එළ හරකුන්ගේ සී සෑම

 

 

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පෙරහර මංගල්‍යයන් අතරින් පැරැණිම පෙරහර ද ඉතාම කෙටි දුරක් වීදි සංචාරය කරනු ලබන පෙරහර ද ​ෙවන්නේ කතරගම පුදබිමේ පැවැත්වෙන ඇසළ මංගල්‍යයයි.   


 මේ රට එක්සේසත් කළ දුටුගැමුණු මහා රජතුමාගේ අණ නිසි අයුරින් ඉටු කරනු ලබන සම්ප්‍රදායික චාරිත්‍ර රජුගේ අණ පරිදිම අතීතයේ පටන් අඛණ්ඩව අදටත් සිදුකරන කතරගම පුදබිම තුළ ලංකාවේ අතීත ශ්‍රී විභූතිය ඉස්මතු ​ෙවන චාරිත්‍ර රැසක් ඇසළ සමයේ දී දැකගත හැකිය.   

 

ලංකාවේ පැරැණිම සිද්ධස්ථානයක් ​ෙවන කතරගම පුරවරය ප්‍රවාහන පහසුකම් නොමැති යුගයේ සිට බඩු බාහිරාදිය ප්‍රවාහනය පිණිස තවලම් භාවිතා කරනු ලැබීය. අද වර්තමානයේ මාර්ග කාපට් කර මංමාවත් දියුණු වී ලොරි ට්‍රැක්ටර් වැනි පහසුකම් මිනිසා විසින් භාවිතා කර කඩිනම් සේවයක් ඉටු කරගනිමින් පවතී.   


මිනිසා අතීතයේ භාවිතා කළ තවලම් බැඳි ගවයින් අදටත් සජීවී ලෙස කතරගමදී දැකිය හැක. එනම් කතරගම දෙවියන්ගේ කුඹුරුවල වී සහල් කතරගම දේවාලයට රැගෙන ඒම පිණිස අදත් තවලම භාවිතා කරනු ලබයි.   
දුටුගැමුණු මහා රජතුමා දේවාලයේ පැවැත්ම උදෙසා රාජකාරි 555ක් ස්ථාපිත කරන ලදී. එම රාජකාරි සිදුකරන පිරිස වෙත ජීවත් වීම සඳහා රජුට අයත් ගොඩමඩ ඉඩම් නින්දගම් ලෙස ප්‍රද‌ානය කර ඇත. බුත්තල, කතරගම, බණ්ඩාරවෙළ, රන්දෙණිවෙල, ඇතිමලේ දක්වා ද කතරගම දෙවියන්ට අයත් ඉඩම් ව්‍යාප්ත වී පවතී. මෙම ඉඩම් අතරින් කතරගම දෙවියන්ට කැප කළ ගොඩමඩ ඉඩම් රැසක් පවතී. මෙම ඉඩම් අතරින් කුඹුරු ඉඩම් බුත්තල, පැල්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙම ඉඩම් අතරින් හැටපස් අමුණ, දෙවියන්ගේ වෙල, තොරණ වෙල යන කුඹුරු පිහිටා ඇති අතර මෙම කුඹුරු මැද මුත්තෙට්ටුවේ කුඹුර පිහිටා තිබේ. මෙම කුඹුරු ආශ්‍රිතව හේනයා, පනික්කියා, කත්නිලයා යන පිරිස් නින්දගම් තුළ භුක්ති විඳිති. 

 
ඔවුන් එම වෙල්යායවල් භුක්ති විඳින අතර මුත්තෙට්ටුවේ කුඹුර ද ඇස්වැද්දීම දුටුගැමුණු රජතුමාගේ නියමයකි. විශේෂයෙන් මෙම කාර්යය කුඩා බෙත්මේ හා මහාබෙත්මේ විසින් අධීක්ෂණය කරනු ලබයි. බුත්තල හොරබොක්කේ කුඹුරු අක්කර 500 කි. දෙවියන්ට කැපකළ වෙල ඇස්වැද්වීම විවිධ චාරිත්‍රයන් මගින් ඉටු කරනු ලබයි.   


මෙම කුඹුරු වැඩ කිරීමට පෙර නැකතක් අනුව සිදු කරති. කුඹුර වැපිරීමට පෙර අළු පුහුල් යාගය ලෙස හඳුන්වන යාගය දේවාලයේ පනික්කියා විසින් පුරා රාත්‍රියක් බෙර පද ගසමින් සිදු කරයි. පසු දින උදෑසන සියලුම ගොවියන් එක්ව කුඹුර වගා කිරීම ආරම්භ කරති. මෙම කුඹුරේ සීසෑම වී වැපිරීමට මඩ කිරීම සිදුකරනු ලබනුයේ ගවයින් පමණක් යොදාගෙනය.   


පසුව නැකැත් අනුව ප්‍රථම වී වපුරා දෙවියන්ගේ කුඹුරේ වැඩ කර පසුව අනිත් කුඹුරුවල වී වැපීරීම සිදුකරනු ලබයි. මෙම කුඹුරට මැසිතෙල් හා විෂ රසායනික පෙහොර වැනි ද්‍රව්‍ය යෙදීමෙන් වළකින අතර කිසිදු මැසි රෝග බෝ වීමක් සිදුනොවන බව දේවාලයේ මහාබෙත්මේ දයානන්ද අධිකාරි මහතා පවසයි.   

 

තවලම් ගොනුන් පිට දෙවියන්ට වෙන්කළ වී රැගෙන යමින්

 


දෙවියන්ගේ වෙලේ වැඩ කරන කිසිදු පුද්ගලයකු සෙරෙප්පු නොපළඳින අතර ඔවුහු දෙවියන්ගේ වෙල් අසලින් යන විට දී වැස්සකටවත් කුඩයක්වත් හිසට උඩින් රැගෙන යෑම නොකරති. කුඹුර අස්වැද්දීමෙන් පසුව දේවාලයේ රාජකාරි ලේකම්වරුන් එක්ව ගම් මඩුවක් තනා දේව තිර එල්ලා විශේෂිත වූ යාගයක් පවත්වනු ලබයි. පසු දින දෙවියන්ගේ කුඹුරේ ප්‍රථම වී සහල් උපයෝගී කරගෙන පැණි බතක්, කිරිබතක්, හත්මාලුවක් සාදා දෙවියන්ට පූජා කර සියලුම දෙනාට අනුභව කිරීමට බෙද‌ා දෙති.   


 එයින් ආශිර්වාදය පතන බව මහාබෙත්මේ ලේකම් පවසයි. ඊට පසු දින දෙයියන්ගේ වෙල, හැටපස් අමුණ, තොරණවෙල යන කුඹුරු යායවල්වල ගොයම් කපා පාගා මුල් වී සහල් ටික දෙවියන්ට කැපකොට මහාබෙත්මේ ලේකම් වෙත භාර දෙනු ලබයි.   


මෙලෙස භාර දෙනු ලබන වී කතරගම දේවාලය වෙත තවලම් මගින් රැගෙන එනු ලබයි. වර්ෂයකට පැවැත්වෙන මංගල්‍යයන් 03ක් සඳහා මෙම තවලම පැමිණියත් අද වර්තමානයේ ඇසළ මංගල්‍යයට පමණක් මෙම චාරිත්‍රය සිදුවේ. අවුරුදු මංගල්‍යය (අලුත් සහල් මංගල්‍යය), ඇසළ මංගල්‍යය, කාර්තික මංගල්‍යය යන මංගල්‍යයන් කතරගම දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන මංගල්‍යයන් වේ.   


 දෙවියන්ට වෙන් කළ වී ඇසළ මංගල්‍යය ළං වනවිට දී දේවාලයට පූජා කළ ගවයින් යොදවා ගෝනිවලට වී පුරවා තවලම මගින් දින තුනක ගමනකින් පසුව දේවාලයට රැගෙන එති. තවලමේ යෑම සඳහා තරුණ නිරෝගී පෘෂ්ටිමත් ගවයින් පමණක් යොදා ගනු ලබයි. මෙම ගවයින් දේවාලයට කැපකළ සතුන් වන අතර බුත්තල, පැල්වත්ත, කැළිවැස්ස සහ හොරබොක්ක ප්‍රදේශවල ගව පට්ටිවල ඇති කරන ගවයින් වෙති.   


මෙම ගමන් ගන්නා තවලම භාරව කුඩාබෙත්මේ මහාබෙත්මේ මුහන්දිරම් ලෙස තවලම් මුහන්දිරම් දෙකක් සිටිති. මෙම එක් මුහන්දිරම් සතුව ගවයින් 64ක් අතීතයේ යොදා ගනු ලැබුව ද වර්තමානයේ දී යොදා ගනු ලබනුයේ 10ක් 15ක් පමණ ගවයින් කීපදෙනකි.   


තවලම පිටත් වීමට පෙර දින ගවයින් පිරිසිදු කර නහවා මල් යහනක් බැඳ පහන් දල්වා දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගවයින්ගේ කරේ පඬුරු බැඳ ගමන පිටත් වේ. මෙම තවලම කැළිවැස්ස නම් ගමින් පිටත් වී මෙලෙස පැමිණි පසුව මහාබෙත්මේ හා කුඩාබෙත්මේට අයත් තවලම් පංගු දෙකෙන් වී රැගෙන එන ප්‍රමාණය ලිඛිතව දේවාලයේ ගබඩා භාර රාළ වෙත දන්වා එවනු ලබයි. පසුව අවශ්‍ය ලෙස වී ගෝනිවලට දමනු ලබයි. එම වරු ගෝනි වර පට බැඳ හීන් ලණුවෙන් දෙපට ලණුව හා ගාත් ලණුව යොදා ගනිමින් ගවයින් පිට මත දෙපැත්තට සමබර ​ෙවන සේ වරු ගෝනි තැම්පත් කරනු ලබයි. පසුව තවලමට සම්බන්ධ ​ෙවන ප්‍රධාන ගවයාගේ බෙල්ලෙහි සොකඩය නම් උපකරණයක් ගැට ගසනු ලබන අතර අනිත් ගවයින්ගේ බෙල්ලෙ හි මිණි ගෙඩි ගැට ගසනු ලබයි. මෙසේ ගැට ගසන මිණි ගෙඩි ශබ්දයට වන සතුන් බිය වන බව තවලම් බාරකරුවන් පවසයි.   
පැල්වත්ත බුත්තල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට පිවිස තවලම කතරගම දක්වා ගමන් අරඹනු ලබයි. වීවලට අමතරව අතු පන්දළම අවශ්‍ය වන කරඳ පත්‍ර මෙන්ම දිය කැපීමේ මංගල්‍යයට අවශ්‍ය වන තල් අතු ද තවලම මගින් කතරගමට රැගෙන එනු ලබයි.   


ගමන් කරනු ලබන තවලම විවේකය ගැනීම සඳහා විවිධ ස්ථානවල රැඳී සිටිති. බුත්තල කුඩාඔය අසළ දී ගවයින්ට ජලය බීමට සලස්වා විවේකය ගනු ලබයි.   

 

දෙවියන්ට වෙන්කළ  වී මැනීම

 

 

මෙසේ පැමිණෙන විට දී කවි ගී ගායනා කරමින් මෙම තවලම ගමන් කරන අතර බුත්තල ගෝනගංආර ප්‍රදේශයේ දී ගවයින් පිට වූ ගැල් ලිහා ගවයින්ට තණ කෑමට සලස්වා රාත්‍රී ලැඟුම් ගෙන නැවත පිටත්වීම ආරම්භ කරති. බුත්තල කතරගම මාර්ගය ද අලි ඇතුන් ගහනය වන ප්‍රදේශයක් වන අතර යන එන රථවාහනවලින් කෑම ඉල්ලා සිටින වන අලින් ද මඟ හරස් කරමින් සිටීම නිසා මෙම වී ගෝනි රැක ගැනීමට අලින්ද පළවා හැරීමට තවලම් බාර මුහන්දිරාම්ලාට සිදුවේ.   


සෙල්ල කතරගමට පැමිණ අක්කර 20 මාර්ගයෙන් කතරගම දේවාල භූමියට පැමිණෙන තවලම්කරුවන් රැගෙන පැමිණි වී ගෝනි ටික දේවාලයේ ගබඩා රාළ වෙත බාර දී සිට තවලම ගමන අවසන් කරති.   


මෙම ගවයින් පුරා දින 15ක් කතරගම දේවාල භූමියේ රැඳී සිටින අතර පෙරහර අවසන් කර දිය කැපීමෙන් පසුව දේවාලයට පූජා කරන තවත් ගවයින් ද කැටුව පැල්වත්ත ගම බලා පිටත් වී යනු ලබයි.   


දෙවියන්ගේ වෙලේ වී ආලත්ති අම්මලා විසින් මෝල් ගස්වලින් කොටා එම සහල් ප්‍රථම පෙරහර දින දෙවියන්ගේ දානයට පූජා කරන බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක මහතා පවසයි.   


දේවාලයේ රාජකාරි සිදුකරන ආලත්ති අම්මලාට ඇතුළු රාජකාරිකරුවන් සඳහා සිය රාජකාරි නිලය වෙනුවෙන් දෙවියන්ගේ නින්දගම්වලට අයත් වී සහල් කුරුණිවලින් මැන ලබා දීම සිදුකරන බව බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා පවසයි.   


 සියලුම රාජකාරිකරුවන් දේවාලයේ නිල මහාබෙත්මේ දයානන්ද අධිකාරි මහතාගේ නිල පොතේ අත්සන් කර මෙම වී සහල් ලබා ගැනීම ද දැඩි භක්තියකින් සිදුකරති.   

 


● මූලාශ්‍රයන් ලබා ගැනීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහින්ද දලුපොත මහතා, රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධන කපු ධුරන්දර සොමීපාල ටී. රත්නායක මහතා, කතරගම දේවාලයේ ලේකම් දයානන්ද අධිකාරි මහතා හා කතරගම ජනකතා ආශ්‍රයෙන්.   

 

 

 

 

කතරගම කේ.ඩී. දේවප්‍රිය