පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමට රහස් පොලිසිය ගත් තීරණය යුක්ති සහගත නොවන බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අවධාරණය කර ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් රහස් පොලීසිය නිසියාකාර විමර්ශනයක් කොට නොමැති බව හෙළිවීම නිසා නීතිපතිවරයා දුන් විශේෂ ලිඛිත උපදෙස්වලට අනුව විමර්ශන සිදුකොට මාසයක කාලයක් ඇතුළත එහි ප්‍රගතිය වාර්තා කරන ලෙස නීතිපතිවරයා රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු එහි උසස් නිලධාරීන්ට අවධාරණය කළ බව ද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

ලෝකයේ හැමදාමත් පන්ති දෙකක් තිබුණේය. ඒ බලය ඇති පන්තිය හා බලය නැති පන්තිය ලෙසය. බලය ඇති පන්තිය සාතිශය සුළුතරයකි. බලය නැති පන්තිය සාතිශය බහුතරයකි. එහෙත් බලය ඇති සුළුතරය බොහෝවිට නීතිය තමන්ට අවශ්‍ය පරිදි හැසිරවූයේය. කවර සාපරාධයක් කළද තම ගැලවුම පිණිස නීතිය යොදා ගත්තේය.

සමාජ යුක්ති ධර්මයට මුළුමනින්ම පටහැණි වුවද යථාර්ථය පෙර දැක් වූ දේය. එම නිසාම සමාජයේ පතුල බිඳගෙන ප්‍රකාශයට පත් වූයේ සියල්ලන්ටම නීතිය සමාන විය යුතු බවය. අලුත් ආණ්ඩුවේ සටන් පාඨයක් වූයේද එක රටක් එක නීතියක් යන්නයි. එයට මෙරට බහුතර ජනයාගේ ප්‍රසාදයත් අනුමැතියත් හිමි විය. එහෙත් නීතිපතිවරයා පවසන්නේ රියාජ් බදියුදීන් මුදාහැරීමේ රහස් පොලිස් තීරණය සාධාරණ නොවන බවය.

පුද්ගලයකු ආවාට ගියාට අත්අඩංගුවට ගත නොහැකිය. එයට සාධාරණ පදනමක් තිබිය යුතුය. යුක්තිගරුක සාධක තිබිය යුතුය.

පොලිසියට බලය ඇත්තේ එබන්දකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පමණි. අදාළ පුද්ගලයාට දඬුවම් නියම කරන්නේද නැද්ද තීරණය කරනු ලබන්නේ අධිකරණය මගිනි. පැමිණිලි පාර්ශ්වයටත් විත්ති පාර්ශ්වයටත් ඇහුම්කන් දී සාධාරණ නිගමනයට අධිකරණය එළැඹේ. එය විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියකි. අධිකරණයෙන් ඔප්පු වනතුරු ඕනෑම අයකු සැකකරුවකු පමණි. අධිකරණ ක්‍රියාවලිය දියත් වන්නේ එබඳු සාධාරණ පදනමකින්ය. එහෙත් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ප්‍රකාශ කරන්නේ රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැරීමේ රහස් පොලිස් තීරණය සාධාරණ නොවන බවය.

රියාජ් බදියුදීන් නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැක කටයුතු පුද්ගලයකු ලෙසය. ඔහු තවම වරදකරුවකු වශයෙන් ගණන් ගැනීමටද නොහැක. පාස්කු ප්‍රහාරය ඉතිහාසයට එක්වන්නේ මානව සංහතියේ කුරිරුතම සිදුවීමක් ලෙසය. ආගමික අන්තවාදයෙන් උමතුව එල්ල කළ එම කුරිරු ත්‍රස්ත ප්‍රහාරය මානව හිතවාදී මුළු මහත් ලෝකයම බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දුටුවේය.
මානව වංශ කතාවට කළු පැල්ලමක් හා කළු කුහරයක් විවර කළ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන්ට ඉහළම දඬුවම් ලබා දිය යුතුය. මහා මනුෂ්‍ය ඝාතනයක හවුල්කරුවන්ට නිදැල්ලේ සිටීමට ඉඩ දීම යුක්තිගරුක මානව අධ්‍යාත්මය දරා නොඉවසන්නෙකි.

රියාජ් බදියුදීන් නමැත්තා අත්අඩංගුවට ගත් මොහොතේ සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්ත මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පිළිගත හැකි සාක්‍ෂි මත පදනම්ව බවය. ඉන් මාස පහ හමාරකට පසුව රියාජ් බදියුදීන් නමැත්තා මුදාහැර තිබිණි. ඒ අවස්ථාවේදී ද හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ ඔහුට නඩු පැවරීමට තරම් හේතු නොවන බවය.

සාධාරණ හේතු නොමැතිව අත්අඩංගුවට ගැනීම, මාස පහ හමාරක් වැනි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම කිසිසේත්ම සාධාරණ නැත. එය වරදකි. එමෙන්ම නීතිපතිවරයා පවසන ආකාරයට පොලිසිය මෙහිදී නියමාකාර විමර්ශනයක් කර නැත.
ඔහු ජංගම දුරකථන 16ක් භාවිත කළ බවට හෙළි වී ඇතත් ඉන් ජංගම දුරකථන 12ක්ම රහස් පොලිසිය සොයාගෙන නොමැත. එමෙන්ම මෙම සිදු කළ විමර්ශනවලදී රියාජ් බදියුදීන් නමැත්තා මුදල් විශුද්ධිකරණය කර ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කර නොමැති බවද නීතිපතිවරයා අවධාරණය කර ඇත.

රියාද් බදියුදීන් නමැත්තාගේ සහෝදරයා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ය. දේශපාලන ලෝකය යනු ඩීල්වලින් පිරුණ තැනකි. ඒ අනුව එබදු ඩීල් එකක් නිසා රියාද් මුදාහරින ලදැයි සමාජයේ සාකච්ඡාවට ලක්විය. කුමන හේතුවක් මත වුවද අනීතික ක්‍රියා මෙරට ජනයා නොඉවසන බව අවධාරණය කළ යුතුය.

(***)