විසි වැනි සංශෝධන ලියැවිල්ල, නව ව්‍යවස්ථාවක් සැකසීම, විස්සේ වගකීම ජනාධිපතිවරයා ගැනීම, කමිටු අවස්ථාව, 19 රැකගැනීමේ විපක්ෂ සාකච්ඡා, පළාත් සභා අහෝසිය, ග්‍රාම රාජ්‍ය යෝජනා, රජයේ විදෙස් ආර්ථික පිළිවෙත් හා මත්ද්‍රව්‍ය මර්දන ක්‍රියාවලිය ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ජා.ජ. බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි.

ප්‍රශ්නය:- විසි වැනි සංශෝධනය නමින් ඉදිරිපත් කළ ලියැවිල්ල සම්බන්ධයෙන් අගමැති අධ්‍යයන කමිටුවක් පත්කිරීමෙන් පසුව ඒ ගැන වාර්තාවක් සකස් කළා. දැන් එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වීමෙන් පසුව ඉදිරි කටයුතු සිදුවෙනවා. සංශෝධනය ආ ගමන්මඟ ගැන ජාතික ජන බලවේගය හිතන්නේ මොකක්ද?
පිළිතුර:- පළමු වැනි කාරණය කැබිනට් මණ්ඩලය මේක අනුමත කළා. සියලුම ඇමැතිවරු ඊට සහාය දුන්නා. කවුරුවත් විරුද්ධ වෙලා තිබුණේ නෑ. ලොකුම විහිළුව වන්නේ ඊළඟට කමිටුවක් පත්කිරීම හා සංශෝධනයට අනුමැතිය දුන් කැබිනට් ඇමැතිවරු පස් දෙනෙකුම ඊට ඇතුළත්වීමයි. එතකොට සංශෝධනයට අනුමැතිය දීලා තිබෙන්නේ කැබිනට්ටුව අධ්‍යයනය කරන්නේ නැතිවයි. හිස් චෙක් එකකට අස්සන් කරලා තමයි කමිටු පත්කළේ. ඇමැති මණ්ඩලයට හිස් චෙක් එකකට අස්සන් කරන්න වෙන්නේම විධායකයේ තිබෙන බලය නිසයි. යෝජනා හැදුවට ඒවා කැබිනට් මණ්ඩලයට දාලා සාකච්ඡා කරලත් නෑ. එක පැත්තකින් මේ නිසා ඇමැතිවරු පත්වෙච්ච අසරණ තත්ත්වය පේනවා. අනෙක් පැත්තෙන් ආණ්ඩුව ඇතුළෙම ඒ ගැන පරස්පරයක් තිබෙනවා. මේක අගමැතිවරයා පියන් කෙනෙකු කරන සංශෝධනයක්. විස්ස සම්මත කරන්න කලින් මෙහෙම නම් සම්මත කළාට පසුව තත්ත්වය හිතාගන්න පුළුවන්.

ප්‍රශ්නය:- ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පැවසුවේ විස්ස යනු තාවකාලික සංශෝධනයක් බවයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙනවා නම් ඇත්තටම ප්‍රශ්නයක් තිබෙනව ද?
පිළිතුර:- තාවකාලික කතාවම බොරුවක්. විස්ස ගේන්නේම අධික බලයක් වෙනුවෙන්. දැනටමත් තිබෙන්නේ බලවත් ආණ්ඩුවක්. ජනාධිපති බලය වගේම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයත් තිබෙනවා. කවුරු හරි කියනවා නම් ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් ඕනෑ කියලා ඒක දැන් තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් නම් තුනෙන් දෙකේ බලයක් තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවක් හදන බව කීම බොරුවක්. අමු කොටි මස් දෙන්නම් දැනට වේලිච්ච කොටි මස් කාපන් වගේ කතාවක්. හරි විදියට ගත්තොත් තාවකාලික පැලැස්තර ඕනෑම නෑනේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනෑ. ඒකට කාගෙත් එකඟතාවක් තිබෙනවා. මුලින්ම කරන්න ඕනෑ ඒක පුළුල් සංවාදයක් බවට පත්කරගෙන රටට ගැළපෙන ව්‍යවස්ථාවක් සැකැසීමයි. මේ කරන්නේ බලය වෙනුවෙන් අනෙක් කණ්ඩායම් ඩෝසර් කිරීමක්. මුලින්ම ආණ්ඩු පක්ෂය ඩෝසර් කරනවා. ඊළඟට විපක්ෂය ඩෝසර් කරනවා. අන්තිමේ දී ජනතාව.

ප්‍රශ්නය:- විස්සේ වගකීම කැබිනට්ටුවේ දී ජනාධිපතිවරයා ගත් බව ඇමැතිවරුන් කියනවා. එහෙම නම් විස්සට පියකු නැති බවට විපක්ෂය නඟන චෝදනාවට පදනමක් තිබෙනවා ද?
පිළිතුර:- හැත්තෑ දෙකේ ව්‍යවස්ථාව හැදුවෙ කවුද කියලා ඇහුවොත් කොල්වින් ආර්. ද සිල්වා කියලා කවුරුත් දන්නවා. හැත්තෑ අටේ ව්‍යවස්ථාව කවුද කියලා ඇහුවොත් ප්‍රධාන නීතිඥ මඩුල්ලක් ඉන්නවා. එහෙත් විස්ස හදපු කෙනෙක් නෑ. අන්තිමේදී වුණේ කවුරුවත් වගකීම බාරගන්නේ නැති නිසාත් හදපු කෙනා හොයාගන්න බැරි වූ නිසාත් සමාජය විසින් ප්‍රශ්න කරනු ලැබූ නිසාත් ජනාධිපතිවරයා වගකීම ගැනීමයි. වගකීම නෙවෙයි. හැදුවෙ කවුද කියලා කියන්න ඕනෑ. මොකද මේකේ ගොඩක් අඩුපාඩු තිබෙනවා. එතකොට ඒ අඩුපාඩු සහිත ව්‍යවස්ථාවක් හදපු කෙනා තවමත් හෙළිදරව් වී නෑ. මේකෙ අඩුපාඩු ගැන ඇමැතිවරුම කියන්න ගත්තා. අර මීයෝ කණ්ඩායම එකතු වෙලා බළලාගෙන් බේරෙන්න ක්‍රමයක් හෙව්වා වගේ. බළලාගෙන් බේරෙන්න උගේ බෙල්ලේ ගෙජ්ජියක් බඳින්න මීයෝ තීරණය කරනවා. හැබැයි බළලා එද්දි ඔක්කොම මීයෝ හැංගෙනවා. ගෙජ්ජිය එල්ලන්න එකෙක්වත් ඉදිරිපත් වෙන්නේ නෑ. මේ ඇමැතිවරුත් එහෙමයි. තැන් තැන්වල විස්ස ගැන කතා කියලා ජනාධිපතිවරයා ඉදිරියේ නිහඬ වුණා. ඉතින් ජනාධිපතිවරයා එහි වගකීම ගත්තා. විස්සේ පියා කවුදැයි එයින් කියැවෙන්නේ නෑ.

ප්‍රශ්නය:- චෝදනා ඇති අයට කමිටු අවස්ථාවේ දී ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. ජාතික ජන බලවේගය එම අවස්ථාව පාවිච්චි කරනව ද?
පිළිතුර:- මේකට නැවතත් කරන්න සංශෝධන නෑ. විස්ස සම්පූර්ණයෙන් හකුලාගත යුතුය යන්න ජාතික ජන බලවේගයේ මතයයි. අපි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලන්නෙත් හෘදය සාක්ෂියට අනුව ඡන්දය පාවිච්චි කරලා විස්ස පරාජය කරන්න කියලයි. විස්ස අනුමත කළොත් පළමු ප්‍රහාරය වදින්නේ ආණ්ඩු පක්ෂයේම ඇමැතිවරුන්ටයි. ඒක පැහැදිලියි. ස්ථිරයි. ඒ නිසා තමුන්ගේ ගෙල තමුන්ගේම අතින් සිඳගන්න ලෑස්ති වෙන්න එපා.

ප්‍රශ්නය:- 19 වැනි සංශෝධනය ගෙන එන අවස්ථාවේ සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය, මාර්තු 12 ව්‍යාපාරය වැනි සිවිල් සංවිධාන හා එක්සත්භාවයක් දේශපාලන පක්ෂවලට තිබුණා. 19 රැකගත යුතු යැයි කියද්දිත් ඒ එක්සත්භාවය තිබෙනවාද?
පිළිතුර:- විවිධ සංවිධාන විවිධ අයුරින් කටයුතු කරනවා. ජාතික ජන බලවේගය මේ රටට ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වූ විස්සට එරෙහිව ජනතාව දැනුවත් කරනවා. ඒ යටතේ විස්ස කාගේද? කාටද? යන තේමාවෙන් ලබන 24 වැනිදා මහජන පුස්තකාලයේ දී පළමු වැනි සම්මන්ත්‍රණය පවත්වනවා. ඒ විදියට ප්‍රධාන නගර කීපයක සම්මන්ත්‍රණ මාලාවක් පවත්වනවා. ඇත්තටම මේ අරගලය තිබෙන්නේ ජනතාවත් සමගයි. ඒ වගේම තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රටට අහිතකර කොටස් 19න් වෙනස් කළත් එය පරිපූර්ණ ප්‍රතිසංස්කරණයක් යැයි අපි කියන්නේ නෑ. 19 ත් අඩුපාඩු තිබෙනවා. ඒවා වෙනස් කළ යුතුයි. ඒත් මෙවැනි ඩෝසර් කිරීමකින් නෙවෙයි.

ප්‍රශ්නය:- ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ දී ආණ්ඩුවට ඇති ප්‍රධාන කඩුල්ල වන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය පෙන්වීමයි. මේ ගැන විපක්ෂයේ පක්ෂ නිල හෝ නොනිල සාකච්ඡාවල නියැළුණා ද?
පිළිතුර:- නොනිල වශයෙන් මන්ත්‍රීවරුන් අතර යම් යම් කතාබහ ඇතිවෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු නොනිල මට්ටමින් විස්සේ ඇති අනතුර ගැන කතා කරනවා. මේක රටට අහිතකරයි කියලා ඔවුන්ටත් පේනවානෙ. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එවැනි සාකච්ඡා පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදුවුණා.

ප්‍රශ්නය:- 18 වැනි සංශෝධනය සම්මත කරද්දී ආණ්ඩුවට තිබුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්ද සංඛ්‍යාව 144 සිට 149 දක්වා මෙවර වැඩි වී තිබෙනවා. එයින් පෙනෙන්නේ විස්ස සම්මත කිරීම වැලැක්වීම ප්‍රායෝගිකව අපහසු බව නේද?
පිළිතුර:- විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලි බාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන්නේ ඒනිසා වෙන්න බැහැනේ. වරදාන වරප්‍රසාදවලට ඇමැතිකම්වලට මන්ත්‍රීවරුන් බාගන්නා පුරුදු කැත ක්‍රීඩාව දැන් ආරම්භ වී තිබෙනවා. ආණ්ඩුවටත් සැකයක් තිබෙනවා. නැත්නම් එවැනි ගේම් එකක් ගහන්න ඕනෑ නෑනේ.

ප්‍රශ්නය:- විස්ස සමග පළාත් සභා අහෝසිය ගැනත් නැවත සංවාදයක් ආණ්ඩුවෙන්ම මතු වුණා. පැරැණි ග්‍රාම රාජ්‍ය ක්‍රමයට යෑම රුහුණු, මායා, පිහිටි ආදී පරිපාලන ඒකක යළි ගෙන ඒම ගැනත් අදහස් ආවා. පළාත් සභා මැතිවරණයක් අබියස ජවිපෙ සිටින ස්ථාවරය මොකක් ද?
පිළිතුර:- පළාත් සභා ගෙනාවේ ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳන්නයි. හැබැයි මේක ජාතික ප්‍රශ්නයට උත්තරයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවත් ස්ථිරවත් එදා කිව්වා. ඒ ස්ථාවරයේ අපි අදත් ඉන්නවා. අවුරුදු හතළිහකට පස්සේ පළාත් සභා කියන්නේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් නොවන බව ජනතාවටම වැටහිලා තිබෙනවා. එහෙත් පළාත් සභා මැතිවරණය ගැන තීන්දුව ගත යුත්තේ ආණ්ඩුවයි. ඒක පරණ ක්‍රමයට තියනවද අලුත් ක්‍රමයට තියනවාද කියලා ආණ්ඩුව කියන්න ඕනෑ. ඒත් ආණ්ඩුව හරි ස්ථාවරයක නෑ. එක එක්කෙනා තම තමන්ගේ මත කිව්වට පළාත් සභා අහෝසි කරනවා කියලා ආණ්ඩුව කියලා නෑ. ඉස්සෙල්ලාම ආණ්ඩුවේ ස්ථාවරය ජනතාවට කියන්න ඕනෑ.

ප්‍රශ්නය:- පළාත් සභා අහෝසියට ආණ්ඩුවෙන්ම යෝජනාවක් ආවොත් ජාතික ජනබලවේගය සහාය දක්වනව ද?
පිළිතුර:- තාම ආණ්ඩුව එවැනි දෙයක් කියලා නෑ. ඒ නිසා ඒ ප්‍රශ්නය දැන් පැනනගින්නේ නෑ. ආණ්ඩුව දැඩිව කියලා තිබෙන්නේ එහෙම අහෝසි කරන්නේ නෑ කියලනෙ. ආණ්ඩුවේ ස්ථාවරය පළමුවෙන්ම අපට දැනගන්න ඕනෑ ඒ නිසයි.

ප්‍රශ්නය:- වරාය නගරයේ ඉදිකිරීම් සමාගම් ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු සම්බාධක පැනවෙද්දී අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආදායම් මාර්ගය බවට වරාය නගරය පත්වනු ඇතැයි අගමැතිවරයා පවසනවා. ඇමෙරිකානු හා චීන නියෝජිතයන් සමග මෙරට රාජ්‍යතාන්ත්‍රික හමුවීම් මේ අතර වැඩි වැඩියෙන් සිදුවෙනවා. ආණ්ඩුවේ විදෙස් පිළිවෙත ඔබ දකින්නේ කොහොමද?
පිළිතුර:- ඇමෙරිකාව හා චීනය අතර වෙළෙඳ යුද්ධයක් තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. ඒ වෙළෙඳ යුද්ධය ලෝකය පුරා හැම රටකම ක්‍රියාත්මක වෙනවා. මේ වෙළෙඳ යුද්ධයේ බලපෑම ලංකාවේ ව්‍යාපෘතිවලටත් තිබෙනවා. හැබැයි ආණ්ඩුවට එක මතයක් නෑ. අගමැතිවරයා චීනය සමග ඉදිරියට යන බව කිව්වත් තවත් පිරිසක් ඉන්දියාව හා ඇමෙරිකාව ගැන කියනවා. අගමැතිවරයා චීනය පැත්තේ හිටගනිද්දි ජනාධිපතිවරයා ඇමෙරිකාව පැත්තේ හිටගන්නවා. තවත් ඇමැතිවරු ඉන්දියාව පැත්තේ හිටගන්නවා. එම්.සී.සී ගිවිසුම අස්සන් කරනවාද නැද්ද කියලා තාම කියන්නේ නෑ. ආණ්ඩුවේ මේ එදා වේල විදෙස් පිළිවෙත ගැන ජනතාවට තිබෙන්නේ ලොකු ප්‍රහේලිකාවක්. ඇත්තටම ආණ්ඩුව ඉන්නේ මොන පැත්තේද කියලා පැහැදිලි නැති තත්ත්වයක් තිබෙන්නේ.

ප්‍රශ්නය:- වී, පොල්, කහ ආදියේ වෙළෙඳපොළ හිඟයක් සහ මිල අධිකවීමක් ගැන දකින්නට තිබෙනවා. එහෙත් රජය පවසන්නේ ස්වදේශික ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාව දෙමින් සියල්ල කළ යුතු බවයි. ආණ්ඩුවේ තර්කය නිවැරැදියි නේද?
පිළිතුර:- හාල් මිල වැඩිවෙලා තිබෙන්නේ ඔය කියන ඒවා නිසා නෙවෙයි. හාල් මාෆියාව පරාජය කරගන්න පරණ ආණ්ඩුවට වගේම මේ ආණ්ඩුවට බැරි වූ නිසයි. අද සම්බා හාල් වෙළෙඳපොලේ නෑ. තොග විකුණන්නෙත් රුපියල් 104ට. වෙළෙඳපොලේ 110යි 112යි. ඒ ගාණටත් හාල් නෑ. හැබැයි පාලන මිල 98යි. ආණ්ඩුවම දාපු පාලන මිල ආණ්ඩුවටම ප්‍රශ්නයක් වෙලා. හාල් මිල පාලනය කරගන්න බැරි වෙලා. කහ වැනි කෘෂිකාර්මික භෝගවල කතාව වෙනස්. කහ ගොවීන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි. කහ පලදාවක් ලැබෙන්න සාමාන්‍යයෙන් මාස අටක් නවයක් ගතවෙනවා. වැඩපිළිවෙළක් නැතිව තීන්දු ගැනීමෙන් පීඩාවට පත්වෙන්නේ ජනතාවයි. ආණ්ඩුව දත්ත හා කරුණු මත ප්‍රතිපත්තිමය තීන්දු ගන්නවා නම් මෙහෙම දේවල් වෙන්න බෑනේ.

ප්‍රශ්නය:- මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව අඛණ්ඩ මෙහෙයුම් දියත් කර තිබෙන බවක් පෙනෙනවා. සමාජය පැත්තෙන් ඊට යම් දිරිමත් ප්‍රතිචාරයක් ලැබෙනවා. මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දන ක්‍රියාවලිය ගැන ජාතික ජන බලවේගයේ විග්‍රහය කුමක්ද?
පිළිතුර:- කුඩු ජාවාරම නතර කරන්න ඕනෑ. ඒක හොඳයි. කුඩුත් සමග බැඳුණු පාතාලය නිසා අපරාධ ගණනාවක් සිදුවෙනවා. ඒක මර්දනය කරන්න ඕනෑ. ඒකත් හොඳයි. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය හා පාතාලය පසුපස සිටින දේශපාලකයනුත් අත්අඩංගුවට ගත යුතුයි. මහා පරිමාණ මාෆියාකරුවන් අත්අඩංගුවට ගත යුතුයි. ඒක වෙන්නේ නෑනේ. ඒ අය හුරතල් කරන ගමන් පහළම ලෙවල් එකේ අය අත්අඩංගුවට ගත්තාට මේක පාලනය කරන්න බෑ. අඩුම තරමින් ඔවුන් හෙළිදරව් කරන්න ඕනෑ. ඒ ටිකත් වුණොත් තමයි මත්ද්‍රව්‍ය හා පාතාල මර්දනය සාර්ථක වෙන්නේ.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)