
(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
ඉකුත් පාර්ලිමේන්තුවට පළමුවරට පත්ව සිට මෙවර පත් නොවූ මන්ත්‍රීවරුන් 32කට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි වේ.
එයට හේතුව ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ වසර පහක කාලයක් සම්පූර්ණ නොකිරීමය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුපට සුදුසුකම් ලැබීමට නම් ඔවුන් අඛණ්ඩව වසර පහක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු වේ
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා මනාපයෙන් හා ජාතික ලැයිස්තුවලින් නවක මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර ඔවුන්ගේ මන්ත්‍රීධූරය වසර හතරයි මාස අටකට පමණ සීමා විය.
එබැවින් පසුගිය පාර්ලිමේන්තුව පළමුවරට නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට වසර 5ක කාලයක් සම්පූර්ණ කිරීමට නොහැකි විය.
වසර පහක කාලයක් සම්පූර්ණ කළ මන්ත්‍රීවරයකුට මූලික මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක් විශ්‍රාම වැටුප් ලෙස හිමිවේ.
විශ්‍රාම වැටුප් අහිමි වන මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ අය වන අතර එම සංඛ්‍යාව 23 කි. එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ විශ්‍රාම වැටුප අහිමි වී ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් හතර දෙනෙකුගේ සහ ජවිපෙ එක් මන්ත්‍රීවරයෙකුගේ විශ්‍රාම වැටුප අහිමි වී තිබේ
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ මලික් සමරවික්‍රම, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, චතුර සේනාරත්න, ආනන්ද අලුත්ගමගේ, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චන්දිම ගමගේ, කරුණාරත්න පරණවිතාන, දයා ගමගේ, ආශු මාරසිංහ, සමන් රත්නප්‍රිය, නඩරාජා තිලකේෂ්, එස්. වේලුකුමාර්, මොහොමඞ් මන්සුර්, සිසිර කුමාර, රහුමාන් ඉස්තාන්, නාලක කොලොන්නේ, තුසිතා විජේමාන්න, සන්දිත් සමරසිංහ , එම්. නවාවි, එම්. සල්මන්, ඒ. හෆිස් යන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහිමි වේ.
පාර්ලිමේන්තුව විසිරවීමට පෙර මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූ එක්සත් ජාතික පෙරමුණු හිටපු පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාට ද විශ්‍රාම වැටුප් අහිමි වේ.
මීට අමතරව සමඟි ජන බලවේගය නියෝජනය කළ මයන්ත දිසානායක මහතා මෙවර එම පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ බැවින් ඔහු එයින් පාර්ලිමේන්තුවට පත්වුවහොත් විශ්‍රාම වැටුප අහිමි නොවනු ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂාන් ප්‍රේමරත්න, මනෝජ් සිරිසේන හා ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක යන මහත්වරුන් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්නොවීම හේතුවෙන් විශ්‍රාම වැටුප අහිමිව ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට ද විශ්‍රාම වැටුප අහිමි වේ.
මෙවර විශ්‍රාම වැටුප් අහිමි වන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන්නේ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය සහ සිවප්‍රකාශම් සිවමෝහන්, කවීන්ද්‍රන් කෝඩීෂ්වරන්, ඊෂ්වරන් සරවනපවන් යන මහත්වරුන්ය.
COMMENTS
ඔබට දැන් සතුටුද.? විශ්‍රාම වැටුප් නැතුව දැන් කොහොමද ජිවත් වෙන්නේ.?
රටේ මහජනතාවගේ මුදල් හොරකම්කර ගත්ත ඒවා ඇති පරම්පරා 10 කට. තව පෙන්ෂන් එකත්...?
විශ්‍රාම වැටුප් හිමිකම අතීතයටත් බලපාන අයුරින් සම්පූර්ණයෙන්ම අහෝසි කළයුතුයි.
සතුටු දායක පුවතක්...
මෙයත් ජනතාව ලබපු ජයග්‍රහණයක්.. ඒ වගේම මාස කීපයකට පත්වුණු මැතිවරණයට දුන් බදු රහිත වාහන නැවත පවරාගන්න.
ජනාධිපතිතුමනි, මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරදමන්න. නැතිනම් ඔවුන්ටත් අනික් රජයේ සේවකයින්ට මෙන් විශ්‍රාම වැටුප් ගැනීමට අඩුවශයෙන් අවුරුදු30ක්වත් මන්ත්‍රී කෙනෙක් හැටියට සේවය කළ යුතුයි කියා කොන්දේසියක් පනවන්න.
විශ්‍රාම වැටුප් කුමටද? ඔවුන් ජනතා සේවයට කැමැත්තෙන් ඉදිරිපත් වුනානේ.
පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂවල බොහෝ මන්ත්‍රීවරු තම කාලයේදී ඇතිතරම් හරි හම්බකර ගන්නවා. ඒ නිසා ඔවුන්ට රටේ මහජන මුදලින් විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැහැ. රටේ මුදල් කාබාසිනියා කරන විශ්‍රාම වැටුප් ක්‍රමය නවත්වා දැමිය යුතුයි. කලාතුරකින් අවංකව සේවය කරපු හොඳ මන්ත්‍රීවරයෙකුට මහජන මතය විමසා බලා විශ්‍රාම වැටුපක් ප්‍රදානය කිරීමේ වරදක් නැහැ.
ඡන්දෙන් පැරදුන මන්ත්‍රීවරුන්ට කොහොමද විශ්‍රාම වැටුපක් ගෙවන්නේ.?
සාමාන්‍ය මිනිහෙක්ට විශ්‍රාම වැටුපක් ගන්න අවුරුදු තිහ හතලිහ කඹුරන්න ඕනෑ. මෙයාලට අවුරුදු 5ක් වැඩකළාම විශ්‍රාම වැටුපක් ගෙවන්නේ ඇයි?
ඔන්න අලුත් ආණ්ඩුවට කරනවා නම් වැඩක්... අවුරුදු 5න් විශ්‍රාම වැටුප් දෙන එක..
ඕක නිසා තමයි පරණ පාර්ලිමේන්තුව අරගන්න වැඩකළේ... නැතිව රටට ආදරේට නොවේ.
හිතුවේ රාජපක්ෂලාව ජනේලෙ එල්ලන්න... සිද්දවුණේ පැන්ෂන් නැතිව ගෙදර යන්න.