කේබල් නිෂ්පාදන කර්මාන්තයට තිබෙන විශාලතම ප්‍රශ්නය වන්නේ ‘ලන්ඩන් මෙට්ල් එක්ස්චේන්ජ්’ නමින් හඳුන්වන ලෝක වෙළෙඳපොළේ තඹ හා ඇලුමිනියම්වල මිල වෙනස්වීමය. එහි මිල හිටි හැටියේ වැඩි වන අතර තවත් විටෙක අඩුවෙයි. අපට තිබෙන ප්‍රශ්නය වන්නේ ලන්ඩන් වෙළෙඳපොළේ තඹ හා ඇලුමිනියම්වල මිල වැඩි වුවද අපේ මිල වැඩි කිරීමට නොහැකි වීමය. එහිදී අපට සිදුවන්නේ අලාභයකි. අනෙක් පැත්තෙන් රුපියල හා ඩොලරය අතර පවතින පරතරයෙන් ද අපට සිදුවන්නේ අලාභයකි. ලන්ඩන් වෙළෙඳපොළේ මිල ඉහළ පහළ යාමට බලපාන්නේ ලෝහවලට තිබෙන ඉල්ලුමය. ඒ වෙළෙඳපොළේ රත්තරන්, තඹ, ඇලුමිනියම් හා සින්ක් යනාදී සියලු ලෝහ වර්ග තිබේ. ඒ වෙළෙඳපොළෙහි රත්තරන්වලට තිබෙන ඉල්ලුම ඉහළ ගියොත් තඹ මිල ද ඉහළ යයි. රන් මිල අඩු වුවහොත් තඹ මිල ද පහළ යයි. සියලු ලෝහවල මිල ඉහළ පහළ යන්නේ රත්තරන්වලට තිබෙන ඉල්ලුම අනුවය. තඹවලට ලෝක වෙළෙඳපොළෙහි ඉල්ලුම වැඩි වුවහොත් මිල ද ඉහළ යයි. 

ලෝක වෙළෙඳපොළ සාධක එසේ වන අතර දේශීය වශයෙන් ගත් විට කේබල් නිෂ්පාදන කර්මාන්තයට රජයෙන් ද සැලකිය යුතු සහායක් නොලැබෙයි. ලංකාවෙහි කේබල් නිෂ්පාදනය කරන්නේ සමාගම් 6 ක් පමණකි. දේශීය වෙළෙඳපොළේ සියයට 38 ක් හිමි කරගෙන සිටින්නේ අප සමාගමය. 

කේබල් අපනයනයෙහි නියුතුව සිටින්නේ ඒ සමාගම් හයෙන් තුනක් පමණකි. විදේශ වෙළෙඳපොළ සමඟ සටනට යන අපට රජයෙන් ආරක්ෂාවක් තිබිය යුතුය. ලෝක වෙළෙඳපොළෙහි අපට සටන් කිරීමට සිදු වී තිබෙන්නේ අපට වඩා වැඩි වේගයකින් නිෂ්පාදන කටයුතු කරන විදෙස් සමාගම් සමඟය. දේශීය සමාගම්වලට විනාඩියකට නිෂ්පාදනය කළ හැක්කේ යම් භාණ්ඩයකින් 100ක් පමණක් නම් ඒ විදෙස් සමාගම්වලට විනාඩියකට ඒ භාණ්ඩ 150ක් නිෂ්පාදනය කළ හැකිය. එසේ වූ විට ඒ එතෙර සමාගම්වලට ඒ භාණ්ඩ (කේබල්) නිෂ්පාදනයට යන වියදම අපට සාපේක්ෂව ඉතා අඩුය. අපගේ තර්කය වන්නේ කර්මාන්ත අමාත්‍යාංශය මාස තුනකට වරක්වත් අප සමඟ සාකච්ඡා කළ යුතු බවය. එසේ කළහොත් පුංචි ප්‍රශ්න විශාල වන්නේ නැත. පුංචි අවධියේම ප්‍රශ්න නිරාකරණය කළ හැකිය. කර්මාන්ත අමාත්‍යාංශයක් තියෙන්නේ ප්‍රශ්න ඇති කිරීමට නොව ප්‍රශ්න නැති කිරීමටය. අදාළ වගකීම් දරන නිලධාරීන් අප සමඟ සාකච්ඡා කළ යුතුය. ජනතාවගේ බදු මුදල්වලින් ඔවුන් නඩත්තු කරන්නේ දේශීය කර්මාන්තකරුවන්ට සේවය සැපයීම සඳහාය. එහෙත් ඔවුනගෙන් විය යුතු සේවය ඉටු නොවන බව නොවළහා පැවසිය යුතුය. 

විදුලි බිල තවත් බරපතළ සාධකයකි. අනෙක් රටවල විදුලිය බිල අපට වඩා බොහෝ අඩුය. උදාහරණයකට ඉන්දියාවේ විදුලිය කිලෝ වොට් පැයක මිල සහ ලංකාවේ විදුලිය කිලෝ වෝට් පැයක මිල අතර පරතරය ඉතා විශාලය. සාමාන්‍යයෙන් එය ලංකාවේ රුපියල්වලින් හය හතක වෙනසකි. එය නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම මිලට බලපායි. ඉන්දියාවේ විදුලිය බිල අඩු නිසා එරට භාණ්ඩ වල මිල ද අඩුය. හේතුව ඒ භාණ්ඩයේ නිෂ්පාදන වියදම ලංකාවට වඩා අඩු වීමය. 

එය එසේ වූ විට ලෝක වෙළෙඳපොළෙහි වෙළඳාමේදී අපට වඩා ඉන්දියානු සමාගම්වලට වාසි අත්පත් කරගත හැකිය. ලංකාවේ විදුලිය නිෂ්පාදන වියදම අවම කර ගැනීමට රටක් ලෙස අප යා යුතු හොඳම විසඳුම හිරු එළියෙන් විදුලිය නිපදවීමය. අප එය කියන්නේ පොතේ ගුරු න්‍යායෙන් නොව අත්දැකීමෙනි. සියඹලාපේ පිහිටි අපේ කර්මාන්තශාලාවෙහි ද හිරු එළියෙන් විදුලිය නිපදවයි. ඒ විදුලිය සියයට සියයක්ම අප විකුණන්නේ ලංකා විදුලි බල මණ්ඩලයටය. ලෝක ජනගහනය බිලියන 7.2 කි. ඒ සමස්ත ජනගහනයම අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරන මුළු විදුලිබල ප්‍රමාණය හිරු එළියෙන් පැයක දී නිෂ්පාදනය කළ හැකිය. හිරු එළිය එතරම් ප්‍රබලය. එය නොමිලේ ලැබෙන දෙයකි. අවශ්‍ය වන්නේ ‘සෝලා පැනලය’ පමණකි. රට පුරා නිවාසවල වහලවල් මත සෝලා පැනල සවි කළහොත් එමගින් නිෂ්පාදනය කළ හැකි විදුලිය ප්‍රමාණය ඉතා විශාලය. එසේ කළහොත් දැනට වඩා අඩු මුදලකින් විදුලිය නිෂ්පාදනය කළ හැකිය. රටක් ලෙසම අප එතැනට යා යුතුය. 

හිරු එළියට අපට මුදල් ගෙවීමට සිදු නොවෙයි. මුදල් වැය වන්නේ පැනල්වලට සහ සවි කිරීමට පමණකි. එහෙත් රජය දැන් කරන්නේ ඩීසල්වලින් විදුලිය නිපදවීම හා පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමය. හිරු එළියෙන් විදුලිය නිපද වූ කල ඩීසල් හා ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමේදී මෙන් පරිසරයට හානි නොවෙයි. ඩීසල් හා ගල් අඟුරු පිටරටවලින් ගෙන්වීමට දැනට රටින් පිටට ඇදී යන ඩොලර් ප්‍රමාණය මහා පරිමාණයෙන් අවම වෙයි. විදුලිය කැපීමෙන් දැනට රටේ ආර්ථිකයට වන හානිය නැතිවෙයි. රටට අවශ්‍ය තරමට විදුලිය නිපද වීමේ හැකියාවක් විදුලිබල මණ්ඩලයට නැත. පෞද්ගලික බලාගාරවලින් මණ්ඩලය විදුලිය මිලදී ගන්නේ එහෙයිනි. ඒ සඳහා ගෙවන මිල ඉතාමත් සුවිශාලය. 

රට මෙන්ම ලංවීම් ද අද බරපතළ මූල්‍ය අර්බුදයක වැටී සිටින්නේ පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම ද හේතුවෙනි. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී අල්ලස් දූෂණ වංචා හා කොමිස් මත රටට සිදුවන හානි ද සුවිශාලය. එහෙත් තව තවත් පෞද්ගලික අංශයෙන්ම විදුලිය මිලදී ගැනීමට යොමුවෙයි. කටයුතු එසේ වන්නේ ඇයි දැයි රටට රහසක් නොවේ. ජනාධිපතිවරයා මීට වසර තුනකට පමණ පෙර දියත් කළ බව කී සූර්යබල විදුලි සංග්‍රාමය ක්‍රියාත්මක වන බවක් ද නොපෙනෙයි.

විදෙස් ආයෝජනවලින් කරන ව්‍යාපෘතිවලට අනුමැතිය ලබා ගත යුත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙනි. ගොඩනැගිලි සහ ඒවාට අවශ්‍ය කේබල් ඇතුළු අනෙක් ද්‍රව්‍ය ලබා ගන්නේ කෙසේද කොහෙන් ද යනාදියට ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතුය. ඒ ව්‍යාපෘතිවලට මෙවැනි කේබල් අවශ්‍යය. ඒ කේබල් සැපයිය හැකි දැයි ආයෝජන මණ්ඩලය අපෙන් එනම් ශ්‍රී ලංකා කේබල් නිෂ්පාදකයන්ගේ සංගමයෙන් අසයි. එහිදී අප ‘බැහැ’ යි කිව්වොත් පමණක් ඒ කේබල් ඒ රටවලින් ගෙන්වා ගැනීමට ඒ විදෙස් සමාගම්වලට අවසර දීම පිළිගත් ක්‍රමවේදයයි. සම්මත ක්‍රමයයි. එහෙත් අප මේ දිවි ගෙවන්නේ ලංකාවේය. රිංගා යාම, ලිස්සා යාම හා නීතිය නැවීම ලංකාවේ සාමාන්‍ය පිළිවෙත බව කාටත් රහසක් නොවේ. ස්වදේශිකයන්ට පමණක් නොව දැන් එය විදේශිකයන්ට ද නොරහසකි. 

අපේ සංගමය එනම් කේබල් නිෂ්පාදකයන්ගේ සංගමය තිබෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් අපට යම් ප්‍රශ්නයක් පැන නැගුණහොත් අදාළ රාජ්‍ය බලධාරීන් හා අදාළ රාජ්‍ය ආයතන සමඟ සාකච්ඡා කර පිළියම් ලබා ගැනීමටය. 

එහෙත් අපට සෑහීමකට පත් විය හැකි මට්ටමේ සහයෝගයක් ඒ රාජ්‍ය ආයතන හා අදාළ බලධාරීන්ගෙන් නොලැබෙයි. ලංකාවේ කේබල් නිෂ්පාදනයෙහි නියුතුවී සිටින්නෝ දේශීය ව්‍යවසායකයෝය. එහෙත් රාජ්‍ය ආයතන හා අදාළ අමාත්‍යාංශවලින් ස්වදේශිකයන්ට ලැබිය යුතු මට්ටමේ සහායක් සහයෝගයක් හෝ සහනයක් නොලැබෙයි. උදාහරණයකට අපි කර්මාන්ත අමාත්‍යාංශය ගනිමු. ඒ අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් අපට තිබෙන ප්‍රශ්න පිළිබඳව අප සමඟ සාකච්ඡා කළ යුතුය. අපට තිබෙන ප්‍රශ්න හා ගැටලු ගැන සාකච්ඡා කර ඒවාට අප දකින අප යෝජනා කරන විසඳුම් පිළිබඳව අවධානය යොමු කර ඒවා ගැන අප සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීම ඒ ආයතනවලත් ඇමැතිවරයාගේත් නිලධාරීන්ගේත් වගකීම හා යුතුකම විය යුතුය. 

අනෙක් බරපතළ කාරණය ඵලදායිතාවයි. රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම ලංකාවේ වැඩ කරන ජනතාව ලක්ෂ 72 කි. අදාළ විද්වතුන් හා වෘත්තිකයන් කර තිබෙන සමීක්ෂණ අනුව ඒ ක්ෂේත්‍ර දෙකෙහිම ශ්‍රම නාස්තිය රුපියල් ශතවලින් බැලුවහොත් අවුරුද්දකට රුපියල් බිලියන 105 කි. ඒ අංශ දෙකෙහිම සේවකයන් දිනකට වැඩ කළ යුතු පැය ගණන අටකි. ඒ පැය අටෙන් බොහෝ දෙනා වැඩ කරන්නේ පැය හයකි. ඒ එක පුද්ගලයකුගේ අවුරුද්දක ශ්‍රම නාස්තිය රුපියල්වලින් 15,000 කි. ඇත්තෙන්ම එය ඊට වඩා වැඩි වනවා මිස අඩු විය නොහැකිය. ඵලදායිතාවය පිළිබඳව තියෙන 5 - එස්, කයිසෙන්, ලීන්, ටී.කිව්.එම්. (Totally Quality Management) සහ ටී.පීඑම්. (Totally Product Maintenance) වැනි සංකල්ප යොදා ගෙන ඒ ශ්‍රම නාස්තිය සියයට 50 කින් අවම කළහොත් ඒ සියයට 50 එකතු වන්නේ ආර්ථිකයටය. 

එසේ කළහොත් නාස්තිය අවම වෙයි. නිෂ්පාදනය වැඩි වෙයි. නිෂ්පාදනය කරන භාණ්ඩයේ මිල අඩුවෙයි. සේවාවේ ගුණාත්මකභාවය ඉහළ යයි. ඒ සියල්ල වන්නේ ශ්‍රම නාස්තිය අවම කිරීමෙනි. සිංගප්පූරුව, ජර්මනිය, ඉන්දුනීසියාව, වියට්නාමය, මැලේසියාව, ජපානය ක්‍රමයෙන් ඉහළට ආවේ ශ්‍රම නාස්තියද අවම කර ඵලදායිතාව වැඩි කිරීමෙනි. කළ යුත්තේ එයයි. කලක් ජපානය ද අපට පසුපසින් සිටි රටකි. නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ ලීක්වාන් යූ 1950 ගණන්වල කිව්වේ තම රට ද ලංකාව සේ දියුණු කළ යුතු බවය. සිංගප්පූරුවේ දියුණුවට ලංකාව ආදර්ශයට ගත යුතු බවය. ලංකාවේ ආදර්ශයට ගත් සිංගප්පූරුව අද සිටින්නේ ලංකාවට වඩා ගව් ගණනක් දුරිනි. ලංකාව අද සිටින්නේ සිංගප්පූරුවට වඩා ගව් ගණනක් පසුපසිනි.  

සිංගප්පූරු ගුවන් සමාගම තම ගුවන්යානා වල ඵලදායිතාව වැඩි කිරීමට නොයෙකුත් ක්‍රමවේද භාවිත කරයි. සිංගප්පූරුවේ සිට ලංකාවට පැමිණෙන ගුවන්යානයක් පැයක් ඇතුළත යළි පිටත් විය යුතු බව ඒ සමාගමේ ස්ථාවරයයි. ඔවුන් බලන්නේ කටුනායකට ගොඩ බැස්සූ යානයේ මගීන් බස්සවා ගෙනා බඩු බා, අලුත් බඩු පටවාගෙන මගීන් ද නංවා ගෙන යළි පැයක් ඇතුළත පිටත් වීමටය. ගුවන් යානයකින් උපරිම ප්‍රතිලාභ ලැබීමට නම් එය තිබිය යුත්තේ ගුවනේ මිස මහ පොළොවේ නොවේ. සිංගප්පූරු ගුවන් සමාගමේ ප්‍රතිපත්තිය එයයි. අද ලෝකයේ බොහෝ ගුවන් සමාගම් සිංගප්පූරු ගුවන් සමාගම අනුගමනය කරයි. එහෙත් ලංකාවේ එසේ වන බවක් අපට නොපෙනෙයි. ටොන් 10ක් පැටවිය හැකි ලොරියක පටවා යවන්නේ ටොන් 7ක් නම් ඒ ලොරියෙහි ඵලදායිතාව සියයට 70 කි. 

එලෙස කළ හැකි හා කළ යුතු බොහෝ දේවල් තිබේ. අපේ රටේ ද බොහෝ දක්ෂ පරිපාලකයෝ සිටිති. එහෙත් ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජනයක් නොගනියි. ඔවුනගෙන් ප්‍රයෝජන ගන්නේ විදෙස් රටවල්ය. සිංගප්පූරුවේ නූතන දියුණුව පිටුපස සිටින්නේ ද ලාංකික පරිපාලකයෝය. ලංකාවේ වතුර හා විදුලිය නාස්තිය ද ඉතා ඉහළය. දියුණු වන සියලු රටවල් දියුණු වී ඇත්තේ නාස්තිය අවම කර ඵලදායිතාව ඉහළ දැමීමෙනි. එහෙත් ලංකාවේ එසේ සිදු නොවෙයි. ඵලදායිතා කාර්යාංශය වැනි රාජ්‍ය ආයතන තිබුණ ද ඒවායෙහි සැලකිය යුතු කාර්යභාරයක් ඉටු නොවෙයි. ඇත්තෙන්ම ඒවා තිබෙන්නේ නමට පමණකි. 

ලංකාවේ වෙළෙඳපොළ ඉතා පුංචිය. ඉන්දියාව හා චීනය වැනි රටවල වෙළෙඳපොළ ඉතා විශාලය. ඒ රටවල වෙළෙඳපොළ ඉල්ලුම වාර්ෂිකව සියයට 9කින් පමණ වර්ධනය වෙයි. ලංකාවේ වෙළෙඳපොළ ඉල්ලුම වර්ධනය වන්නේ සියයට හයකින් පමණය. අපනයනය කිරීමට ද සීමා පවතී. උදාහරණයකට අපේ සමාගම ගතහොත් අපට අපනයනයෙන් ලැබෙන ආදායම දේශීය වෙළෙඳපොළෙන් ලැබෙන ආදායමට වඩා අඩුය. එයට බලපාන්නේ භාණ්ඩයේ මිලය. 

දැන් අප සමාගමේ නිෂ්පාදනයෙන් සියයට 15ක් අපනයනය කරන අතර ඉතිරි සියයට 85 දේශීය වෙළෙඳපොළට සපයයි. අපනයනය කරන ප්‍රමාණය සියයට 15 සිට 25 දක්වා වැඩි කළහොත් අපට සිදුවන්නේ පාඩුවකි. එසේ වන්නේ අපේ රටේ නිෂ්පාදන වියදම ඉහළ මට්ටමක පවතින නිසාය. එහෙත් ඉන්දියාවේ හා චීනයේ නිෂ්පාදන වියදම අපට වඩා අඩුය. එයට විසඳුම මෙරට කර්මාන්තශාලා වසා දමා පිටරටවලින් සියල්ල ගෙන්වීම නොවේ. මෙරට කම්හල් වැසුණොත් රටේ පුරවැසියන්ට අලුත් රැකියා බිහිනොවෙයි. දැනට රැකියා කරන අය රැකියාව නැති වී පාරට වැටෙනු ඇත. අනෙක් අතින් දැනට කරන අපනයනයත් නැවතීමෙන් රටේ දැනට පවතින බරපතළ විදේශ විනිමය අර්බුදය තව තවත් ඔඩු දුවයි. අවසානයේ රට තව තවත් අර්බුදවලට ඇඳ වැටෙයි. අමාත්‍යාංශ, ඇමැතිවරුන් හා රජයේ නිලධාරීන් සිටින්නේ ඒවා ගැන කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කර තීන්දු තීරණ ගැනීමටය. කර්මාන්තකරුවන් කියන සියල්ල කළ යුතු බවක් අපි අදහස් නොකරමු. කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් වඩාත් නිවැරැදි තීන්දු තීරණවලට එළඹිය හැකිය. ඒක පාර්ශ්වික තීන්දු තීරණ නිවැරැදි නොවේ. ඒවා අත්තනෝමතිකය. අත්තනෝමතිකභාවයෙන් සිදුවන්නේ විනාශයම පමණකි. ඒ බව පසක් කරන උදාහරණ ජාත්‍යන්තරයේ පමණක් නොව මෙරටෙහි ද ඕනෑ තරම් තිබේ. අතීතයෙන් පමණක් නොව වර්තමානයෙන් ද එවැනි උදාහරණ සොයා ගැනීම ඉතා පහසුය.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්