• මෙවර ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍ර වුණු ‘පේත’ නවකතාව තුළ ඔබ කලාත්මකව මතු කරන්නේ බිහිසුණු ව්‍යාකූල තත්වයේ ගිලුණු සමාජයක සමාජ-දේශපාලනික තද අඳුරු ඇතුළාන්තයක් බවයි පෙනෙන්නේ. මේ හරහා ඔබ අපට මුණගස්වන සමාජය ගැන මුලින් කතා කරමු.

මෙරට වාමාංශයේ විවිධ මුහුණුවර  හැටියට අපේ සමාජ-දේශපාලනික ඉතිහාසය තුළ බරපතළ ක්‍රියාමාර්ගවලට එළඹුණු සාමාන්‍ය මිනිසුන් එහි ප්‍රතිඵල අත්විඳිනවා. ඔවුන්ගේ ඒ ඓතිහාසික ජීවිතයට පසු එම ඉතිහාසයේ අග්ගිස්සේ ‘ප්‍රේත’ ස්වරූපයකින් එල්ලී සිටින චරිත සහිත සමාජයක් තමයි පිළිබිඹු වෙන්නේ. ඒවා අද අප අතර තියෙන සරල සැහැල්ලු ලිබරල් ජීවිතයට දරා ගන්න බැරි තරමේ  විශාල මිනිස් පරිමාවක් ඇති චරිත. ඒ සමාජය දේශපාලන පුපුරා යාම්වලින් තැතිගත්තු විසම සමාජයක්.

පිළිකා රෝගයෙන් බරපතළ ලෙස අසාධ්‍ය වී සිටි තේවානි නම් එල්ටීටීඊ සාමාජිකාවකට යුද්ධය නිමා වීමෙන් පසුව සිංහල තේ කඩයක සොල්දරයේ ඇගේ මරණය දක්වා රැකවරණය ලබාදී තිබෙනවා. ඊට සම්බන්ධ  දස දෙනෙකුගේ කටඋත්තර තමයි මුලින් එන්නේ. ඒ කොටි නෝනා මියගියේ පිළිකා රෝගයෙන්. ඒ වුණාට එයා ස්වාභාවික මරණයකට කැමැති වෙලා උන්නේ නැහැ. එයා සයිනයිඩ් කා ගෞරවණීය දේශපාලන මරණයක් ලබා ගත්තාද යන උභතෝකෝටික ප්‍රශ්නය ඇතිවෙනවා. ඇය  එයාගේ බලාපොරොත්තුව සපල කර ගත්තා නම් ඇයට සයිනයිඩ් ලබා දුන්නේ කවරෙක්ද? මෙම තත්ත්වය  තවත් සංකීර්ණ වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වරදක් වෙනුවෙන් පොලිසිය ලබාගත්තු ඒ කටඋත්තර විශේෂ අවසරයක් පිට කියවමින් ඒවා ඇසුරෙන් නිගමන කරා එළඹෙන විශේෂ පිරිසක් සිටි නිසා. ඒක එක්සත් ජාතීන්ගේ විවිධ සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන  සංවිධානවල බුද්ධිමතුන්ගෙන් සමන්විත බුද්ධි මණ්ඩලයක්. ඔවුන් ඒ කටඋත්තර, මහජන මතය හා වෙනත් තොරතුරු විශ්ලේෂණය කරමින් මානව හිමිකම් විමර්ශනයකත්, අනාගත ලංකාව වෙනුවෙන් පශ්චාත්-යුද ව්‍යාපෘති පිළිබඳ සැලැස්මක් සෑදීමේත් යෙදී සිටිනවා. ඔවුන් ඒ  සිද්ධිය නිරූපණය වන කෙටි නාට්‍ය කිහිපයක් රඟදක්වා බලනවා.

සැබෑ සිද්ධියේ විවිධ පැති ගැන කියවෙන්නේ ඒ නාට්‍යවලින්. මේ වගේ පේත නවකතාවේ නිරූපණය වන්නේ බරපතළ ව්‍යසනයකට ලක්වුණු සමාජයක්. දෙස් විදෙස් පිරිසකගේ බුද්ධිමය විග්‍රහයට ලක්වන අතරේ ඒ සුන්බුන් මැදින් අලුතින් ජීවන හුස්ම ලබා ගැනීමයි. ගින්නෙන් දැවී ඉතුරු වුණු අළු මතින් ෆීනික්ස් පක්ෂියකුගේ ඉපදීමයි.

• ඔබගේ මේ වියමනෙහි දෘෂ්ටිකෝණය හා ආකෘතිය මේ කෘතිය තුළ රැඳී සිටීමට අපට ආරාධනය කරනවා. දෘෂ්ටිකෝණය, ආකෘතිය හා වෙනත් රචනෝපක්‍රම නවකතාවක දී තීරණය වන්නේ කවර පදනමක් අනුවද?
අන්තර්ගතයක් පිළිබිඹු කරන්න පටන් ගන්න මොහොතේම ඊට ආකෘතියක් බිහිවෙන්න පටන් ගන්නවා. ආකෘතියට බර තබමින් ගොඩනගන අන්තර්ගතයක දී වුවත් මේ තද අන්‍යොන්‍ය බැඳීම පවතිනවා. ගුවන් යානයක ආකෘතිය, හැඩය කියන්නේ ඒකේ පියාසර කර්තව්‍යයේම කොටසක්. කෙනෙකුට ගුවන් යානයක් නොවන ආකෘතියක් සාදන්න පුළුවන්. ඒ වගේ නවකතාවක් නැති පුහු ආකෘතියක් සාදන්න පුළුවන් මේස උඩ තියන ගුවන් යානයක් වගේ.

අජිත් තිලකසේන වගේ ලේඛකයෙක් පවා කරන්නේ තමාගේ සාහිත්‍ය අන්තර්ගතයට විශේෂ භාෂාමය හැඩයක් ලබාදීම විනා හිස් ආකෘතික ප්‍රමෝදයක නිරත වීම නොවේ. ඔහු තමන්ගේ භාෂාව චිත්‍ර ශිල්පියකුගේ පින්තාරුවක් බවට පත්කර ගන්නවා පමණක් නොවේ. තේමාත්මක හා නිරූපණාත්මක සිතුවම් පවා කදිමට අඳිනවා. ඒ වගේ තමාගේ ගැඹුරු අන්තර්ගතයට අසාමාන්‍ය භාෂාත්මක හැඩයක් දීම ජේම්ස් ජොයිස් ‘ෆෙනිගන් අවේක්’ නවකතාවේ දී කරනවා. ඒක මහ රෑ භාෂාවෙන් දකින දිග සිහිනයක් වගේ. ‘පේත’ වියමනේ ආකෘතිය ප්‍රයෝජනවත් වෙන්නේ කතා කිහිපයක් සමාන්තර ලෙස කියන්නට. පැයෙන් පැය ගලා යන කාලය නොව ගලා නොයන සමකාලය හෙවත් සින්ක්‍රොනිකය තුළ කතා පුවත් කිහිපයක් එකට සමගාමීව ගොතා කියන්නටත් ඒක ප්‍රයෝජනවත් වුණා.

• ඔබ ලියූ ‘විශ්‍රාමික පෙම්වතිය’ කෙටිකතා සංග්‍රහයද මෙවර සම්මානිත කෘතියක් බවට පත්වුණා. කෙටිකතා ලියන ඇතැම් ලේඛකයන් නවකතා ලිවීමේදී ඒ නවකතා තුළත් අර කෙටි කතාකරුවාම වරින්වර මතුවන බව පෙනෙන්නට තිබෙනවා. කෙටි කතාවකින් නවකතාවක් වෙන්කර ගන්නට එදා වගේම අදත් නිර්වචන තිබෙනවාද?
ෆෙඩ්‍රික් ජේම්සන්ස් නිවැරදිව කියන්නේ ප්‍රබන්ධය ඥානවිභාගාත්මක ප්‍රභේදයක් බවයි. අපි ගණිතයෙන් ලෝකය තේරුම් ගන්නවා වගේ මේකත් ලෝකය තේරුම් ගැනීමේදී ඥානය ලබා ගන්නේ කෙසේද යන කාරණයේදී එක් ඥාන උත්පාදන සාධකයක්. විධි වික්‍රමයක්. පොම්ප සහිත ජල විදුලි බලාගාරයක්. මෙතැනට ජෝර්ජ් ලූකාස් සම්බන්ධ කර ගත්තොත් අපිට පේනවා එපික් වීර කාව්‍යයේ නිශ්චිත අරමුණකින් කටයුතු කරන වීර චරිතයක් හමුවෙන බව. හෝමර්ගේ ඔඩෙසියස් කාව්‍යය ගත්තොත් ඒකේ මහා වීරයා ට්‍රෝජන් යුද්ධය හමාර වී ගෙදර ඒමේ අරමුණෙන් කටයුතු කරනවා. ඒ වුණාට ලෝකයේ ප්‍රථම නවකතාව ලෙස සැලකෙන සර්වාන්ටේස්ගේ ‘ඩොන් කිහෝටේ’ චරිතය ඊට වෙනස් එකක්. ඒ පිස්සු හාමුගේ අරමුණේ නිශ්චිතභාවය අඩුයි. එයා දන්නේ නැහැ එයා මොනවද කරන්නේ කියලා. දුෂ්ට මකරෙක් කියලා හුළං මෝලකට  පහර දෙනවා.

ගොගොල්ගේ ‘මළ මිනිස්සු’ නවකතාවේ විචිකොප්ගේ චරිතයේ අරමුණ ඩොස්ටොයෙව්ස්කිගේ ‘අපරාධය හා දඬුවම’ නවකතාවේ රස්කොල්නිකොව්ගේ චරිතයේ අරමුණ ඊටත් වඩා හුඟක් ව්‍යාකූලයි. ජෝර්ජ් ලූකාෂ් කියන්නේ නවකතාව දියුණුවීමේදී චරිතය හා පැහැදිලි අරමුණ අතර සහසම්බන්ධය බිඳෙමින් තිබුණු බවයි. මේක තමයි නව ප්‍රබන්ධයේ තියෙන සංකීර්ණ ඥනවිභාගාත්මක රූපය. මං හිතන්නේ ඇන්ටන් චෙකොව් කෙටිකතාවේදී කළේත් මේ අලුත් වෙනස ඇතුළත් කර ගැනීමයි.

අපි අද ඉන්නේ ඊටත් එහා ගිය පශ්චාත් - චෙකොව් වකවානුවක. අද බොහෝදුරට කෙටිකතාකරුවා කෙටිකතාවේදී පාඨකයාගේ අවධානය කිසියම් ධාරණාගත සංසිද්ධියකට වඩා එහි සෞන්දර්ය රූපයට යොමුකර ගන්නවා. එනමුත් ඒ සෞන්දර්ය රූපය තුළ පවා තිබෙන්නේ ඒකීය ධාරණාවක ප්‍රබන්ධමය බලශක්තිය. එය අතිප්‍රබන්ධයක් විය හැකි වුවත් ධාරණාමය එල්ලයක් නිනව්වක් නැති නැති හෑල්ලක් විය නොහැකියි. විශේෂයෙන් කෙටිකතාවෙ අවසානය හා නවකතාවේ අවසානය අතර බොහෝදුරට වෙනසක් දකින්නට අපිට පුළුවන්. නවකතාවක් අවසන් වන්නේ ප්‍රපංචවාදී ලෙස, එනම් යම් යම් ප්‍රපංච හඳුනා ගැනීමෙන් නම් කෙටිකතාවක් අවසන් වන්නේ රූපකාර්ථවත් ලෙසයි. බැද්දේගම නවකතාව අවසන් වන්නේ ගම කැලේට බිලිවීම සිදුවන ප්‍රපංච විපර්යාසයෙන් වුණාට මාර්ටින් වික්‍රමසිංහගේ වහල්ලු කෙටිකතාවේ සිදුවන උපාලිස්ගේ මරණය ශාරීරික මරණයකට වඩා සෞන්දර්යාත්මක අවසානයක්, කලාත්මක කූටප්‍රාප්තියක් වෙනවා. පාඨකයා උපාලිස්ගේ බිරිඳ බවට පත්වෙනවා වෙනුවට දෙතුන් වරක් තම ස්වාමියාගේ කකුල ලෙව කෑවා මදිවාට ඉස්තෝප්පුවටත් නැගලා ඇඳට ළං වෙලා හිස ලෙවකාපු හඳයා බවට පත්වෙනවා. හඳයා ප්‍රපංචයකට වැඩිය කලාත්මක රූපකයක්. මේ රූපකය කොයි තරම් දුර දුවනවා ද කියනවා නං ටයිටස් තොටවත්තගේ හඳයා දක්වාත්, අශෝක හඳගමගේ හඳයා නම් අන්වර්ථ නාමය දක්වාත් දුවනවා.

•     සම්මාන උත්සව ආදී පෙළඹවීම් මෑත කාලයේ සිංහල නවකතාව පෝෂණය වීමට බලපෑ බව ඇතැමුන් කියනවා. මෙරට නවකතාවේ වැටීම හෝ නැගීම පිළිබඳ ඔබ කොහොම ද බලාඉන්නේ?
සම්මාන පෙළඹවීම් නිසා ඇතිවුණු නැගීම හෝ වැටීම තීරණය විය යුත්තේ සාහිත්‍ය විචාරයෙන්ම පමණයි. සරච්චන්ද්‍ර වර්ගයේ විචාරක පෞරුෂයක් අනිවාර්යයෙන් බිහිවන්නේ දැනුම, කියවීම හා කලාත්මක විනිශ්චයේ හැකියාව මගින් වුවත් සම්මාන විනිසුරු ධුරයකට එවැනි දැනුම, කියවීම හා හැකියාව මගින් ඇති කළ පෞරුෂයක් තිබීම අනිවාර්යයෙන් වුවමනා වෙන්නේ නැහැ. අනෙක් අතට සරච්චන්ද්‍ර තම නවකතාව විචාර කෘතියට යොදන නම විශේෂයෙන් වැදගත් එකක්. ‘නවකතා ඉතිහාසය හා විචාරය’ ඒ වුණාට සම්මාන විනිශ්චය වාර්ෂික එකක් නිසා එයින් ඉතිහාසය, සාහිත්‍යයේ සර්වකාලීන ස්වභාවය සම්පූර්ණයෙන් ලොප් වෙනවා. විනිසුරු මඩුල්ලකට ඉතිහාසය හා විචාරය යන දෙකම පිළිබඳ ඒකාබද්ධ ගැඹුරු දෘෂ්ටියක් පැවතිය හැක්කේ ඉතාම කලාතුරකින්. විනිසුරු මඩුලුවලට සිනමාකරුවන්, ටෙලිනාට්‍යකරුවන්, ජනමාධ්‍යකරුවන්, හිත හොඳ කොලු පැටව් කැඳවන්නේ විනිශ්චයෙන් ඉතිහාසය ඉවත් කිරීමටයි. එය සාර්ථක වී ව්‍යාජ සරුවපිත්තල නවකතා රැල්ලක් බිහි වී තිබෙනවා.

• සම්මාන ආදියෙන් ඉහළට එන කෘති පිළිබඳ විධිමත් විචාරාත්මක සංවාදයක් නොමැති වීම කණගාටුවට කරුණක්. මෙම තත්ත්වය සාහිත්‍ය ක්ෂේත්‍රයට කොහොම බලපායිද?
සම්මාන ආදියෙන් බිහිවන්නේ ලේඛකයින් පිරිසකට වඩා විශාල පාඨකයින් පිරිසක්. එකම සාධනීය කාරණය ඒකයි. එනමුත් මෙරට සංගීත ක්ෂේත්‍රයේ හෝ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හෝ ප්‍රේක්ෂකයින් විශාල ලෙස වැඩි වුණත් ඒ ඒ කලාවන් ඉතාමත් ඛේදජනක ලෙස පිරිහුණා. කර්තෘගේ මරණය ගැන විසිල් කරන්නන් පාඨකයාගේ හා ප්‍රේක්ෂකයාගේ මරණය දකින්නේ නැහැ. කර්තෘ පමණක් මැරිලා පාඨකයා අජරාමර වෙන්නේ නැහැ. පාඨකයාගේ මරණයත් සිදුවෙනවා. පාඨකයකු පාසල් වියේදී කියවන ඇනා කැරනිනා හෝ ගම්පෙරළිය හෝ ගෝරා හෝ නොවේ ඇසූ පිරූ තැන් ඇති වැඩිමහලු වයසේදී නැවත කියවන්නේ. එකම පුද්ගලයා තුළ එක පාඨකයෙක් මැරිලා නව පාඨකයෙක් ඉපදිලා. ටාසන් පාඨකයා මැරිලා මොන්ටි ක්‍රිස්ටෝ පාඨකයා උපදිනවා. එයත් මැරිලා මැක්බත්, ඔතෙලෝ, කිං ලියර් පාඨකයා උපදිනවා. වසරින් වසර සම්මාන සීසන් එකෙන් සීසන් එකට උපදින පාඨකයා ඊළඟ සීසන් එකේ මැරෙනවා වගේ පේනවා. ඒ වුණාට අලුත් පාඨකයෙක් උපදිනවාද? නැද්ද? එය සිංහල සාහිත්‍යය සම්බන්ධයෙන් මියෙම්වා රැකෙම්වා ප්‍රශ්නයක්.

මෙවර  ස්වර්ණ පුස්තක සම්මානය දිනූ  ප්‍රවීණ ලේඛක
එරික් ඉලයප්ආරච්චි

(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)