිෂ්පාදන ආයතන මොනවාද? 


පිළිතුර:- සෙවණගල සහ පැල්වත්ත රජය සතුයි. හිඟුරාණ 51% ක් රජයටත් 49% ක් පෞද්ගලික අංශයත් සතුයි. කනතලේ සීනි සමාගම වසා දමා තිබෙනවා. 


 ප්‍රශ්නය:- අග්නිදිග ආසියාවේ විශාලතම සීනි ෆැක්ටරිය වූ කන්තලේ සීනි සමාගම සතුව තිබූ සීනි හදන මැෂින් පරණ යකඩ වලට විකුණන බව 2015.03.02 පුවත්පත් වාර්තා කර තිබුණා. මෙම ආයතනයට සිදුවූයේ කුමක්ද? 


පිළිතුර:- මෙම කර්මාන්ත ශාලාව නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙනවා. නව පරිපාලනය රාජ්‍ය අංශය 51% කොටස් අයිතියක් තිබෙනවා. පෞද්ගලික අංශයේ 49% කොටස් ප්‍රතිශතයට එම්.ජී. ෂුගර් ලංකා (MG Sugar (pvt) Ltd) සමාගම විසින් ද‌ායකත්වය දරනවා. 


 ප්‍රශ්නය:- ඔබ කියන පරිදි අඩුමිලට සීනි ආනයනය කරල උක්වගාව මත්පැන් නිපදවීමට මෙන්ම, ඉතිරියෙන් විදුලි බලය නිපදවීම ලාභද‌ායි නේද? 


 පිළිතුර:- අනෙක් කලාපීය රටවල් විදුලිබලය නිපදවීමට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. උක් ටොන් එකකින් ඇල්කොහොල් ලීටර 250-300 ක් නිපදවන්න පුළුවන් නිසා එහි වටිනාකම ඔබට සිතා ගන්නට පුළුවන්.

 
 ප්‍රශ්නය:- වෙළෙඳපොළේ අද උක් මෙට්‍රික් ටොන් එකක මිල කීයද? 


පිළිතුර:- රු. 12,500 යි. උක් ගොවියාට උක් වගාවට වඩා බඩඉරිඟු වගාව ලාභයි. උක් මෙට්‍රික් ටොන් එකකින් රුපියල් ලක්ෂ 7 ක් ඉපයිය හැකියි. සීනි, ඇල්කොහොල්, විදුලිය ලෙසින්. 


ප්‍රශ්නය:- ලංකාව සීනි වලින් ස්වයංපෝෂිත වීමට වගාකළ යුතු බිම් ප්‍රමාණය කොපමණද? 


පිළිතුර:- දැනට වවන හෙක්ටරයාර් 16,000 ක උක් වගාව හෙක්ටර්යාර් 125,000 ක් තෙක් වවන්න ඕන. හෙක්ටයාර 100,000 මුලින් ඵලදාව නෙළිය හැකියි. 


 ප්‍රශ්නය:- උක් ගසක් අස්වැන්න නෙළීමට ගතවන කාලය හා ආයු කාලය කොපමණද? 


පිළිතුර:- හිටවල මාස 12 න් ඵලදාව ගන්න පුළුවන්. හොඳට නඩත්තු කරල තිබුණොත් ඔය බදුල්ල පැත්තේ සමහර උක් පඳුරු තියෙනවා අවුරුදු 15 ක් තිස්සේ කපන ඒවා. 


ප්‍රශ්නය:- ලංකාව සීනි වලින් ස්වයංපෝෂිත කිරීමට උචිත උක්ගස් ප්‍රභේදය කුමක්ද? 


පිළිතුර:- වැඩි ඵලදාව තියෙන උක් ප්‍රභේද 21 ක් අපි හඳුන්වල දීල තියෙනවා. හොඳම ඵලදාව ඇත්තේ SL 96127 කියන ප්‍රභේදයේ. SL කියන්නේ ශ්‍රී ලංකා. 96 කියන්නේ 1996 හොයාගත්ත කියන එක. 127 කියන්නේ 127 වෙනි පැළය කියන අර්ථයෙන් තමයි මේ නමද‌ාල තියෙන්නේ. 


ප්‍රශ්නය:- දේශීය සීනි කර්මාන්තයට විදේශීය වෙළඳපොළ ජයගත හැකිද? 


පිළිතුර:- යන්ත්‍ර සූත්‍ර ඉපරැණි නිසා කාර්යක්ෂමතාව අඩුයි. හිඟුරාණේ තියෙන්නේ 1960 දී ගෙනාපු මැෂින් සෙවණගල මැෂින් 1980 ගෙනාපු පරණ ඒවා. 


ප්‍රශ්නය:- කන්තලේ සීනි සමාගම නිෂ්පාදනය ආරම්භ කළාම උක් ගස් ආනයනය කරන්න වෙයිද? 


පිළිතුර:- ඇයි පිටරටින් ගේන්නෙ? උක් වගාවට කන්තලේ අක්කර 21,000 තියෙනවා. උක්ගස් ආනයනය නීතියෙන් තහනම්. පර්යේෂණ සඳහා උක් ආනයනයේ එකම බලය ඇත්තේ උක් පර්යේෂණ ආයතනයට පමණයි. 


ප්‍රශ්නය:- දැනට ලංකාවේ සීනි කර්මාන්තයෙන් යැපෙන පිරිස කොපමණද? 


පිළිතුර:- දැනට වගාව හෙක්ටයාර් 16,000 කට ආසන්නයි. ඉන් පවුල් කුටුම්භ 12500 ක ජනතාව ලක්ෂයකට අධික පිරිසක් රැකෙනවා. 


 ප්‍රශ්නය:- අවසන් වශයෙන් සීනි කර්මාන්තය ප්‍රමුඛ පෙළේ කර්මාන්තයක් ලෙස සලකා සීනි නිෂ්පාදනය නගා සිටුවන්නට පාලකයින් විසින් අනුගමනය කළ යුතු සක්‍රිය පිළිවෙත කුමක්ද? 


පිළිතුර:- සීනි ආයතනවල මුල් පෙළේ පරිපාලන නිලධාරින් උක් වගාව හා සීනි නිෂ්පාදනය සම්බන්ධයෙන් විශේෂඥයින් විය යුතුයි. විෂයානුබද්ධ නිෂ්පාදන දන්තයන් නොදත් පුද්ගලයින් මුල් පුටුවලට දේශපාලන අතපෙවීම් මත පත්කිරීම කර්මාන්තයට ඉතා හානිදායකයි. එසේ නොවන්නේ නම් අද‌ාළ පුද්ගලයින්ට විදේශීය දේශීය විශේෂඥයින් ඇසුරෙන් මූලික ශාස්ත්‍රානුකූල හා විද්‍යාත්මකව දැනුම් ක්‍රමවේදයක් ගැන සම්පූර්ණ වශයෙන් අවබෝධයක් ලබාදිය යුතුයි. 


 සීනි නිෂ්පාදනයට අවශ්‍ය අති නවීනතම උක් මෙට්‍රික් ටොන් එකකින් වැඩිම ඵලද‌ාවක් ගත හැකි යන්ත්‍රෝපකරණ තීරු බදු රහිතව ගෙන්වීමට කර්මාන්තකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීම ඉතා වැදගත්. 


ප්‍රශ්නය:- එතකොට කෘෂිකර්මාන්තය පැත්තෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය? 


පිළිතුර:- මෙම කර්මාන්තය රඳ‌ා පවතින්නේ අහිංසක උක්ගොවීන්ගේ දහඩිය මතයි. කෘෂී උපදේශන සේවා, කෘෂි විද්‍යා අංශ වඩාත් පුළුල් ලෙස ස්ථාපිත කරමින් උක්වගාවේ ගැටලු වලදී ගොවීන්ට කඩිනම් විසඳුම් දිය යුතුයි. ඉතා කුඩා බිම් ප්‍රමාණයක් වුවත් උක්වගා කිරීමට කැමැති ගොවීන්ට මඟපෙන්වීම ලබාදීම හා අඩු වියදම් තත්ත්වයක් යටතේ වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීමට මාවත ගොවීන්ට සකසා දිය යුතුයි. 


 එමෙන්ම ස්වභාවික විපත්වලට ඔරොත්තු දෙන වැඩි කන්න ගානක් අස්වනු නෙළිය හැකි උක් ප්‍රභේද ගොවීන්ට හඳුන්වා දිය යුතු හෙයින් වාර්ෂිකව මුහුණ දෙන බීජ උක් ලබාගැනීමේ අපහසුතාවයට පිළියමක් ලෙසින්. 
 ලංකාව සීනි වලින් ස්වයංපෝෂිත කරන්නට කළ යුතු ප්‍රධාන කටයුත්තක් නම් මේ සම්බන්ධයෙන් බරපතළ වගකීම් සමූහයක් ඉටුකරමින් ජාතික මෙහෙවරක යෙදෙන උක් පර්යේෂණ නිලධාරින්ගේ අඩුව සපුරා පර්යේෂණ සඳහා අත්‍යවශ්‍ය පහසුකම් පුළුල් කිරීමයි.

 

 

 

 

සටහන - වජිර ලියනගේ