බොහෝ රටවල් පූර්ණ අරාජිකත්වයට තල්ලු‍ වී ගියේ බල හුවමාරුව තුළිනි. ප්‍රජාතන්ත්‍රවාදයට පස්ස හැරවූ රටවල් බොහොමයක් කාබාසිනියා විය. ‘ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ අර්බුද ඇති තවත් අප්‍රිකානු රටක් වන බටහිර අප්‍රිකාවේ ගිනි බිසව් (GUINEA BISSAV) රාජ්‍යයේ ජනාධිපති මාරියෝ වාස් වෙනුවෙන් අද දියත රාජ්‍ය නායක පිටුව වෙන් වේ. 


ගිනි බිසව් රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. එහෙත් මෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. පසුගිය මාස 18 තුළදී ආණ්ඩු පෙරළි 4ක් සිදු වූ ලෝකයේ තවත් අපායකි. දේශපාලන උප්පරවැට්ටි තුළින් අටවාගත් වර්තමාන ආණ්ඩුව ද එහි ජනතාව ගොනාට අන්දවමින් ඉදිරියට ඇදී යයි. ගිනි බිසව් රටේ ද ලංකාවේ මෙන් දේශපාලන විහිළු සිදුවේ.  
1974 වසරට පෙර ලන්දේසීන් පෘතුගීසීන් විසින් කා දැමූ ගිනිබිසව් රට පසුගිය වසර 44 තුළදී දේශයේ සම්පත් විකුණා කෑ වෙන්දේසීන් විසින් අගාදයට තල්ලු‍ කරන ලදී. එක් පැත්තකින් අන්ලාන්තික් සාගරයයි. තවත් පැත්තකින් සහරා කාන්තාරයට, සෙනෙගාලයට  සහ ගිනියා යන රටවලට මැදිව ගිනි බිසව් පිහිටා ඇත. දැන් ජනගහණය ලක්ෂ 19 කට වැඩිය (18,15,698). ගිනි බිසව් වර්ගකිලෝමීටර් 36,125ක් හෙවත් වර්ග සැතපුම් 13,948 ක් විශාලය. ලොව අස්ථාවරම රාජ්‍යයන්ගෙන් එකකි. කලක් පෘතුගීසි කොළනියකි. ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටවලට වැඩිපුරම වහලු‍න් ගෙන ගියේ මේ රටෙනි.  කි.මී. 4200ක් දිග කොන්ගෝ ගංගාව (CONGO RIVER) මේ රට හරහා ගලාගොස් අත්ලාන්තික් සාගරයට ඇද වැටෙන නමුන් ඒ මහා ජලස්කන්ධයෙන් රටේ කෘෂිකර්මාන්තය නංවා සිටීමට නොදන්නා මොළයක් නැති ඔල මොට්ටල නරුම පාලකයින් ඉන්න රටකි. රට එක තැනම ලොප් වී ඇත්තේ මේ නිසාය.  


මේ ගිනි බිසව් රටේ ද පාලකයින් රට නංවනවා වෙනුවට බලය මාර්ගයෙන් තම පවුල් සංස්ථාව තර කර ගනී. ඔවුන්ගේ ද එකම උපාය මාර්ගය වී ඇත්තේ ජනතාවට කොකා පෙන්වීමයි. නිදහසින් (1974) පසු ප්‍රධාන දේශපාලන පක්ෂ 2ක් රාජ්‍ය බලය නතු කර ගත්හ. ඒ පක්ෂ දෙක PAIGC සහ PRS පක්ෂයි. ගිනි බිසව් රටේ මුළු ජනගහණයෙන් තුනෙන් දෙකක්ම (2/3) දරිද්‍රතාවයෙන් පෙළෙන්නේ දේශපාලකයින්ට ශාප කරමිනි. මෙහි ජනතා පිබිදීම් සිදු වෙද්දී ආණ්ඩු ඒවා යටපත් කරන්නේ රට පුරා භීෂණය වපුරවමිනි. 1974න් පසු මෙහි කිසිම ජනාධිපතිවරයෙකුට සිය පස් අවුරුදු පාලන කාලය සම්පූර්ණ කරගත නොහැකි විය. ආණ්ඩු පෙරලූ කුමන්ත්‍රණ වැඩි සංඛ්‍යාවක් සිදු වූ රටකි ගිනි බිසව් රාජ්‍යයය. ජනතා පීඩනයේ උච්ඡ අවස්ථාවක් වශයෙන් 2008 වර්ෂයේ දී එහි හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධිය හැඳින්විය හැක.  


2018 ජනවාරි 31 දා ගිනි බිසව් රාජ්‍යයේ ජනපති මරියෝ වාස් (J.Mario Vaz) විසින් එරට අගමැතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස දන්නවා ඔහු ඉල්ලා අස්වූ පසු නව අගමැතිවරයෙකු පත් කරන ලදී. එරට දේශපාලන අර්බුදය ගිනි බිසව් ජනපතිවරයා විසින් විසඳන ලද්දේ මෙසේය. ව්‍යවස්ථානුකූලවය. මෙවැන්නක් ලංකාවේ සිදු නොවීය.  


‘‘ජොමාව්”‍ යන අන්වර්ථ නාමයෙන් ජනප්‍රිය වූ ඔහු 1957 දී උතුරු ගිනියා-බිසාව් හි කැචේ නගරයෙන් පිටත කැලේක්විස් හි මාරියෝ වාස් සහ ඇමීලියා ගෝමස්ට දාව  උපත ලැබීය. විවාහ වී සිටින ඔහුට දරුවන් තිදෙනෙකි. ඔහු ලිස්බන්හි ආර්ථික විද්‍යාඥයෙකු ලෙස උපාධිය ලබා ගත් අතර 1982 දී බැන්කෝ ඩි පෘතුගාලයේ ආර්ථික අධ්‍යයන කාර්යාලයේ සීමාවාසික පුහුණුවක් ලැබීය.  2004 දී ඔහු බිස්සාවෝ නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය. ඔහු 2009 වන තෙක් එම තනතුර දැරීය. ඔහු සහ සෙසු ඇමතිවරුන් 2012 වසරේදී කුමන්ත්‍රණයකින් නෙරපා හරින ලදී. 


ඔහු ගිනියාවේ සහ කේප් වර්ඩ්ගේ නිදහස සඳහා වූ අප්‍රිකානු පක්ෂයේ සාමාජිකයෙකු වන අතර 2014 ජනාධිපතිවරණයේදී පක්ෂය නියෝජනය කිරීමේ අයිතිය දිනාගත්තේ 2014 මාර්තු මාසයේ දෙදින ප්‍රාථමික තරගයකදී අපේක්ෂකයින් එකොළොස් දෙනෙකු ඉදිරිපත් කරමිනි. 2014 අපේ‍්‍රල් 13 වන දින පැවති මැතිවරණයේ පළමු වටයේ දී ඔහු සියයට 40.9ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර, දෙවන ප‍්‍රමුඛ පෙළේ ඡන්ද දායකයා වූ නූනෝ ගෝමස් නබියම් ට ලැබීය. දෙවන වටයේ දී, 2014 මැයි 18 වන දින ඔහුට සියයට  61.9ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණි. 


මැතිවරණය අතරතුර, මාරියෝ වාස් දිළිඳුකම අවම කිරීම සහ කෘෂිකර්මාන්තය සඳහා වන ආයෝජන වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවට පොරොන්දු වූ අතර ගිනියා-බිස්සාවු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත් කර ඇති විවිධාකාර අපරාධ ක්‍රියාවලට සහභාගී වීම හා  සමාව දීම විවාදයට තුඩු දෙන්නක් විය. 2012 කුමන්ත්‍රණයෙන් පසු ඔහු පෘතුගාලයට පලා ගිය නමුත් 2013 පෙබරවාරි මාසයේදී ආපසු පැමිණ දින තුනකින් අත්අඩංගුවට ගෙන ඇත. ඇන්ගෝලා විසින් රටට පරිත්‍යාග කරන ලද ඩොලර් මිලියන 9.1 ක ආධාර අතුරුදන් කිරීමේ චෝදනාවට ඔහු සම්බන්ධ බවට චෝදනා එල්ල වූ අතර ඔහු එය ප්‍රතික්ෂේප කරයි. 

 

 


නිදහසින් පසු ගිනියා-බිසාවු හි පස් අවුරුදු ධුර කාලය අවසන් කිරීමට හැකි වූ එකම ජනාධිපතිවරයා වීමේ විශේෂත්වය හොසේ මාරියෝ වාස් සතුය. ඔහුගේ ධුර කාලය අවසන් වී දින හතරකට පසු 2019 ජුනි 27 වන දින ඔහු වෙනුවට ජාතික මහජන සභාවේ සභාපති සිප්රියානෝ කැසාමා පත් කරන ලදී. ඔහු නොවැම්බර් මැතිවරණය තෙක් වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරනු ඇත. ජුනි 29 වන දින, ECOWAS විසින් 2019 මැතිවරණයෙන් පසුව වාස් ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට තීරණය කළේය.


2019 මැතිවරණයේදී මාරියේ වාස් ස්වාධීනව තරඟ කළ නමුත් ඔහුට පළමු වටයේ දී ලැබුණේ  සියයට  12 ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් වන අතර දෙවන වටයට යාමට අසමත් විය. එහි වත්මන් ජනපතිවරයාට ඩොලර් මිලියන 9.1ක් වංචා කිරීම පිළිබඳ චෝදනාවක් එල්ල වී තිබේ. ලෝක ආහාර සංවිධානය (WFP) සපයන ආහාර සලාකය ලබා ගන්නා අයගේ සංඛ්‍යාව 9,60,000 කි. මන්ත්‍රීවරුන් 100ක් සිටින පාර්ලිමේන්තුව නඩත්තුවට අති විශාල මුදලක් වැය කරයි. රට පුරා අල්ලස, දූෂණය ඔඩු දුවා ඇත. දූෂණ චෝදනා එල්ල වූ දේශපාලකයින්ට එරෙහි නඩු වාෂ්ප වීම සීඝ්‍රයෙන් සිදුවෙයි. ලංකාව වගේම ගිනි බිසව් රටේ ද තත්ත්වය මෙයයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තම වාසිය තකා අර්ථ නිරූපණය කිරීම රටක් ආපස්සට යවන ක්‍රියාවකි.  


ගිනි බිසව් රටේ මුළු ජනගහණයෙන් සියයට 70 කට වැඩි පිරිසක් දුක්ඛිත දිවි ගෙවද්දී පාලකයින් හා දේශපාලකයින් සුර සැප විඳින වැඩි දෙනා දිවි ගෙවන්නේ කජු වගා බිම්වලය. මෙහි වැඩි පුරම වැවෙන්නේ කජුය. වැඩිපුරම රැකියා තිබෙන්නේ කජු වතුවලය. කජු වතු බොහොමයක් අයිති පාලකයින්ටය. දේශපාලකයින්ටය. මෙහි විටින් විට බලය ලබා ගන්නේ කජු මුදලාලිලාය. බලය ලබාගන්නා පාලකයින් මහජන දේපොළ සූරා කන්නේ කජු කනවා වගේය.

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූප අන්තර්ජාලයෙනි